1. 5. 7.
විමංසක සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ, අනේවඩු මහසිටාණන්ගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යී භික්‍ෂූන් ඇමැතුසේක. වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
2. මහණෙනි, මෙරමාගේ සිත්නියර (සරාගාදි විභාග විසින් පවත්නා ආකාර පරිච්ඡේදය) නොදන්නා වීමංසක (විමසන) මහණ විසින් ‘සම්‍යක් සම්බුද්ධ වේ ද හෝ නො වේ ද හෝ’ යි දනු සඳහා තථාගතයන් කෙරෙහි සමන්‍වෙෂන (පිරියෙස්ලි) කළයුතු වෙයි.
“වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ විනේතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බැස සිටුනාහ. වහන්ස තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථ භාග්‍යවතුන් වහන්සේට ම වැටහේ නම් මනා මැනු. භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අසා භික්‍ෂුහු ධරන්නාහ”යි.
මහණෙනි, එකරුණින් අසව. මනාකොට මෙනෙහි කරව. කියමියි. ‘වහන්ස එසේ ය’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
3. මහණෙනි, මෙරමාගේ සිත්හසර නොදන්නා වීමංසක මහණ විසින් දෙදහමෙක්හි ලා තථාගතයන් වහන්සේ පර්‍ය්‍යෙෂණ කළයුතු වෙති: චක්‍ෂුර්විඥේය (කායසමාචාර), ශ්‍රෝත්‍ර විඥේය (වාක්සමාචාර) ධර්‍මද්වයෙහිය.
චක්‍ෂුර්විඥේය වූ ශ්‍රෝත විඥේය වූ ක්ලේශසම්ප්‍රයුක්ත යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට වෙත් ද හෝ නො වෙත් ද හෝයි. තෙල තථාගතයන් වහන්සේ පර්‍ය්‍යෙෂණ කරන වීමංසක මහණ මෙසෙයින් දන්නේය: “චක්‍ෂුඃශ්‍රෝත්‍රවිඥේය වූ ක්ලේශසම්ප්‍රයුක්ත යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට (නැති හෙයින් ම) නැත” කියායි (1)
“චක්‍ෂුඃ ශ්‍රෝත්‍රවිඥේය වූ ක්ලේශසම්ප්‍රයුක්ත යම් ධර්‍මකෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට නැතැ”යි යම් අවධියෙක ඔබ පර්‍ය්‍යෙෂණ කරනුයේ මෙසේ දන්නේ වේ ද, ඔබ ඉන් මතුදු සමන්‍වෙෂණ කෙරෙයි. කෙසේ ය: (කලෙක කෘෂ්ණයහ, කලෙක ශුක්ලයහ යි මෙසේ) ව්‍යතිමිශ්‍ර වූ චක්‍ෂුඃ ශ්‍රෝත්‍රවිඥේය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට වෙද්ද හෝ නො වෙද්ද හෝ යි ඔබ සොයනුයේ මෙසේ දන්නේ ය: ව්‍යතිමිශ්‍රවූ චක්‍ෂුඃශ්‍රෝත්‍රවිඥේය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට නැත කියා යි. (2)
යම් අවස්ථාවක ඔබ සොයනුයේ “ව්‍යතිමිශ්‍ර වූ චක්‍ෂුඃශ්‍රෝත්‍ර විඥේය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට නැතැ”යි මෙසේ දන්නේ වේ ද, ඉන්මතුදු ඔබ සොයන්නේ ය. කෙසේ ය: “පරිශුද්ධ වූ චක්‍ෂුඃශ්‍රෝත්‍රවිඥේය වූ යම් ධර්‍මකෙනෙක් ඇද්ද’ ඔහු තථාගතයන් වහන්සේට වෙද්ද හෝ නො වෙද්ද හෝ කියා යි. ඔබ සොයාබලනුයේ පරිශුද්ධ වූ චක්‍ෂුඃශ්‍රෝත්‍රවිඥේය වූ යම් ධර්‍මකෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට ඇතැයි මෙසේ දන්නේ ය. (3)
යම් අවස්ථායෙක ඔබ සොයනුයේ “පරිශුද්ධ වූ චක්‍ෂුඃශ්‍රෝත්‍ර විඥේය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට ඇතැ” යි මෙසේ දන්නේ වේ ද, ඉන් මතු දු ඔබ සොයන්නේය. කෙසේ ය: “මේ ආයුෂ්මත් (තථාගත තෙම) දීර්‍ඝරාත්‍රයෙහි (බොහෝ කලෙක) සිට මේ කුසලදහමට (ආජිවාෂ්ටමක ශීලයට) සමවන්නේ වේ ද නොහොත් ස්වල්ප කලෙක (ඊයේ පෙරදා) සිට සමවන්නේ වේ ද කියා යි. ඔබ සොයනුයේ “මේ ආයුෂ්මත් දීර්‍ඝ රාත්‍රයෙහි සිට මේ කුසල් දහමට සමවන්නේ ය. මේ ආයුෂ්මත් මඳකලෙක සිට සමවන්නේ නො වේය” යි මෙසේ දන්නේ ය. (4)
යම් අවස්ථායෙක ඔබ ගවේෂණ කරනුයේ “මේ ආයුෂ්මත් දීර්‍ඝරාත්‍රයෙහි සිට මේ කුසල්දහමට සමවන්නේ ය. මේ ආයුෂ්මත් මඳකලෙක සිට සමවන්නේ නො වේය”යි මෙසේ දන්නේ වේ ද, ඉන් මතුදු ඔබ ගවේෂණ කෙරෙයි. කෙසේය: “මේ ආයුෂ්මත් භික්‍ෂු (තථාගත) තෙම ප්‍රකටභාවයට පැමිණියේ, පිරිවරසැපත් ලදුයේ වේ ද, (ඒහේතුවින්) ඔහට මෙහි (මානාතිමානාදී) කිසි ආදීනව ඇද්ද,” කියා යි.
“මහණෙනි, යම්තාක් ප්‍රකටභාවයට පැමිණියේ, පරිවාර සම්පත් ලදුයේ නො වේ ද, ඒතාක් මහණහට මෙහි (මානාතිමානාදි) ඇතැම් ආදීනවයෝ නො වෙති. මහණෙනි, යම් අවධියෙක සිට මහණ අභිඥාතභාවයට පැමිණියේ, පරිවාර සම්පත් ලදුයේ වේ ද, එක්බිති ඔහට මෙහි ඇතැම් ආදීනවයෝ ඇති වෙති.”
ඔබ (මේ කරුණෙහි ලා) ගවේෂණ කරනුයේ “මේ ආයුෂ්මත් භික්‍ෂු ප්‍රනීත භාවයට පැමිණියේ, පිරිවරසැපත් ඇතියේ වෙයි. ඔහට මෙහි කිසිදු ආදීනව නැතැ”යි මෙසේ දන්නේ ය. (5)
යම් අවධියෙක ඔබ ගවේෂණ කරනුයේ, “මේ ආයුෂ්මත් භික්‍ෂූ වනාහි ප්‍රසිද්ධියට පැමිණියේ, පරිවාරසම්පත් ඇතියේය (ඒ හේතුයෙන්) ඔහට මෙහි ඇතැම් ආදීනවයෝ නැතැ”යි මෙසේ දන්නේ වේ ද, ඉන්මතු ද ඔබ ගවේෂණ කෙරෙයි. කෙසේ ය: “මේ ආයුෂ්මත් අභයප්‍රාප්ත ව කාමයෙන් වැළැක්කේ වී ද, මේ ආයුෂ්මත් භයප්‍රාප්ත ව වැළැක්කේ නො වී ද, රාගක්‍ෂයහේතුයෙන් වීතරාග බැවින් කාමයන් නො සෙවුනේ වේ ද, කියායි. ඔබ (මෙසේ) සොයනුයේ “මේ ආයුෂ්මත් අභයෝපරත වේ. මේ ආයුෂ්මත් භයොපරත නො වේ. මේ ආයුෂ්මත් රාගක්‍ෂය හේතුයෙන් වීතරාග බැවින් කාමයන් නො සෙවුනේය”යි මෙසේ දන්නේ ය. (6)