1. 5. 5.
චූළධම්මසමාදාන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ ජේතවන නම් වූ, අනේපිඬු මහසිටාණන්ගේ අරම්හි වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහණෙනියි භික්‍ෂූන් ඇමැතුසේක. වහන්සැයි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
2. මහණෙනි, ධර්‍මසමාදානයෝ මොහු සතරදෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ වත්මනු සුව දෙන මතුයෙහි දුක්විවාදෙන ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙ වත්මනු දුක්දා වූත්, මතුයෙහි ද දුක් විවාදා වූත් ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙවත්වනු දුක්දා, මතුයෙහි සුවවිවාදා ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙ වත්මනු සුවදාවූත්, මතුයෙහිදු සුවවිවාදා වූ ධර්‍මසමාදානයෙක් ඇත.
3. මහණෙනි, ප්‍රත්‍යුත්පන්නසුඛ ඇති, අනාගතවිපාකකාලයෙහි දුඃඛවිපාක ඇති ධර්‍මසමාදාන නම් කවරේ ය යත්:
මහණෙනි, වස්තුකාම හා ක්ලේශකාමයෙහි දොසෙක් නැතියි එවංවාදි වූ (මෙසෙයින් බණන සැහැවි ඇති) එවංදෘෂ්ටික වූ (මෙසෙයින් ගත් දෘෂ්ටිගත ඇති) මහණබමුණු කෙනෙක් ඇත. ඔහු වස්තුකාමයෙහි (ක්ලේශකාමද්වාරයෙන්) පිය යුතු බවට (රිසිසේ වැළඳිය යුතු බවට) පැමිණෙති. ඔහු මෞලි බැඳි තාපසපරිබ්‍රාජිකාවන් හා ඉඳුරන් පිනවත්. ඔහු මෙසේ බෙණෙති: ‘ඒ භවත් මහණ බමුණෝ කාමයෙහි කිනම් අනාබියක් දක්මින් කාමප්‍රහාණය කියද්ද, කාමසමතික්‍රමය පනවද්ද? තරුණ, මෘදු, බූ ඇති මේ පරිබ්‍රාජිකාවගේ බාහු පහස සුවදා වෙතියි, (මෙසේ බැණ) ඔහු කාමයෙහි පියයුතු බවට පැමිණෙති. ඔහු කාමයෙහි (ආස්වාද විසින්) පීයයුතු බවට වැද කාබුන් මරණින් මතුයෙහි අපාය වූ, දුර්‍ගති වූ, විනිපාත වූ නිරයට එළඹෙති. ඔහු ඒ නිරෑහි තීව්‍ර, කටුක, දුක්වේදනා විඳුති. (එසඳ) ඔහු මෙසේ කියති: ‘ඒ භවත් මහණ බමුණෝ කාමයෙහි මේ අනාබිය දක්මින් කාමප්‍රහාණය කියති, කාමසමතික්‍රමය පනවති. මෙ අපි කාමහේතුයෙන් දුඃඛ, තීව්‍ර, කටුක වේදනා විඳුම්හ’යි.
මහණෙනි, යම්පරිදි ග්‍රිෂ්මමාසයන් කෙරෙහි පැසිම් මස (සිපත් බඳු දිගු සටහන් ඇති) මාලුවා ලියපල පැළෙනු වේ ද, මහණෙනි, එක්බිති ඒ මාලුවා ලියබිජු එක්තරා රුක්මුලෙක හෙන්නේ වේ ද, මහණෙනි, එකල එරුක්හි අධිපති ව වාස කරන යම් දෙවියෙක් ඇද්ද, ඒ දෙවි බියපත් ව සංවිග්න ව සංත්‍රාසයට පැමිණෙන්නේ වේ ද, මහණෙනි, එසඳ එරුක්හි අධිවාස කරන දෙවිහුගේ මිත්‍රාමාත්‍යයන් හා නෑසාලේනැ වූ අරම්වැසිදෙවියන් හා වනවැසි දෙවියෝ ද, රුක්වැසි දෙවියන් හා ඔෂධීතෘණ වනස්පති වෘක්‍ෂයෙහි අධිපති ව වසන දෙවියෝද මුළුදී මෙසෙයින් අස්වැසුම් කෙරෙති:
“භවත් නහමක් බියපත්වා, භවත් නහමක් බියපත්වා. මොණරෙක් හෝ තෙල මාලුවා බිජු ගලන්නේ නම්, මුවෙක් හෝ බුදින්නේ නම්, ළැව්ගිනි හෝ දවන්නේ නම්, වනකම් කරනුවෝ හෝ උදුරා ලන්නාහු නම්, වේයෝ හෝ කන්නාහු නම්, අබීජ හෝ වේ නම්, මනා මැනු” යි. එතෙකුදු වුව මහණෙනි, මොණරෙක් හෝ ඒ මාලුවා බිජු නොම ගැලැගන්නේය මුවෙක් හෝ නො බුදින්නේ ය. ළැව්ගිනි හෝ නො දවන්නේය. වනකර්‍මයෙහි තියුක්තයෝ හෝ නො උදුරාලන්නාහ. වේයෝ හෝ නොකන්නාහ. (එයින්) බීජයෙක් ම වෙයි. එ බිජු ප්‍රාවෘෂ්‍යමේඝයා (වැසිකල මහමේ) විසින් මොනොවට වස්නා ලදුව මනාකොට ම නැඟෙන්නේය. ඒ මාලුවාලිය (වැඩුණි) තරුණ ව මෘදු ව බූ ඇති ව ඔබමොබ ලෙළෙනු වෙයි. ඒ මාලුවා ලතා එ රුක් පිරිරැඹ සෙවුනී වෙයි.
මහණෙනි, එසඳ එ රුක්හි අධිපති ව වසන දෙව්පුත්හට මෙසේ සිත් වෙයි: “ඒ භවත් මිත්‍රාමාත්‍යයන් හා නෑසහලේ නෑ වූ අරම්වැසිදෙවියන් හා වනවැසිදෙවියෝ රුක්වැසිදෙවියන් හා ඔෂධිතෘණ වනදෙටු රුක්හි නිවැසි දෙවියෝ මාලුවා ලියැ කිනම් අනාබියක් දක්මින් මුළුදී මෙසෙයින් අස්වසාලූහු ද: “භවත් නොබානේ මැනැව, භවත් නො බානේ මැනැව. මොණරෙක් හෝ තෙල මාලුවාබීජය ගැලැගන්නේ නම්, මුවෙක් හෝ කන්නේ නම්, ළැව්ගිනි හෝ දවන්නේ නම්, වන කැමියෝ හෝ උදුරා ලන්නාහු නම්, වේයෝ හෝ කන්නාහු නම්, අබිජ හෝ වේනම් මනා මැනු යි. තරුණ, මෘදු, බූ ඇති, ඔබමොබ ලෙළෙන, මේ මාලුවාලතායෙහි පහස සුවදා වෙයි.” (මෙවන් සිත් වෙයි). එ මාලුවාලිය එ රුක් වැළඳ ගනී. එ ලිය එ රුක් වැළඳගෙන මතුයෙහි (ඡත්‍රාකාරයෙන්) වෙළබ කොට ගනී. මතුයෙහි වෙළෙප් කොට ගෙන අවඝන (යට බස්මින් අවට වසාගත් ලතාගුල්ම) උපදවයි. අවඝන උපදවා එ රුක්හි යම් මහත් මහත් කඳ ඇත් ද, ඒ කඳ පළාපියයි. මහණෙනි, එසඳ එ රුක්හි අධිපති ව වසන දෙවිහට මෙසේ සිත් වෙයි: “ඒ භවත් මිත්‍රාමාත්‍යයන් හා නෑසාලේනෑවූ, අරම්වැසිදෙවියන් හා වනවැසිදෙවියෝ, රුක්වැසිදෙවියන් හා ඔෂධිතෘණවනස්පති වෘක්‍ෂයෙහි නිවැසි දෙවියෝ මාලුවාබීජයෙහි මේ අනාබිය දක්මින් මුළුදී මෙසේ අස්වැසුහු - භවත්, නොබානේ මැනැව, භවත් නොබානේ මැනැව. මොණරෙක් හෝ තෙල මාලුවා බීජය ගැලැගන්නේ නම්, මුවෙක් හෝ කන්නේ නම්, ළැව්ගිනි හෝ දවන්නේ නම්, වනකැමියෝ හෝ උදුරාපියන්නාහු නම් වේයෝ හෝ කන්නාහු නම්, අබීජ හෝ වේ නම් මනා මැනුයි කියායි. මම (දැන්) යම් හෙයෙකින් මාලුවාබීජහේතුයෙන් දුක්, තීව්‍ර, කටුක වේදනා විඳිම් ද, (එසෙයින් එසේ අස්වැසුහුය.)
මහණෙනි, එපරිදි ම ‘වස්තුකාම හා ක්ලේශකාමයෙහි දොසෙක් නැති’යි එවංවාදී වූ, එව දෘෂ්ටික වූ මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු වස්තුකාමයෙහි පියයුතු බවට පැමිණෙති. ඔහු මෞලි බැඳි තාපසපරිබ්‍රාජිකාවන් හා ඉඳුරන් පිනවති. ඔහු මෙසේ බෙණෙති: