1. 5. 4.
චූළවේදල්ල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර (ලෙහෙනුනට නිම දුනුයෙන්) කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසන සේක. එසමයෙහි විසාඛ උවසු ධම්මදින්නා මෙහෙණ කරා එළඹිණ. එළඹ ධම්මදින්නා මෙහෙණ ඇදුරු කොට වැඳ එකත්පසෙක හින. එකත්පස් ව හුන් විසාඛ උපාසක ධම්මදින්නා මෙහෙණට (සක්කායෝ - ආදි) තෙලබස් කී:
1. ආර්‍ය්‍යාවෙනි, ‘සත්කාය, සත්කාය’ යි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින් කවර දහමෙක් ‘සත්කාය’ යි වදාරන ලද්දේ ද?
ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදානයනට ප්‍රත්‍යය වූ ස්කන්‍ධ පස ‘සත්කාය’යි වදාරන ලද්දේය. හෙ කෙසේය යත්: රූපෝපාදානස්කන්‍ධය, වේදනෝපාදානස්කන්‍ධය, සංඥොපාදානස්කන්‍ධය, සංස්කාරෝපාදානස්කන්‍ධය, විඥානෝපාදානස්කන්‍ධයි. ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධ ‘සත්කාය’ යි වදාරන ලදී.
2. විසාඛ උපාසක ‘ආර්‍ය්‍යාවෙනි, බුණුසේ මැනැව’යි ධම්මදින්නා මෙහෙණගේ බසට තුටු ව, අනුමෝදන් ව, ධම්මදින්නා මෙහෙණ මතුයෙහි (ආපුච්ඡා විසින්) පැන පිළිවිත්: ආර්‍ය්‍යාවෙනි, ‘සත්කාය සමුදය, සත්කාය සමුදය’ යි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කිනම් දහමෙක් ‘සත්කාය සමුදය’යි වදාරන ලද්දේ ද?
ඇවැත විශාඛයෙනි, පුනර්‍භවය පිණිස වැටෙන, නන්‍දිරාගසහගත, ඒ ඒ භවයෙහි ඇලුම් කරන යම් මේ තෘෂ්ණා ඇද්ද, ඕ කවර යත්: කාමතෘෂ්ණාය, භවතෘෂ්ණාය, විභවතෘෂ්ණායි. ඇවැත විශාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ තෘෂ්ණා ‘සත්කාය සමුදය’ විසින් වදාරන ලදු.
3. ආර්‍ය්‍යාවෙනි, ‘සත්කායනිරෝධය, සත්කායනිරෝධය’ යි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කිනම් දහමෙක් ‘සත්කාය නිරෝධය’යි වදාරන ලද්දේ ද?
ඇවැත, විශාඛයෙනි, එම තෘෂ්ණාවගේ යම් අශේෂවිරාගනිරෝධයෙක් ත්‍යාගයෙක් ප්‍රතිනිස්සර්‍ගයෙක් විමුක්තියෙක් අනාලයෙක් ඇද්ද, ඇවැත විශාඛයෙනි, තෘෂ්ණාවගේ මේ අශේෂවිරාගනිරෝධය ‘සත්කාය නිරෝධය’ යි භාග්‍යවතුන්වහන්සේ විසින් වදාරන ලදී.
4. ආර්‍ය්‍යාවෙනි, ‘සත්කායනිරෝධගාමිනී ප්‍රතිපදාය, සත්කායනිරෝධගාමිනී ප්‍රතිපදාය’ යි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කිනම් ප්‍රතිපදා ‘සත්කාය නිරොධගාමිනීප්‍රතිපදාය’යි වදාරන ලදු ද?
ඇවැත විශාඛයෙනි, භාග්‍යවතුන්වහන්සේ විසින් මේ අරීඅටඟිමඟ ම ‘සත්කාය නිරෝධගාමිනීප්‍රතිපදා’ යයි වදාරනලදු. හෙ කෙසේය යත්: සම්‍යග්දෘෂ්ටිය, සම්‍යක්සඞ්කල්පය, සම්‍යග්වාචාය, සම්‍යක්කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධියි.
5. ආර්‍ය්‍යාවෙනි, ඒ උපාදාන හා ඒ පඤ්චෝපාදානස්කන්‍ධ හා එක් ම වේ ද? නොහොත් පඤ්චෝපාදානස්කන්‍ධ පියා උපාදාන අනෙකෙක් වේ ද?
ඇවැත විශාඛයෙනි, ඒ උපාදාන හා ඒ පඤ්චෝපාදානස්කන්‍ධ එකෙක් ම නොවේ. පඤ්චෝපාදානස්කන්‍ධ පියා උපාදාන නො ද අනෙකෙක් වෙයි. පඤ්චෝපාදානස්කන්‍ධ කෙරෙහි යම් ඡන්‍දරාගයෙක් ඇද්ද, ඒ එහි උපාදාන නම් වෙයි.
6. ආර්‍ය්‍යාවෙනි, කෙසේ නම් සත්කායදෘෂ්ටි ඇති වේ ද?
ඇවැත විශාඛයෙනි, මෙ ලොව ආර්‍ය්‍යයන් නොදක්නා සුලු, ආර්‍ය්‍යධර්‍මය පිළිබඳව අකෝවිද, ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත, (බුද්ධාදි) සත්පුරුෂයන් නොදක්නාසුලු, සත්පුරුෂධර්‍මය පිළිබඳ අකෝවිද, සත්පුරුෂධර්‍මයෙහි අවිනීත අශ්‍රැතවත් පෘථග්ජන ශුද්ධරූපය ආත්මවශයෙන් (අද්වය කොට) දක්නේ ය. අරූප ආත්මයා රූපවත් කොට හෝ, රූපය ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා රූපයා කෙරෙහි එළවා හෝ (දෘෂ්ටිදර්‍ශනයෙන්) දක්නේය. වේදනා ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා වේදනාවත් කොට හෝ වේදනා ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා වේදනා කෙරෙහි එළවා හෝ දක්නේය. සංඥා ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා සංඥාවත් කොට හෝ, සංඥා ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා සංඥා කෙරෙහි එළවා හෝ දක්නේය. සංස්කාරයන් ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා සංස්කාරවත් කොට හෝ, සංස්කාර ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා සංස්කාර කෙරෙහි එළවා හෝ දක්නේය. විඥාන ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා විඥානවත් කොට හෝ, විඥාන ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා විඥාන කෙරෙහි එළවා හෝ දක්නේය. ඇවැත විශාඛයෙනි,මෙසෙයින් සත්කාය දෘෂ්ටි ඇති වෙතියි කියු.
7. ආර්‍ය්‍යාවෙනි, කෙසේ නම් සත්කායදෘෂ්ටි ඇති නොවේ ද?
ඇවැත විශාඛයෙනි, මෙ ලොව ආර්‍ය්‍යයන් දක්නා සුලු, ආර්‍ය්‍යධර්‍මය පිළිබඳව කෝවිද, ආර්‍ය්‍යධර්‍මයෙහි සුවිනීත, සත්පුරුෂයන් දක්නාසුලු, සත්පුරුෂධර්‍මය පිළිබඳ ව කෝවිද, සත්පුරුෂධර්‍මයෙහි සුවිනීත ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය ආත්මවශයෙන් නො දක්නේ ය. ආත්මයා රූපවත් කොට හෝ, රූපය ආත්මයෙහි පිහිටියේය යි හෝ, ආත්මය රූපයෙහි පිහිටියේය යි හෝ, නො දක්නේ ය. වේදනා ආත්ම වශයෙන් නො දක්නේ ය. ආත්මයා වේදනාවත් කොට හෝ වේදනා ආත්මයෙහි පිහිටියේය යි හෝ, ආත්මය වේදනායෙහි පිහිටියේය යි හෝ නොදක්නේය. සංඥා ආත්ම වශයෙන් නො දක්නේ ය. ආත්මයා සංඥාවත් කොට හෝ, සංඥා ආත්මයෙහි පිහිටියායි හෝ, ආත්මය සංඥායෙහි පිහිටියේය යි හෝ, නො දක්නේය. සංස්කාර ආත්ම විසින් නො දක්නේ ය. ආත්මය සංස්කාරවත් කොට හෝ, සංස්කාර ආත්මයෙහි පිහිටියේ ය යි හෝ, ආත්මය සංස්කාරයෙහි පිහිටියේ ය යි හෝ, නො දක්නේය. විඥාන ආත්මවශයෙන් නො දක්නේ ය. ආත්මයා විඥානවත් කොට හෝ, විඥානය ආත්මයෙහි පිහිටියේ ය යි හෝ, ආත්මයා විඥානයෙහි පිහිටියේ ය යි හෝ නො දක්නේය. ඇවැත විශාඛයෙනි,මෙසෙයින් සත්කාය දෘෂ්ටි නොවෙතියි කියු.