1. 5. 3.
මහාවේදල්ල සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ‘ජේතවන’ නම් වන, අනේපිඬු මහසිටාණන්ගේ අරම්හි වැඩවසනසේක. එකල ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ සවස්වරුයෙහි පලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළැඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමඟ සතුටු වූහ. තුස්නට නිසි සිහිකරනුවට නිසි බස් බැණ නිමවා එකත්පස්හි හුන්හු. එකත් පසෙක හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණූන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල සැළකළහ.
2. “ඇවැත්නි, දුෂ්ප්‍රාඥය, දුෂ්ප්‍රාඥයයි කියනු ලැබේ. ඇවැත්නි, කිපමණෙකින් දුෂ්ප්‍රාඥය යි කියනු ලැබේ ද?”
‘නොදනියි නොදනියි යනු යම් හේතුයෙක් වේ ද, එහෙයින් ‘දුෂ්ප්‍රාඥය’යි කියනු ලැබේ. කුමක් නොදන්නේය යත්: ‘දුක මේ’ යයි නොදන්නේය. ‘දුඃඛසමුදය මේ’යයි නොදන්නේය, ‘දුඃඛනිරෝධ මේ’යයි නොදන්නේය. ‘දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත් මේ’යයි නොදන්නේය. ඇවැත්නි, මෙසේ ‘නොදනියි නොදනියි’ යන යම් හේතුයෙක් වේද, එහෙයින් ‘දුෂ්ප්‍රාඥය’යි කියනු ලැබේ.
3. ඇවැත්නි, මැනැවැ”යි කියා ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ බස අභිනන්‍දන කොට අනුමෝ ව ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් මතුයෙහි පැන පුළුවුත්හ:
“ඇවැත්නි, ‘පැනැතිය පැනැතිය’යි කියනු ලැබේ. ඇවැත්නි, කිපමණෙකින් පැනැතිය’යි කියනු ලැබේ ද?”
ඇවැත්නි, ‘දනී දනී’ යන යම්හෙතුයෙක් වේද, එහෙයින් පැනැතියහ’යි කියනු ලැබේ. කුමක් දන්නේය යත්: ‘දුක මේ’ යයි දන්නේය, දුඃඛසමුදය මේ’යයි දන්නේය ‘දුඃඛනිරෝධ මේ’යයි දන්නේය, ‘දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත් මේ’යයි දන්නේය. ඇවැත්නි, මෙසේ ‘දනී දනී’ යන යම් හේතුයෙක් වේද, එහෙයින් ‘පැනැතියහ’යි කියනු ලැබේ.
4. “ඇවැත්නි ‘විඥානය විඥානය’යි කියනු ලැබේ. ඇවැත්නි, කිපමණෙකින් ‘විඥාන’යයි කියනු ලැබේ ද?”
ඇවැත්නි, ‘දන්නේය, දන්නේය’ යන යම් හේතුයෙක් වේද, එහෙයින් විඥානයයි කියනු ලැබේ. කුමක් දන්නේය යත්: ‘සුඛවේදනා ය’යි ද දන්නේය. ‘දුඃඛ වේදනා ය’යිද දන්නේය. ‘අදුඃඛාසුඛවේදනා ය’යි ද දන්නේය. ඇවැත්නි, මෙසේ ‘දන්නේය, දන්නේ ය’යන යම් හේතුයෙක් වේද, එහෙයින් ‘විඥාන’ය යි කියනු ලැබේ.
5. “ඇවැත්නි, යම් ප්‍රඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, මේ දහම්හු (ඒකෝත්පදාදි ලකුණින්) සංසට්ඨ (මිශ්‍ර) වෙද්ද?. නොහොත් විසංසට්ඨ (අමිශ්‍ර) වෙද්ද? මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට හැකි වේ ද?”
ඇවැත්නි, යම් ප්‍රඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, මේ දහම්හු සංසට්ඨයහ. මේ දහමුන් (අරමුණු ඈ විසින්) වෙන් වෙන් කොට වෙනස පනවන්නට නො ද හැකිය. ඇවැත්නි, (මාර්‍ගප්‍රඥාව) යම් චතුස්සත්‍යධර්‍මයක් (ප්‍රඥානකෘත්‍ය විසින්) දනී ද, (මාර්‍ග විඥානය ද) ඒ දහම (විඥාන කෘත්‍ය විසින්) දන්නේ ය. (මාර්‍ග විඥානය) යම් චතුස්සත්‍යධර්‍මයක් (විඥාන කෘත්‍ය විසින්) දනී ද, (මාර්‍ග ප්‍රඥාව ද) ඒ දහම (ප්‍රඥානකෘත්‍ය විසින්) දනී. එහෙයින් මේ දහම්හු සංසට්ඨයහ. අසංසට්ඨ නො වෙත්. මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට නො ද හැකිය.
6. “ඇවැත්නි, යම් ප්‍රඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, සංසට්ඨ ව සිටි, අසංසට්ඨ නො වන, මේ දහමුන්ගේ වෙනස කිම?”
ඇවැත්නි, යම් ප්‍රඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, සංසට්ඨ ව සිටි, අසංසට්ඨ නො වන, මේ දහමුන් අතුරින් (මාර්‍ග) ප්‍රඥාව භැවිය යුතුය. (විදර්‍ශනා) විඥානය පරිඥේය (පිරිසිඳ දත යුතු) වෙයි. මෙ උන් දෙදෙනාගේ වෙනස යි.
7.“ඇවැත්නි, ‘වේදනාය වේදනාය’යි කියනු ලැබේ. ඇවැත්නි, කිපමණෙකින් වේදනා’යයි කියනු ලැබේ ද?”