1. 5. 2.
වේරඤ්ජක සූත්රය
1. මා විසින් මෙසේ අසනලදී: එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ‘ජේතවන’ නම් වූ, අනේ වඩු මහසිටාණන්ගේ අරම්හි වැඩවසනසේක. එකල වේරඤ්ජාවැසි බමුණු ගැහැවිහු කිසියම් කරුණින් සැවැත්හි වාස කෙරෙති.
2. වේරඤ්ජාවැසි බමුණුගැහැවිහු “භවත්නි, සැහැපුත්, සැහැකුලෙන් පැවිදිපත්, මහණගොයුම්හු සැවැත් නුවර ‘ජේතවන’ නම් වූ, අනේවඩු මහසිටාණන් අරමෙහි වැඩ වසනසේක්ල. ඒ භවත් ගොයුම් ගොතුවන්ගේ මෙවන් කලණ යසගී උස් ව නැගිණ: ඒ භගවත්හු මෙකරුණිනුදු අර්හත්හ, සම්යක්සම්බුද්ධයහ, විද්යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිත්හ, අනුත්තරපුරුෂදම්යසාරථියහ, දෙවිමිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ. ඒ භගවත්හු දෙවියන් සහිත බඹුන් සහිත මරුන් සහිත මෙලොව හා, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්රජාව තමාවිසින් දැන, පසක් කොට දන්වති. ඒ භගවත්හු ආදිකල්යාණ කොට මධ්යකල්යාණ කොට පර්ය්යවසාන කල්යාණ කොට සාර්ත්ථ කොට සව්යඤ්ජන කොට දහම් දෙසති. කේවලපරිපූර්ණ පරිශුද්ධ බ්රහ්මචර්ය්යය පවසති එබඳු රහතුන්ගේ දර්ශනයෙක් වේ නම් මනා මැනු” යි ඇසූහු මැයි.
3. එක්බිති වේරඤ්ජාවැසි බමුණුගැහැවිහු භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ කෙනෙක් භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හු. කෙනෙක් භාග්යවතුන් වහන්සේ හා සමඟ සම්මෝදනා කළහ. සම්මෝදනයට නිසි, සිහිකරන්නට නිසි කථා කොට නිමවා එකත්පස්ව හුන්හු. කෙනෙක් භාග්යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ එකත්පස්ව හුන්හු. කෙනෙක් භාග්යවතුන් වහන්සේ හමියෙහි නම්ගොත් අස්වා එකත්පස් ව හුන්හු. කෙනෙක් නිහඬ ව එකත්පස් ව හුන්හු. එකත්පස් ව හුන් වේරඤ්ජාවැසි බමුණු ගැහැවිහු භාග්යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
4. භවත් ගොයුම්ගොතුව, යම්හෙයෙකින් මෙලොව කිසි සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි සැපෙන් පහව සිටි, නපුරු ගති ඇති, විනිපාත වූ නිරෑ වැද ගනිද්ද, එයට හේතු කවරේ ය? ප්රත්යය කවරේ ය? භවත් ගොයුම්ගොතුව, යම්හෙයෙකින් මෙලොව කිසි සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි මනාගති ඇති, ස්වර්ගලෝකයට වැදගනිද්ද, එයට හේතු කවරේ ය? ප්රත්යය කවරේ ය?යි පුළුවුත්හු.
5. ගැහැවියෙනි, අධර්මචර්ය්යා විෂමචර්ය්යා හේතුයෙන් මෙසේ මෙලොව කිසි සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි සැපෙන් වෙන් ව සිටි නපුරුගති ඇති, විනිපාත වූ, නිරයට වැදගනිති. ගැහැවියෙනි, ධර්ම චර්ය්යා සමචර්ය්යාහේතුයෙන් මෙසේ මෙලොව කිසි සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි මනාගති ඇති, ස්වර්ගලෝකයට වැදැගනිතියි වදාළහ.
6. “භවත් ගොයුම්ගොතුවන් විසින් විස්තර විසින් අර්ත්ථ විභාග නොකළ, සැකෙවින් වදහළ, තෙල බස පිළිබඳ විස්තරාර්ත්ථමාර්ගය අපි නො දනුම්හ. භවත් ගොයුමන් විස්තර විසින් අර්ත්ථවිභාග නොකළ, සැකෙවින් වදහළ තෙල බස ගෙන යම් සැටියෙකින් අපි විස්තර විසින් අර්ත්ථ දැන ගනුමෝ නම්, භවත් ගෞතමයන් වහන්සේ ඒ සැටියෙන් අපට දහම් දෙසන සේක් නම් මනා මැනු”යි ඔහු සැළකළහ.
7. ගැහැවියෙනි, එකරුණින් අසව, මනා කොට මෙනෙහි කරව, කියම්හ”යි වදාළහ. ‘භවත්නි, එසේ යැ’යි වේරඤ්ජායෙහි වාස කරන බමුණු ගැහැවිහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්යවතුන් වහන්සේ තෙල වදාළහ.
8. ගැහැවියෙනි, කාදොරින් අධර්මචාරී විෂමචාරී පුද්ගල ත්රිවිධ වෙයි. විසිදොරින් අධර්මචාරී විෂමචාරී පුද්ගල චතුර්විධ වෙයි. මනදොරින් අධර්මචාරී විෂමචාරී පුද්ගල ත්රිවිධ වෙයි.