1. 3. 9.
මහාසාරෝපම සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්යවතුන් වහන්සේ දෙව්දත්තෙරුන් සස්නෙන් ගිය නො බෝ කලෙකින් රජගහනුවර සමීපයෙහි වූ ගිජුකුළුපව්වෙහි වසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ දෙව්දත්තෙරුන් අරභයා භික්ෂූන් ඇමතූ සේක:
2. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්රයෙක් ‘ඉපදීමෙන් ජරා මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් කායිකදුඃඛයෙන් දොම්නසින් උපායාසයෙන් මඩනා ලද්දෙම් වෙමි. දුකට බැස ගත්තෙම් වෙමි. දුකින් පීඩිත වූයෙම් වෙමි. මෙ සියලු දුක් රැස කෙළවර කිරීමක් පෙණෙන්නේ නම් යෙහෙකැ’යි ශ්රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම සස්නට පැමිණියේ වෙයි.
3. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්රශංසාවෙන් සතුටු වූයේ පරිපූර්ණ සංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්රශංසා කරණ කොට ‘මම ලාභී වෙමි කීර්ති ඇත්තෙම් වෙමි. මේ අනික් භික්ෂූහු අප්රකටයෝ ය. අල්පේශාඛ්යයෝ ය’යි තමන් හුවා දක්වයි. අනුන් හෙළා දක්වයි. හෙතෙම ඒ ලාභ කීර්තිප්රශංසාවෙන් මත්වෙයි. පමාවෙයි. ප්රමාදයට පැමිණෙයි. පමා වූයේ දුක සේ වාසය කරයි.
4. මහණෙනි, යම් සේ අරටුව ප්රයෝජන කොට ඇති අරටු සොයන්නා වූ අරටු සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් තෙමේ නො වැටී සිටුනා හර ඇති මහත් වූ රුකෙක හර ඉක්මවා (=හැරදමා) ම බොරුදු ඉක්මවා ම සිවිය ඉක්මවා ම පොත්ත ඉක්මවා ම ‘හරය’යි සිතා අතු හා කොළ සිඳ ගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක මෙසේ කියන්නේ ය: ‘මේ භවත් පුරුෂ තෙමේ සාරය නො දන්නේ ය. බොරුදු නො දන්නේ ය. සිවිය නො දන්නේ ය. පොත්ත නො දන්නේ ය. අතු හා කොළ නො දන්නේ ය. එහෙයින් ම හර ප්රයෝජන කොට ඇත්තා වූ හර සොයන්නා වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ මේ භවත් පුරුෂ තෙමේ නොවැටී පවත්නා වූ හර ඇති මහත් රුකෙහි හරය ඉක්මවා ම බොරුදු ඉක්මවා ම සිවිය ඉක්මවා ම පොත්ත ඉක්මවා ම ‘හර ය’යි සිතන්නේ අතු කොළ කඩා ගෙන ගියේ වෙයි. මොහු විසින් රුක්හරින් කළ යුතු යම් හර පිළිබඳ කටයුත්තෙක් වේ ද, ඒ ප්රයෝජනය නො ලබන්නේය’යි.
5. මහණෙනි, එ පරිදිදෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්රයෙක් “ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන්, පරිදේවයෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකට බටුයෙම් වෙමි. දුකින් පෙළුනෙම් වෙමි. මෙ සියලු හුදු දුක් රැස කෙළවර කිරීම පැණෙන්නේ නම් මැනවැ”යි ශ්රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්රශංසා උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්රශංසාවෙන් සතුටු වූයේ පරිපූර්ණසංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්රශංසාවෙන් ‘මම ලාභී වෙමි. කීර්ති ඇත්තෙම් වෙමි මේ අනිත් භික්ෂූහු අප්රකටයෝ ය. අල්පේශාඛ්යයෝ’යි තමන් හුවා දක්වයි. අනුන් හෙළා දක්වයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්රශංසාවෙන් මත් වෙයි, ප්රමත්ත වෙයි, ස්මෘති විප්රවාසයට පැමිණෙ යි. ප්රමත්ත වූයේ දුක සේ වෙසෙයි. මහණෙනි, මේ මහණ තෙමේ බඹසරෙහි අතු හා කොළ ගත්තේය යි ද, එයින් අවසානයට පැමිණියේ ය යි ද කියනු ලැබේ.
6. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්රයෙක් ‘ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකට බටුයෙම් වෙමි. දුකින් පෙළුණෙම් වෙමි. මෙ හුදු දුක්රැස කෙළවර කිරීම පෙනෙන්නේ නම් යෙහෙකැ’යි ශ්රද්ධාවෙන් ගිහිගෙයින් නික් ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්රශංසා උපදවයි.