1. 3. 10.
චූළසාරෝපම සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක. ඉක්බිති පිඞ්ගලකොච්ඡ නම් බ්රාහ්මණ තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහිකට යුතු කථා කොට නිමවා එකත් පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන්නා වූ පිඞ්ගලකොච්ඡ බ්රාහ්මණ තෙමේ භාග්යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේ ය:
2. භවත් ගෞතමයන් වහන්ස, පැවැදිසමූහයා ඇති පැවැදිගණයා ඇති ගණාචාර්ය වූ ප්රසිද්ධ යශස් ඇති තීර්ත්ථක වූ (=ලබ්ධි උපදවන්නා වූ) බොහෝ දෙනා විසින් සාධුයයි සම්මත කරණ ලද යම් මේ මහණ බමුණු කෙනෙක් වෙත් ද, එනම්: පූරණකස්සප, මක්ඛලී ගෝසාල, අජිතකේසකම්බල, පකුධකච්චායන, සඤ්ජයබෙල්ට්ඨීපුත්ත, නිගණ්ඨනාථපුත්ත, යන මොහු ය. ඒ සියල්ලෝ ස්වකීය ප්රතිඥාව පරිදි (ස්වසමය නෛර්ය්යාණික යයි) දැන ගත්තාහු ද? සියල්ලෝ ම දැන නො ගත්තාහු ද? නැතහාත් සමහරු දැන ගත්තාහු ද? සමහරු දැන නො ගත්තාහු දැයි (ඇසීය.)
3. බමුණ, කම් නැත. ‘ඒ සියල්ලෝ ස්වකීය ප්රතිඥාව පරිදි දැන ගත්තාහු ද? සියල්ලෝ ම දැන නො ගත්තාහු ද? නැතහොත් සමහරු දැන ගත්තාහු ද? සමහරු දැන නො ගත්තාහු ද? යන මෙය තිබියේවා. බමුණ, මම තට ධර්මය දේශනා කරන්නෙමි. එය අසව. මනා කොට මෙනෙහි කරව. දේශනා කරන්නෙමි. පිඞ්ගලකොච්ඡ බ්රාහ්මණ තෙමේ ‘එසේ ය පින්වතුන් වහන්සැ’යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:
4. බමුණ, යම් සේ හරයෙන් ප්රයෝජන ඇත්තා වූ, හර සොයනසුලු වූ, හර සෙවීමෙහි හැසිරෙන්නා වූ, පුරුෂයෙක් පිහිටා පවත්නා, අරටුව ඇති, මහරුකෙක හරය ඉක්මවා එළය ඉක්මවා සිවිය ඉක්මවා පොත්ත ඉක්මවා හරය යි හඟනේ අතු කොළ කපා ගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙමේ ඒ මොහු දැක “ඒකාන්තයෙන් මේ භවත් පුරුෂ තෙමේ හරය නො දත්තේ ය. එළය නො දත්තේ ය. සිවිය නො දත්තේ ය. පොත්ත නො දත්තේ ය. කොළ අතු නො දත්තේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙමේ හරය ප්රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ හර සෙවීමෙහි හැසිරෙන්නේ නොවැටී පවත්නා වූ, හරය ඇති, මහරුකෙක හරය ඉක්මවා ම එළය ඉක්මවා ම සිවිය ඉක්මවා ම, පොත්ත ඉක්මවා ම හර යයි හඟිමින් අතු කොළ කපා ගෙණ ගියේ ය. මොහු විසින් හරයෙන් කට යුතු යමක් වේ නම්, හරය පිළිබඳ ඒ ප්රයෝජනය ද (හෙතෙමේ) නො ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.
5. බමුණ, යම් සේ හරයෙන් ප්රයෝජන ඇත්තා වූ, හර සොයනසුලු වූ, හර සෙවීමෙහි හැසිරෙන්නා වූ, පුරුෂයෙක් පිහිටා පවත්නා, හර ඇති මහරුකෙක හරය ඉක්මවා එළය ඉක්මවා සිවිය ඉක්මවා හරය යි හඟිමින් පොත්ත කපා ගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් මොහු දැක “මේ භවත් පුරුෂ තෙමේ අරටුව නො දත්තේ ය. එළය නො දත්තේ ය. සිවිය නො දත්තේ ය. පොත්ත නො දත්තේ ය. කොළ අතු නො දත්තේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙමේ හරය ප්රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ, හර සෙවීමෙහි හැසිරෙන්නේ නො වැටී පවත්නා වූ, හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම එළය ඉක්මවා සිවිය ඉක්මවා හරය යි හඟිමින් පොතු කපා ගෙන ගෙණ ගිය් ය. ඔහුට හරයෙන් කට යුතු යමක් වී නම්, හරය පිළිබඳ ඒ ප්රයෝජනය ද නො ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.
6. බමුණ, යම්සේ හරයෙන් ප්රයෝජන ඇත්තා වූ, හර සොයනසුලු වූ, හර සෙයනසුලු වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා, හර ඇති මහරුකෙ අරටුව ඉක්මවා, එළය ඉක්මවා, හරය යි හඟිමින් සිවිය සිඳ ගෙණ යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ භවත් පුරුෂ තෙමේ අරටුව නො දත්තේ ය. එළය නො දත්තේ ය. සිවිය නො දත්තේ ය. පොත්ත නො දත්තේ ය. කොළ අතු නො දත්තේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙමේ හරය ප්රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ, හරය සෙවීමෙහි හැසිරෙන්නේ පිහිටා පවත්නා වූ, හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම එළය ඉක්මවා හරය යි හඟිමින් සිවිය කපා ගෙන ගෙණ ගියේ ය. ඔහුට හරයෙන් කට යුතු යමක් වේ නම්, හරය පිළිබඳ ඒ අර්ත්ථය ද නො ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.
7. බමුණ, යම් සේ හරයෙන් ප්රයෝජන ඇත්තා වූ, හර සොයන හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා, අරටුව ඇති මහරුකෙක හරය ඉක්මවා ම හරය යි හඟිමින් එළය කපා ගෙණ යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ භවත් පුරුෂ තෙමේ ඒකාන්තයෙන් අරටුව නො දත්තේ ය. එළය නො දත්තේ ය. සිවිය නො දත්තේ ය. පොත්ත නො දත්තේ ය. කොළ අතු නො දත්තේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙමේ හරය ප්රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ, හරය සෙවීමෙහි හැසිරෙන්නේ නොවැටී පවත්නා වූ, හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම හරය යි හඟිමින් එළය කපා ගෙන ගෙණ ගියේ ය. ඔහුට හරයෙන් කට යුතු යමක් වේ නම්, හරය පිළිබඳ ඒ ප්රයෝජනය ද නො ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.