1. 3. 8.
මහාහත්ථිපදෝපම සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි, මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ‘ඇවැත්නි’ යි ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක.
2. ඇවැත්නි, යම්සේ පොළොව මතුපිට හැසිරෙන්නා වූ පා සහිත වූ සතුන්ගේ යම්කිසි පාදයෝ වෙත් ද, ඒ සියලු පාදයෝ ඇත්පියෙහි ඇතුළත් වීමට පැමිණෙත්. ඇත්පිය මහත් බැවින් ඒ සියලු පාදයන් අතුරෙහි අග්රය යි කියනු ලැබේ. ඇවැත්නි, එපරිද්දෙන් ම යම් මේ කුශලධර්ම කෙනෙක් වෙත් ද ඒ සියල්ල චතුරාර්ය්යසත්යධර්මයෙහි සංග්රහයට යෙත්. කවර සතරෙක්හි ද යත්: දුඃඛාර්ය්යසත්යයෙහි, දුඃඛසමුදයාර්ය්යසත්යයෙහි, දුඃඛනිරෝධාර්ය්යසත්යයෙහි, දුඃඛනිරෝධගාමිනීප්රතිපදාර්ය්යසත්යයෙහි ය.
3. ඇවැත්නි, දුඃඛාර්ය්යසත්ය කවරේ ද? ජාතිය ද දුක ය, ජරාව ද දුක ය. මරණය ද දුක ය. ශෝකය වැලපීම කායිකදුක මානසික දොම්නස දැඩි ආයාස යන මොහු ද දුක්ය. කැමති වූ යමක් නොලබා නම්, එ ද දුක ය. සංක්ෂේපයෙන් උපාදානස්කන්ධ පස ම දුක ය.
4. ඇවැත්නි, උපාදානස්කන්ධ පස කවරේ ද? එනම්: රූපූපාදානක්ඛන්ධ ය, වේදනානුපාදානක්ඛන්ධය, සඤ්ඤූපාදානක්ඛන්ධ ය, සඞ්ඛාරුපාදානක්ඛන්ධ ය, විඤ්ඤාණුපාදානක්ඛන්ධ ය යන මොහු ය.
5. ඇවැත්නි, රූපූපදානක්ඛන්ධ ය කවරේ ද? සතර මහාභූතයෝ ද සතර මහාභූතයන්ගේ උපාදායරූප ද යන මේ යි. ඇවැත්නි, සතර මහාභූතයෝ කවරහු ද? පඨවිධාතුව, ආපෝධාතුව, තේජෝධාතුව, වායෝධාතුව යන මොහු ය.
6. ඇවැත්නි, පෘථිවිධාතුව කවරේ ද? පෘථිවිධාතුව ආධ්යාත්මික ද වන්නේ ය. බාහිර ද වන්නේ ය. ඇවැත්නි, ආධ්යාත්මික පෘථිවිධාතුව කවරේ ද? තමා පිළිබඳ තමා නිසා පවත්නා තද වූ පරුෂ වූ සතර මහාභූතයන්ගෙන් හටගත් යම් ද්රව්යයක් වේද, එනම් - කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හදවත්, අක්මාව, දලබුව, බඩදිව, පපුමස, අතුනු, අතුනුබහන්, නො පැසුණු අහර, මල යන මේ ද, තමා තුළ වූ කර්කශ වූ තද වූ මහාභූතයන් නිසා හටගත් අන්ය වූ යම් කිසිවකුත් වේ ද, ඇවැත්නි, මේ ආධ්යාත්මික පෘථිවිධාතුව යයි කියනු ලැබේ.
යම් මේ ආධ්යාත්මික පෘථිවිධාතුවකුත් වේ ද, යම් බාහිර පෘථිවිධාතුවක් වේ ද, ඒ සියල්ල පෘථිවිධාතු ම ය. ‘මේ පෘථිවිධාතුව මගේ නොවෙයි. මම තෙල පෘථිවිධාතුයෙම් නො වෙමි. පෘථිවි ධාතුව මගේ ආත්මය නො වේ’යි මෙසේ මෙය සම්යක්ප්රඥාවෙන් තත් වූ පරිදි දැක්ක යුතු ය. මෙසේ මෙය තත් වූ පරිදි සම්යක්ප්රඥාවෙන් දැක පෘථිවිධාතුවෙහි උකැටි වෙයි. පෘථිවිධාතුවෙන් සිත බැහැර කෙරෙයි.
7. යම් හෙයකින් බාහිර ආපෝධාතුව කිපේ ද, එබඳු කාලයෙක් වේ ම ය. එකල්හි බාහිර පඨවිධාතුව අතුරු දහන් වූයේ වෙයි. ඇවැත්නි, බහලත්වයෙන් ඒ නිසා (කෙළ සියදහසක් පමණ) මහත් වූ ඒ බාහිර පඨවිධාතුවේ ද අනිත්යභාවය පෙනෙයි. ක්ෂයස්වභාවය පෙනෙයි. ව්යයස්වභාවය පෙනෙයි. වෙන්සවන ස්වභාවය ඇති බව පෙනෙයි. කිම, ඔහුට මේ මඳ කලක් පවත්නා වූ තෘෂ්ණාවෙන් දැඩි ව ගන්නා ලද්දා වූ ආධ්යාත්මික ශරීරය පිළිබඳ ව ‘මම ය’ කියා හෝ ‘මාගේ ය’ කියා හෝ ‘මම වෙමි’යි කියා හෝ ගැනීමෙක් වේ ද? තිලකුණු නගා බලන ඒ මහණ හට මෙහි තෘෂ්ණා, දෘෂ්ටි, මාන වශයෙන් ගැනීමෙක් නො වේ ම ය.
8. ඇවැත්නි, ඒ මහණහට අන්යයෝ ආක්රෝශ කෙරෙත් ද, පරිභව කෙරෙත් ද, ගටත් ද, වෙහෙසත් ද, හෙතෙම මෙසේ දනියි: ‘මට මේ ශ්රෝත්රසංස්පර්ශයෙන් හටගත් දුඃඛවේදනාව උපන්නී ය. ඕ වනාහි හේතුවක් නිසා උපන්නී ය. හේතු රහිත ව නො උපන්නී ය. කුමක් හේතුකොට ද යත්: ස්පර්ශය හේතු කොට ය. හෙතෙමේ ස්පර්ශය අනිත්ය යයි දකියි. වේදනාව අනිත්ය යයි දකියි. සංඥාව අනිත්ය යයි දකියි. සංස්කාරයෝ අනිත්යහ යි දකියි. විඤ්ඤාණය අනිත්ය යයි දකියි. ඔහුගේ සිත ධාතුසංඛ්යාත ආලම්බනයට ම බසී. ඒ අරමුණෙහි ම පහදියි. ඒ අරමුණෙහි ම සිටියි. ඒ අරමුණෙහි ම ධාතුවශයෙන් ම නිශ්චයට පැමිණෙයි.
9. ඇවැත්නි, ඉදින් ඒ මහණහට අන්යයෝ අනිටු වූ නොකැමති වූ මන නොවඩන්නා වූ අතුල්පහරින් ද, කැටකැබැලිතිපහරින් ද, දඬුපහරින් ද, සැත්පහරින් ද ගසත් නම් හෙතෙමේ මෙසේ දනියි: “යම්බඳු කයක අත් පහර වදී ද, කැට පහර වදී ද, දඬු පහර වදී ද, සැත් පහර වදී ද, මේ කය එසේ වූයේ ය. භාග්යවතුන් වහන්සේ විසින් කකචූපම ඕවාදයෙහි දී මෙය වදාරන ලදි: ‘මහණෙනි, ලමුකම් ඇති හොරු දෙපස මිටි ඇති කියතකින් අඟ පසඟ කපත් ද, ඒ සොරුන් කෙරෙහි ද යමෙක් සිත ප්රදූෂ්ය කරන්නේ නම් හෙතෙම එයින් මාගේ අනුශාසනය කරන්නෙක් නො වේ ය’ කියා යි. මා විසින් වීර්ය්යය පටන්ගන්නා ලද්දේ නො හැකුළුණේ වන්නේ ය. සිහිය එළඹ සිටියේ නො මුළා ය. කය සන්හිඳුණේ පහ වූ දරථ ඇත්තේ ය. සිත සමාහිත වූයේ එකඟ ය. දැන් කැමැති සේ මේ ශරීරයෙහි අතුල්පහස්හු ද වදිත්වා. කැට පහස්හු ද වදිත්වා. ඳඬුපහස්හු ද වදිත්වා. සැත්පහස්හු ද වදිත්වා. එහෙත් බුදුන්ගේ මේ ශාසනාය කරනු ලැබේම ය.