1. 3. 7.
චූළහත්ථිපදෝපම සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණ සේක. එසමයෙහි ජාණුස්සෝණි බ්රාහ්මණ තෙම් සවිසුදු වෙළෙඹුන් යෙදූ රියකින් දෙවෙන්දාවල් සැවැත්නුවර පැදකුණු කරයි.
2. ජාණුස්සෝණි බ්රාහ්මණ තෙමේ එන්නා වූ පිලෝතිකා පරිව්රාජකයා දුර දී ම දැක්කේය. දැක මෙසේ කීයේය:
“භවත් වාත්ස්යායන තෙමේ දැන් දෙවෙන්දාවල් කොහි සිට එන්නේ ද”
“පින්වත, මම මෙහි ශ්රමණ ගෞතමයන්ගේ සමීපයෙහි සිට එමි.”
“භවත් වාත්ස්යායන තෙමේ ශ්රමණ ගෞතමයන්ගේ ප්රඥාව හා වියත්බව කිමැයි හඟනේ ද? පණ්ඩිතයෙකැ යි සිතන්නේ ද”
භවත, මම කවරෙකිම් ද, ශ්රමණගෞතමයන්ගේ නුවණ හා වියත්බව දැනීමෙහි මම කවරෙකිම් වෙම් ද, යමෙක් ශ්රමණගෞතමයන්ගේ නුවණ හා වියත්බව දන්නේ නම්, හෙතෙමේත් ඒකාන්තයෙන් එවැනි (බුදුවරයෙක්) වන්නේ ම ය.
“පින්වත් වාත්ස්යායන තෙමේ උදාර වූ ප්රශංසාවෙන් භවත් ගෞතමයන් පසසයි”
“පින්වත, මම කවරෙකිම් ද, ශ්රමණගෞතමයන් පැසසීමෙහි මම කවරෙකිම් වෙම් ද, ඒ භවත් ගෞතම තෙමේ ප්රශස්ත ගුණයෙන් ප්රශස්තය, නොහොත් ප්රශස්තයන් විසින් ප්රශස්තය. දෙවි මිනිසුන් අතර ශ්රේෂ්ඨ ය.
“පින්වත් වාත්ස්යායන තෙමේ කවර කරුණක් දක්නේ ශ්රමණ ගෞතමයන් කෙරෙහි මෙසේ වෙසෙසින් පැහැදුණේ ද”
3. “පින්වත, යම් සේ නාගවනවාසී (ඇතුන් වසන වනයෙහි වසන) දක්ෂ පුරුෂයෙක් ඇත්වනයට ඇතුළු වේ ද, හෙතෙම නාගවනයෙහි දිගිනුදු දික් වූ සරසිනුදු පුළුල් වූ මහඇත්පියක් දක්නේ ද, හෙතෙමේ ‘පින්වත, මහ ඇතෙකැ’ යි නිශ්චයට පැමිණෙන්නේ ය. පින්වත, එසේ ම මම යම් තැනක පටන් ශ්රමණ ගෞතමයන් වෙත ඤාණපද සතරක් දිටිම් ද, ඉක්බිති මම භාග්යවතුන් වහන්සේ ‘සම්යක්සම්බුද්ධයහ. භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වාක්ඛ්යාත ය. භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝ තෙමේ සුප්රතිපන්නය’යි නිෂ්ඨාවට පැමිණියෙමි.
4. කවර ඤාණපද සතරෙක් ද යත්:
පින්වත, මම මේ ලෝකයෙහි යම් කෙනෙක් ස්වකීය ප්රඥාවෙන් අනුන්ගේ දෘෂ්ටීන් බිඳින්නාක් මෙන් හැසිරෙද්ද, එබඳු වූ සියුම් බුද්ධි ඇති අනුන් හා කළවිරූ වාද ඇති වාලවේධි දුනුවාවන් වැනි වූ ඇතැම් ක්ෂත්රිය පණ්ඩිත කෙනෙකුන් දකිමි. ඔහු ශ්රමණ භවත් ගෞතම තෙමේ ‘අසුවල් ගමට හෝ නියම්ගමට හෝ පැමිණේ ය’යි අසත්. ඔහු ප්රශ්න අභිසංස්කරණ කරත්: අපි මේ ප්රශ්න ශ්රමණ ගෞතමයන් කරා පැමිණ විචාරන්නෙමු. ඉදින් මෙසේ අප විසින් විචාරණ ලද්දේ මෙසේ විසඳන්නේ නම්, මෙසේ අපි ඔබට වාදාරෝපණය කරන්නෙමු. මෙසේත් අප විසින් විචාරණ ලද්දේ මෙසේ විසඳන්නේ නම්, ඔබට මෙසේත් අපි වාදාරෝපණය කරන්නෙමු’යි කියා යි.
ඔහු ‘ශ්රමණ භවත් ගෞතම තෙමේ අසුවල් ගමට හෝ නියම්ගමට පැමිණියේය’යි අසත්. ඔහු ශ්රමණ භවත් ගෞතමයන් වෙත පැමිණෙත්. ශ්රමණ භවත් ගෞතමයෝ ඔවුන්ට දැහැමි කථාවෙන් කරුණු දක්වති. සමාදන් කරවති. තියුණු කරවති. සතුටු කරවති. ඔහු ශ්රමණ භවත් ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු තෙද ගන්වන ලද්දාහු සතුටු කරවන ලද්දාහු ශ්රමණ ගෞතමයන් අතින් ප්රශ්න නො විචාරත්ම ය. කොයින් උන්වහන්සේට වාදාරෝපණය කරන්නාහු ද? ඒකාන්තයෙන් ශ්රමණ ගෞතමයන් වහන්සේගේ ම ශ්රාවකයෝ වෙත්. පින්වත, යම් දිනෙක මම ශ්රමණ ගෞතමයන් වහන්සේ කෙරෙහි මේ පළමුවන පදය දිටිම් ද, ඉක්බිති මම භාග්යවතුන් වහන්සේ සම්යක්සම්බුද්ධයහ. භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වාඛ්යාතය. භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝ තෙමේ සුප්රතිපන්න” යි නිශ්චයට ගියෙමි. [පළමුවැනි ඥානපදය]
5. නැවත අනිකක් ද වෙයි. පින්වත, මම මේ ලෝකයෙහි යම් කෙනෙක් ස්වකීය ප්රඥාවෙන් අනුන්ගේ දෘෂ්ටීන් බිඳිමින් මෙන් හැසිරෙත් ද, එබඳු වූ සියුම් බුද්ධි ඇති අනුන් හා කළවිරූ වාද ඇති වාලවේධි දුනුවායන් වැනි වූ ඇතැම් බමුණුපඬිවරුන් දකිමි. ඔහු ‘ශ්රමණ භවත් ගෞතම තෙමේ අසුවල් ගමට හෝ නියම්ගමට හෝ පැමිණේය’යි අසත්. ඔහු ප්රශ්න සකස් කරත්: ‘අපි මේ ප්රශ්න ශ්රමණ ගෞතමයන් වෙත එළඹ විචාරන්නෙමු. ඉදින් අප විසින් මෙසේ විචාරණ ලද්දේ මෙසේ විසඳන සේක. අපි මෙසේ උන්වහන්සේට වාදාරෝපණය කරන්නෙමු. ඉදින් අප විසින් මෙසේ විචාරණ ලද උන්වහන්සේ මෙසේ විසඳන්නේය. අපි මෙසේත් ඔහුට වාදාරෝපණය කරන්නෙමු’යි කියා යි.
ඔහු ‘ශ්රමණ භවත් ගෞතමයෝ අසුවල් ගමට හෝ නියම්ගමට පැමිණියහ’යි අසත්. ඔහු ශ්රමණ භවත් ගෞතමයන් වෙත පැමිණෙත්. ශ්රමණ ගෞතම තෙමේ ඔවුන්ට දැහැමි කථාවෙන් කරුණු දක්වයි. සමාදන් කරවයි. තෙද ගන්වයි. සතුටු කරවයි.