1. 3. 6.
අරියපරියේසන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳපෙරව පාසිවුරු ගෙණ සැවැත් නුවරට පිඬු පිණිස පිවිසිසේක. එකල්හි බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් අනඳ තෙරුන් කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල කීහ: “ඇවැත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, අප භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි ධර්‍ම කථාව ඇසුවිරූ බොහෝකල් වෙයි. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, අපි භාග්‍යවතුන් සම්බුඛයෙහි ධර්‍ම කථාවක් අසන්ට ලබන්නමෝ නම් මැනැවි” යනුයි. ඇවැත්නි, එසේ නම් රම්මක බමුණාගේ අසපුව කරා එළඹෙව. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි දැහැමි කථාවක් අසවු නම් මනා මය. ඒ භික්‍ෂූහු ‘එසේය ඇවැත්නි’ යි ආයුෂ්මත් අනඳ තෙරුන්ට පිළිතුරු දුන්හ.
2. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පිඬු පිණිස හැසිර බතෙන් පසු පිණ්ඩපාතයෙන් නැවතුනු සේක් ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: “ආනන්‍දය, දිවාවිහාරය සඳහා පුබ්බාරාමය නම් වූ මිගාරමාතු ප්‍රාසාදය කරා යම්හ”. ‘එසේ ය වහන්සැ’යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් සමග දිවාවිහාරය සඳහා මෘගාරිමාතෘ ප්‍රාසාදය කරා වැඩියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැගිසිටි සේක් ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල වදාළසේක. “ආනන්‍දය, ගාත්‍රපරිෂේකය සඳහා නැගෙනහිර නාන කොටුවට යම්හ.” “එසේ ය වහන්සැ”යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් සමග නැගෙනහිර නානකොටුවට වැඩියහ. සිරුරුඅවයව සනහා ගැන්ම සඳහාය. නැගෙනහිර නානකොටුවෙන් සිරුරුඅවයව සනහා ගෙන ගොඩනැගී එක් (අඳනා) සිවුරු ඇතිව සිරුරුඅවයව පූර්‍ව අවස්ථාවට පමුණුවමින් (=වියළවමින්) සිටිසේක.
4. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ. ‘වහන්ස, රම්මකබමුණාගේ මේ අසපුව රමණීය ය. රම්මකබමුණාගේ අසපුව සිත්කලු ය. වහන්ස භාග්‍යවතුන් වහන්සේ, අනුකම්පා උපදවා රම්මකබමුණාගේ අසපුව කරා පැමිණෙනසේක් නම් මැනවි’. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දතායෙන් ඉවසූ සේක.
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රම්මකබමුණාගේ අසපුව කරා පැමිණි සේක. එසමයෙහි බොහෝ භික්‍ෂූහු රම්මකබමුණාගේ අසපුවෙහි දැහැමි කථාවෙන් යුතුව රැස්ව හුන්නාහු වෙත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කථා අවසානය බලනුවෝ බිහිදොරටුයෙහි වැඩ සිටි සේක. අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ කථාව අවසන්සේ දැන කැස දොර කවුළුව පහළහ. ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට දොර විවර කළහ.
6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රම්මකබමුණාගේ අසපුවට පිවිස පනවනලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ආමන්ත්‍රණය කළසේක: “මහණෙනි, දැන් කිනම් කථාවකින් යුක්ත ව හුන්හු ද? තොපගේ කවර අතුරුකතාවක් අඩාළ කරණ ලද ද?” “වහන්ස, අප විසින් භාග්‍යවතුන් වහන්සේ ම අරභයාවූ දැහැමි කථාව අඩාළ කරණ ලදී. එකල භාග්‍යවතුන් වහන්සේ වැඩිසේකැ”යි සැළ කළහ. “මහණෙනි, මැනවි. මහණෙනි, යම් ලෙසකින් තෙපි දැහැමි කථාවෙන් යුක්ත ව හුන්හුද, එය ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම සසුන්වන් කුලපුත්‍ර වූ තොපට නිසිය. මහණෙනි, රැස්වූ තොප විසින් දැහැමි කථාව හෝ ආර්‍ය්‍යතුෂ්ණීම්භාවය (ද්විතීයධ්‍යානය හෝ මූලකර්‍මස්ථානය මෙනෙහි කිරීම) යන දෙක කළ යුතුය.”
7. මහණෙනි, ආර්‍ය්‍යපර්‍ය්‍යෙෂණය ය, අනාර්‍ය්‍යපර්‍ය්‍යෙෂණයයි මේ සෙවීම් දෙකෙකි.
මහණෙනි, අනාර්‍ය්‍යපර්‍ය්‍යෙෂණය කුමක් ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුඟුලෙක් තෙමේ ජාතිය ස්වභාවය කොට ඇත්තේ ජාතිධර්‍මයක් (ජාතිය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ ජරාව ස්වභාව කොට ඇත්තේ ජරා ධර්‍මයක් (ජරාව ස්වභාව) කොට ඇත්තක් ම සොයයි. තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ ව්‍යාධිධර්‍මයක් (ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ මරණය ස්වභාව කොට ඇත්තේ මරණ ධර්‍මයක් (මරණය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ ශෝකය ස්වභාව කොට ඇත්තේ ශෝක ධර්‍මයක් (ශෝකය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ කෙලෙසන ස්වභාව ඇත්තේ කෙලෙසන ස්වභාව ඇත්තක් ම සොයයි.
8. මහණෙනි, කුමක් ජාතිධර්‍ම යයි කියන්නේ ද? පුත්‍රදාරාවෝ ජාතිධර්‍මයෝයි. දැසි දස්හු ජාතිධර්‍මයෝයි. එළුබැටළුවෝ ජාතිධර්‍මයෝයි. කුකුළන් හා ඌරෝ ජාතිධර්‍මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු ජාතිධර්‍මයෝ ය. රන් රිදී ජාතිධර්‍මය. මහණෙනි, මේ පඤ්චකාමගුණ උපධීහු ජාතිධර්‍මයෝ ය. මෙහි තෘෂ්ණාවෙන් බැඳුණා වූ මුසපත් වූ බැසගත්තා වූ මේ ලෝ වැසි තෙමේ ජාතිය ස්වභාව කොට ඇත්තේ ජාතිධර්‍මයක් ම සොයයි.
9. මහණෙනි, කුමක් ජරාධර්‍මයයි කියන්නේ ද? පුත්‍රභාර්‍ය්‍යාවෝ ජරාධර්‍මයෝ ය. දැසිදස්හු ජරාධර්‍මයෝ ය එළු බැටළුවෝ ජරාධර්‍මයෝ ය. කුකුළන් හා ඌරෝ ජරාධර්‍මයෝය. ඇත් ගව අස් වෙළඹහු ජරාධර්‍මයෝය. රන්රිදී ජරාධර්‍මය. මහණෙනි, මේ පඤ්චකාමගුණ ජරාධර්‍ම වෙති. මේ ලෝවැසි, තෙමේ මෙහි ගැට ගැසුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ජරාව ස්වභාව කොට ඇත්තේ ජරාධර්‍මයක් ම සොයයි.