1. 3. 5.
නිවාප සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
2. මහණෙනි, නිමවැද්දෙක් (තෘණාදි ගොදුරු කරණ වැද්දෙක්) “මා විසින් වපුළ මේ ගොදුරු අනුභව කරන්නා වූ මුව සමූහයෝ දිගා ඇත්තෝ පැහැපත් වූවෝ බොහෝ කලක් යැපෙත්වා”යි (සිතා) මුව සමූහයකට තණ (ඇට) නො වපුරයි. මහණෙනි, නේවාපික තෙමේ මුවන් සඳහා “මා විසින් වපුළ මේ කෙතට මුවසමූහයෝ වැද ගෙන මුසපත් ව බොජුන් අනුභව කෙරෙත්. වැද ගෙන මුසපත් ව බොජුන් අනුභව කරන්නෝ මදයට පැමිණෙන්නාහු ය. මත් වූවෝ ප්‍රමාදයට පැමිණෙන්නාහු ය. ප්‍රමත්ත වූවෝ මේ නිවාපයෙහි කැමැති සේ කට යුත්තෝ වන්නාහු ය”යි මෙසේ (සිතා) ම තණ වපුරයි.
3. මහණෙනි, ඒ මුවසමූහයන් අතර පළමුවන මුවසමූහයෝ නේවාපිකයා විසින් වපුළ මේ තණකෙතට වැද මුසපත් වූවෝ තණ කෑවෝ ය. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මදයට පැමිණියාහු ය. මත් වූවෝ සිහි නැති වීමට පත් වූහ. සිහි නැති වූවාහු නේවාපිකයාගේ මේ තණ කොටුවෙහි කැමැති සේ කට යුත්තෝ වූහ. මහණෙනි, මෙසේ ඒ පළමුවන මුවසමූහයෝ නේවාපිකයාගේ ඍදධිඅනුභාවයෙන් (වසඟයෙන්) නො මිදුණාහු ය.
4. මහණෙනි, එහි දී දෙවන මුවසමූහයෝ මෙසේ සිතූහ: “යම් ඒ පළමුවන මුවසමූහයෝ නේවාපිකයා විසින් වපුළ මේ තණකෙතට වැද මුසපත් වූවෝ තණ කෑවාහු ය. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූවාහු ය. මත් වූවාහු සිහි නැති වූවාහු නේවාපිකයාගේ මේ තණ කොටුවෙහිදී කැමති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුව සමූහයෝ නේවාපිකයාට වසඟ වීමෙන් නො මිදුණාහු ය. අපි සර්‍වප්‍රකාරයෙන් නිවාපභෝජනයෙන් වැළකෙන්නෙමු නම්, භය සහිත තණ කෑමෙන් වැළකුණමෝ කැලයට වැද වාසය කරන්නෙමු නම්, යෙහෙකැ” යි කියායි. ඔහු සර්‍වප්‍රකාරයෙන් ම නිවාපභෝජනයෙන් වැළකුණාහ. බිය සහිත වූ පරිභෝගයෙන් වැලකුණෝ වනළැහැබට වැද වාසය කළහ. ගිම්හානයේ පශ්චිමමාසයෙහි තණ හා ජලය වියළී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෘශබවට පැමිණියේ ය. ඉතා කෘශබවට පැමිණි ඔවුන්ගේ ශක්තිය පිරිහුණේ ය. ශක්තිය පිරිහුණු කල්හි නේවාපිකයාගේ වපුළ ඒ තණ කොටුවට ම පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව තණ කෑහ. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි මුළාවට පැමිණියාහු ය. සිහි මුළා වූවාහු නේවාපිකයාගේ මේ තණ කොටුවේදී කැමැති සේ කටයුතු බවට පැමිණියාහු ය. මහණෙනි, මෙසේ ඒ දෙවැනි මුවරැළ ද නිවාපිකයාගේ වසඟයෙන් නො මිදුණාහ.
5. මහණෙනි, එහි තුන්වන මුවසමූහයෝ මෙසේ සිතූහ: “යම් ඒ පළමුවන මුවසමූහයෝ නේවාපිකයා වපුළ ඒ තණකොටුවට වැද මුසපත් වූවාහු ගොදුරු කෑවෝ ද, ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි මුළාවට පැමිණියාහු ය. සිහි මුළා වූවාහු මේ තණ කොටුවේදී නේවාපිකයා විසින් කැමති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුව සමූහයෝ නේවාපිකයාගේ ඍධ්‍යානුභාවයෙන් නො මිදුණාහු ය. -
“යම් ඒ දෙවන මුවසමූහ කෙනෙක් මෙසේ සිතූහු ද - ‘යම් ඒ පළමුවන මුවසමූහ කෙනෙක් නේවාපිකයාගේ මේ තණකොටුවට වැද මුසපත් ව තණ කෑවාහු ද, ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූවාහු ය. මත් වූවාහු සිහි නැති වූවාහුය. සිහි නැති වූවාහු නේවාපිකයාගේ මේ තණකොටුවෙහි කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුවසමූහයෝ නේවාපිකයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහු ය. අපි තෘණභෝජනයෙන් සර්‍වප්‍රකාරයෙන් වැළකෙන්නමු නම්, භය සහිත තණ කෑමෙන් වැලකුණමෝ කැලයට වැද වාසය කරන්නෙමු නම්, යෙහෙකැ’ යි. ඔහු සම්පූර්‍ණයෙන් තෘණභෝජනයෙන් වෙන් වූහ. භයජනක කෑමෙන් වැළකුණාහු වනයට වැද වාසය කළහ. ගිම්හානයේ අන්තිම මාසයේ තණ හා දිය වියළී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෘශබවට පැමිණියේ ය. කෘශබවට පැමිණි ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුණු කල්හි ඒ නේවාපිකයාගේ ඒ තණකොටුවටම පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව තණ කෑහ. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි මුළාබවට පැමිණියාහුය. සිහි මුළා වූවාහු මේ තණකොටුවෙහි දී නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ දෙවන මුවසමූහයෝ ද නේවාපිකයාගේ ඍදධ්‍යානුභාවයෙන් නොමිදුණාහ.
“එහෙයින් අපි නේවාපිකයාගේ වපුළ මේ තණකොටුව ඇසුරු කොට ලගින තැනක් පිළියෙළ කර ගනිමු නම් යෙහෙකැයි එහි ලගින තැනක් කොට නේවාපිකයා විසින් වපුළ මේ තණකොටුවට නො වැද මුසපත් නො වී තණ කමු. වැද මුසපත් නො වී තණ කමින් වධයට නො පැමිණෙන්නෙමු. මත් නො වූවමෝ සිහි මුළා බවට නො පැමිණෙන්නෙමු, සිහි මුළා බවට නො පැමිණියමෝ, නේවාපිකයාගේ මේ තණකොටුවේ දී කැමැති සේ කට යුත්තමෝ නො වන්නෙමුයි”. ඔහු නේවාපිකයා විසින් වපුළ මේ තණකොටුව ඇසුරු කොට එහි ලගින තැනක් කොට විසූහ. නේවාපිකයාගේ මේ තණකොටුව ඇසුරු කොට ලගින තැනක් කොට වැස ඊට නො වැද නො මුසපත්ව තණ කෑහ. ඔහු එහි නො වැද මුසපත් නොවී තණ කන්නාහු මත් නො වූහ. මත් නො වූවාහු සිහි මුළා බවට නො පැමිණියහ. සිහිමුළා නො වූවාහු මේ තණ කොටුවෙහි නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ නො වූහ.
6. මහණෙනි, එහි දී නේවාපිකයාටත් නේවාපිකයාගේ පිරිසටත් මෙවැනි අදහසෙක් විය: මේ තුන්වන මුවසමූහයෝ නම් කපටියෝය. පුහුණු වූ කෛරාටික කම් ඇත්තෝය. ඍද්ධි ඇත්තා වූ මේ තුන්වැනි මුවසමූහයෝ යක්කුය. මොහු වපුළ තණ ද කත් ඔවුන්ගේ ඊමත් යාමත් නො ද දනිමු. -