1. 3. 4.
රථවිනීත සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වාසය කරණ සේක. එකල බොහෝ ජාතිභූමක භික්ෂූහු ජාතිභූමියෙහි වස්වැස පැවරුවාහු භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූන්ට භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක:
2. මහණෙනි, ‘තෙමේත් අල්පේච්ඡ වූයේ අල්පේච්ඡකථාව භික්ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් සන්තුෂ්ට වූයේ සන්තුෂ්ටිකථාව භික්ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් ප්රකර්ෂවිවේකයෙන් යුක්ත වූයේ විවෙකකථාව භික්ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් (පංචවිධ-) සංසර්ගය නැති වූයේ අසංසර්ගකථාව භික්ෂූන්ට කරණ සුලු වූයේ යයි ද, තෙමේත් පටන්ගත් වීර්ය්ය ඇත්තේ වීර්ය්යාරම්භකථාව භික්ෂූන්ට කරණසුලු වූයේයයි ද, තෙමේත් ශීලසම්පන්න වූයේ ශීලසම්පදාකථාව භික්ෂූන්ට කරණසුලු වූයේයයි ද, තෙමේත් සමාධිසම්පන්න වූයේ සමාධිසම්පදාකථාව භික්ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් ප්රඥාසම්පන්න වූයේ ප්රඥාසම්පදාකථාව භික්ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් විමුක්ති (ආර්ය්යඵල) සම්පන්න වූයේ විමුක්ති සම්පදාකථාව භික්ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් විමුක්තිඥාන දර්ශනයෙන් යුක්ත වූයේ විමුක්තිඥානදර්ශනසම්පදාකථාව භික්ෂූන්ට කරණ සුලු වූයේ යයි ද, සබ්රම්සරුන්ට දශකථාවස්තූන්ගෙන් අවවාද කරන්නේ යයි ද, එය අවබෝධ කරවන්නේ යයි ද, ඒ පිළිබඳ කරණු දක්වන්නේ යයි ද, එය පිළිගන්වන්නේ යයි ද, එය කරවීම් වශයෙන් තියුණු කරවන්නේ යයි ද, මෙසේ ජාතිභූමියෙහි ජාතිභූමක වූ සබ්රහ්මචාරීභික්ෂූන් විසින් කවරෙක් තෙමේ සම්භාවනා කරණ ලද්දේ ද?’
3. “වහන්ස, මන්තාණි බැමිණියගේ පුත්ර වූ පූර්ණ නම් ආයුෂ්මත් තෙමේ ජාතිභූමියෙහි ජාතිභූමක සබ්රහ්මචාරී භික්ෂූන් විසින් ‘තෙමේත් අල්පේච්ඡ වූයේ අල්පේච්ඡකථාව භික්ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් සන්තුෂ්ට වූයේ සන්තුෂ්ටිකථාව භික්ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් ප්රකර්ෂ විවේකයෙන් යුක්ත වූයේ ප්රකර්ෂවිවේකය පිළිබඳ කථාව භික්ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් අසංසෘෂ්ට වූයේ අසංසර්ගකථාව භික්ෂූන්ට කරණ සුලු වූයේ යයි ද, තෙමේත් පටන්ගත් වීර්ය්ය ඇත්තේ වීර්ය්යාරම්භකථාව භික්ෂූන්ට කරණසුලු වූයේයයි ද, තෙමේත් ශීලසම්පන්න වූයේ ශීලසම්පදාකථාව භික්ෂූන්ට කරණසුලු වූයේයයි ද, තෙමේත් සමාධිසම්පන්න වූයේ සමාධිසම්පදාකථාව භික්ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් ප්රඥාසම්පන්න වූයේ ප්රඥාසම්පදාකථාව භික්ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් විමුක්තිසම්පන්න වූයේ විමුක්තිසම්පදා කථාව භික්ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් විමුක්තිඥානදර්ශනයෙන් යුක්ත වූයේ විමුක්තිඥානදර්ශනසම්පදාකථාව භික්ෂූන්ට කරණ සුලු වූයේ යයි ද, සබ්රම්සරුන්ට දශකථා වස්තූන්ගෙන් අවවාද කරන්නේ යයි ද, එය අවබෝධ කරවන්නේ යයි ද, එය පිළිගන්වන්නේ යයි ද, එය තියුණු කරවන්නේ යයි ද, එහි සතුටු කරවන්නේ වේ’ යයි ද මෙසේ සම්භාවනා කරණ ලද්දේ ය.”
4. එ සමහයෙහි ආයුෂ්මත් ශාරීපුත්රස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි හුන්නාහු වෙත්. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්රස්ථවිරයන් වහන්සේට මෙබඳු අදහසෙක් වී ය: “නුවණ ඇත්තා වූ සබ්රහ්මචාරීහු ශාස්තෲන් වහන්සේගේ හමුවෙහි දශකථාවස්තූන්ට පිවිසෙමින් යම් කෙනකුන්ගේ ගුණ කියත් ද, ඒ ගුණකථාව ද ශාස්තෲන් වහන්සේ මනා කොට අනුමෝදන් වනසේක් ද, ඒ මන්ත්රාණිපුත්ර වූ පූර්ණ ආයුෂ්මතුන් වහන්සේට ලාභයෙකි. මන්ත්රාණිපුත්ර පූර්ණ ස්ථවිරයන්ට සුලබලාභයකි. අපි කිසියම් කලෙක මන්ත්රාණිපුත්ර ආයුෂ්මත් පූර්ණ තෙරණුවන් හා එක් වන්නමෝ නම් මැනව. කිසියම් කථාසල්ලාපයකුත් වන්නේ නම් මැනව” කියායි.
5. ඉක්බිති භාග්යවතුන් වහන්සේ කැමැති තාක් කල් රජගහනුවර වැඩවාසය කොට පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙණසේක් සැවැත්නුවරට වැඩිසේක. භාග්යවතුන් වහන්සේ ඒ සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණ සේක. “භාග්යවතුන් වහන්සේ සැවැත්නුවරට වැඩ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙර වාසය කරණසේක් ලැ”යි මන්ත්රාණිපුත්ර ආයුෂ්මත් පූර්ණ ස්ථවිරයන් වහන්සේ ඇසූහ.
6. ඉක්බිති මන්ත්රාණිපුත්ර ආයුෂ්මත් පූර්ණ තෙරණුවෝ සෙනසුන් තැන්පත්කොට තබා පාසිවුරු ගෙණ සැවැත්නුවරට චාරිකාවෙහි වැඩියහ. පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙන්නාහු, භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් මන්ත්රාණිපුත්ර ආයුෂ්මත් පුණ්ණ තෙරණුවන්ට භාග්යවතුන් වහන්සේ දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. එහි සමාදන් කරවූහ. එහි උත්සාහ කරවූහ. එහි සතුටු කරවූහ. ඉක්බිති මන්ත්රාණිපුත්ර ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහු, භාග්යවතුන් වහන්සේගේ භාෂිතයට සතුටු ව අනුමෝදන්ව අස්නෙන් නැගී භාග්යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට දිවාවිහරණය සඳහා අන්ධවනයට වැඩියහ.
7. ඉක්බිති එක්තරා භික්ෂු නමක් ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්ස, ඔබ වහන්සේ යම් මන්ත්රාණි පුත්ර ආයුෂ්මත් පූර්ණ තෙර කෙනකුන් ගැණ නිතර කියමින් විසූ සේක් ද, ඒ පූර්ණස්ථවිර තෙමේ භාග්යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරණු දක්වන ලද්දේ, සමාදන් කරවන ලද්දේ, භාග්යවතුන් වහන්සේගේ දේශනාවට සතුටු ව අනුමෝදන් ව අස්නෙන් නැගිට භාග්යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට දිවාවිහරණය සඳහා අන්ධවනය කරා ගියේ ය” යි කියා යි.