1. 3. 3.
වම්මික සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ ජේතවනාරාම යෙහි වැඩවාසය කරණ සේක. එසමයෙහි ආයුෂ්මත් කුමාරකාශ්යප තෙරණුවෝ අන්ධවනයෙහි වාසය කරති. එකල එක්තරා දෙවියෙක් මධ්යමරාත්රියෙහි විශිෂ්ට වර්ණ ඇත්තේ අන්ධවනය හාත්පස එකාලොක කොට ආයුෂ්මත් කුමාරකාශ්යප තෙරණුවන් කරා එළඹියේ ය. එළඹ එකත්පස්ව සිටියේ ය. එකත්පස්ව සිටි ඒ දෙවියා ආයුෂ්මත් කුමාරකාශ්යප තෙරණුවන්ට මෙය සැළ කෙළේය:
2. “මහණ, මහණ, මේ තුඹස රාත්රියෙහි දී දුමයි. දාවල දිලෙයි බමුණෙක් මෙසේ කියයි: ‘සුමේධය (මනානුවණැත්ත) ශස්ත්රය ගෙණ සාරව’. සුමේධ තෙමේ ශස්ත්රය ගෙණ සාරන්නේ හිදිඅගුලක් දුටුවේය. ‘වහන්ස, හිදිඅගුලෙකි’ යි (හේ කීය). බමුණා මෙසේ කියයි: හිදිඅගුල ඔසොවාලව. ශස්ත්රය ගෙණ තව සාරව’. සුමේධ තෙමේ ශස්ත්රය ගෙණ සාරන්නේ මැඩියකු දුටුවේය. ‘වහන්ස, මැඩියෙකැ’යි. බමුණා මෙසේ කියයි: ‘මැඩියා ඔසොවා ලව. සුමේධය, ශස්ත්රය ගෙණ තවත් සාරව’ යි. සුමේධ තෙමේ ශස්ත්රය ගෙණ සාරන්නේ දෙමංහන්දියක් දුටුවේය. ‘වහන්ස, දෙමංහන්දියෙකි’යි. බමුණා, මෙසේ කියයි: ‘දෙමං හන්දිය ඔසොවාලව. සුමේධය, ශස්ත්රය ගෙණ තවත් සාරව’ යි. සුමේධ තෙමේ ශස්ත්රය ගෙණ සාරන්නේ කරපෙරහනක් (අළුපද්දක්) දුටුවේය. ‘වහන්ස, කරපෙරහනකි’යි. බමුණා මෙසේ කියයි: ‘කරපෙරහන ඔසොවාලව. සුමේධය, ශස්ත්රය ගෙණ තවත් සාරව’. සුමේධ තෙමේ ශස්ත්රය ගෙණ සාරන්නේ ඉදිබුවකු දුටුවේය. ‘වහන්ස, ඉදිබුවෙකි’යි. බමුණා, මෙසේ කියයි: ‘ඉදිබුවා ඔසොවාලව. සුමේධය, ශස්ත්රය ගෙණ තවත් සාරව’. සුමේධ තෙමේ ශස්ත්රය ගෙණ සාරන්නේ සිපතක් (මස් කපන කැත්තක්) හා මස්ළොඹුවක් දුටුවේ ය. ‘වහන්ස, සිපතක් හා මස්ළොඹුවකි’යි. බමුණා මෙසේ කියයි: ‘සිපත හා මස්ළොඹුව ඔසොවාලව. සුමේධය, ශස්ත්රය ගෙණ තවත් සාරව’. සුමේධ තෙමේ ශස්ත්රය ගෙණ සාරන්නේ මස් වැදැල්ලක් දුටුවේය. ‘වහන්ස, මස් වැදැල්ලකි’යි. බමුණා මෙසේ කියයි: ‘මස්වැදැල්ල ඔසොවාලව. සුමේධය, ශස්ත්රය ගෙණ තවත් සාරව’. සුමේධ තෙමේ ශස්ත්රය ගෙණ සාරන්නේ නාගයකු දිටී ය. ‘වහන්ස, නාගයෙකි’. බමුණා මෙසේ කියයි: ‘නාගයා සිටීවා. නාගයා නො ගටව නාගයාට නමස්කාර කරව’.”
3. “මහණ, තෝ මේ ප්රශ්න භාග්යවතුන් වහන්සේ කරා එළඹ අසව. භාග්යවතුන් වහන්සේ යම් ලෙසකින් තට ප්රකාශ කරණ සේක් ද, එය එසේ දරව. මහණ, ‘භාග්යවතුන් වහන්සේ හැර, භාග්යවතුන් වහන්සේගේ ශ්රාවකයකු හැර, මෙතැනින් හෙවත් මෙසස්නෙන් අසා කියන්නෙකු හැර, මේ ප්රශ්න විසඳීමෙන් යමෙක් සිත සතුටු කෙරේ ද, එවැනි පුද්ගලයෙකු දෙවියන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි, මහණ බමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත වූ සත්ත්වප්රජාවෙහි නො දක්මි’යි කීයේය. ඒ දෙවි තෙමේ මෙය කීය. මෙය කියා එහිම නො පෙණී ගියේය.
4. ඉක්බිති ආයුෂ්මත් කුමරකසුප් තෙරණුවෝ ඒ රාත්රිය ඇවෑමෙන් භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් කුමරකසුප් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැළකළහ: “වහන්ස, මේ රෑ එක්තරා දෙවියෙක් රාත්රිය ඉක්මගිය කල්හි විශිෂ්ටවර්ණ ඇත්තේ අන්ධවනය හාත්පස එකාලොක කොට මා කරා එළඹියේය. එළඹ එකත්පස්ව සිටියේය. වහන්ස, එකත්පසෙක සිටියා වූ ඒ දෙවි තෙමේ මට මෙය කීය: