1. 3. 2.
අලගද්දූපම සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ගද්‍ධබාධිපුබ්‍බ (ගිජුලිහිණියන් නසන කුලයෙහි උපන්) අරිට්‍ඨ නම් මහණහට මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන: “භාග්‍යවතුන් වහන්සේ විසින් යම් යම් අන්තරායකරධර්‍ම කෙනෙක් (ස්‍වර්‍ගමෝක්‍ෂ දෙකට) අන්‍තරායකරයහ යි යම් සේ වදාරන ලද්දාහු ද, ඒ ධර්‍මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස අසමර්‍ත්‍ථයහ (අන්තරායකර නොවෙති) යි මෙසේ මම තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය දනිමි යි” කියා යි. බොහෝ භික්‍ෂූහු “ගද්‍ධබාධිපුබ්‍බ අරිට්‍ඨ මහණහට - ‘භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකරධර්‍ම කෙනෙක් ස්‍වර්‍ගමෝක්‍ෂ දෙකට අන්තරායකරයහයි යම්සේ වදාරන ලද්දාහු ද, ඒ ධර්‍මයෝ සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ නො වෙති යි මෙසේ මම තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය දනිමි’යි මෙබඳු පාපදෘෂ්ටියක් උපන්නේල’ යි ඇසූහ.
2. ඉක්බිති ඒ භික්‍ෂූහු ගද්‍ධබාධිපුබ්‍බ අරිට්‍ඨ මහණහු කරා එළඹියාහු ය එළඹ ගද්‍ධබාධිපුබ්‍බ අරිට්‍ඨ මහණහට තෙල කීහ: “ඇවැත් අරිට්‍ඨයෙනි, තට - ‘භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ ධර්‍ම කෙනෙක් (ස්‍වර්‍ගමෝක්‍ෂ දෙකට) බාධකයහ’යි යම්සේ වදාරන ලද්දාහු ද, සෙවුනා හට ඒ ධර්‍මයෝ අන්තරාය පිණිස අසමර්‍ත්‍ථයහ’යි මෙසේ මම තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය දනිමි’යි යන පවිටු දෘෂ්ටියෙක් උපන්නේ සැබෑ දැ”යි කියා යි.
3. “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිද්දකින් යම් මේ අන්‍තරායකරධර්‍ම කෙනෙක් (ස්‍වර්‍ගමෝක්‍ෂ දෙකට) අන්‍තරායකරයහ යි වදාරන ලද්දාහු ද, සෙවුනාහට ඒ ධර්‍මයෝ අන්‍තරාය පිණිස අසමර්‍ත්‍ථයහ යි එවැනි සේ මම තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය දිනිමි”යි කී ය.
4. ඉක්බිති ඒ භික්‍ෂූහු ගද්‍ධබාධිපුබ්‍බ අරිට්‍ඨ මහණහු ඒ පවිටු දෘෂ්ටියෙන් තොර කරනු කැමැත්තාහු ප්‍රශ්න කරති. ලබ්ධිය පිහිටුවත් . කරුණු විචාරමින් බෙණෙත්: “ඇවැත් අරිට්‍ඨයෙනි, මෙසේ නො කියව. ඇවැත් අරිට්‍ඨයෙනි, මෙසේ නො කියව භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන නො කරව. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යානය නො මැනැවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො ම වදාරන සේක් ම ය. ඇවැත අරිට්‍ඨයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ලෙසින් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරයහ යි වදාරන ලදහ. ඒ ධර්‍මයෝ සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ වෙත් ම ය.
5. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අල්පාස්වාද ඇත්තාහු ය යි ද, බොහෝ දුක් ඇත්තාහු ය යි ද, බොහෝ දැඩි වෙහෙස ඇත්තාහු ය යි ද, මෙහි අදීනව බොහෝ ය යි ද, වදාරන ලද්දාහ. “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමයෝ ඇටසැකිල්ලකට බඳු උපමා අත්තාහ ... කාමයෝ මාංශපේශියකට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ තණහුලකට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ ගිනිඅඟුරුවලකට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ සිහිනයකට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ පිරිළුවකට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ රුක්පලයට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ අසිපත හා මස්ලොඹුවකට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ අඩයටි හුලකට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ සප්හිසකට බඳු උපමා ඇත්තාහ ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමයෝ බොහෝ දුක් ඇත්තාහ, බොහෝ උපායාස ඇත්තාහ, මෙහි අදීනව බොහෝ ය’යි වදාරන ලදහ” යනු යි.
6. මෙසේ ද, ඒ භික්‍ෂූන් විසින් ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණ ප්‍රශ්න කරනු ලබනුයේ ලබ්ධිය පිහිටුවනු ලබනුයේ කරුණු විචාරනු ලබනුයේ ඒ පවිටු දෘෂ්ටිය ම දෘෂ්ටිබලයෙන් පරාමර්‍ෂ කොට ගෙන් එයට බැසගෙන මෙසේ කියයි: ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්‍තරායකරධර්‍ම කෙනෙක් (සගමොක් දෙකට) අන්‍තරායකරයහ යි වදාරන ලද්දාහු නම්, ඒ ධර්‍මයෝ සෙවුනාහට යම්සේ අන්‍තරාය පිණිස නොවෙත් ද, ඇවැත්නි, එවැනි ලෙසින් ම මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය දනිමි’යි කීයේ ය.
7. යම් හෙයකින් ඒ භික්‍ෂූහු ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහට ඒ පවිටු දෘෂ්ටියෙන් තොර කරන්නට නො හැකි වූවාහු ද, ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළාහු ය:
8. වහන්ස, ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහට ‘යම් මේ අන්‍තරායකරධර්‍මකෙනෙක් අන්‍තරායකරයහ’යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු ද, ඔහු සෙවුනාහට යම්සේ අන්‍තරාය පිණිස අසමර්‍ත්‍ථ වෙත් ද, එසේ මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය දැනගෙන සිටිමි’යි මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන. වහන්ස, අපි ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ නම් මහණහුට ‘භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ඒ අන්‍තරායික ධර්‍මයහ යි වදාරන ලද්දාහු ද, ඔහු සෙවුනාහට යම් සේ අන්‍තරාය පිණිස අසමර්‍ත්‍ථ වෙත් ද, එසේ මම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්‍මය දැනගෙන සිටිමි’ යන මෙබඳු පවිටු දෘෂ්ටියෙක් උපන්නේ ල’යි ඇසුම්හ.