1. 3. 1.
කකචූපම සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවෝ ත්‍රිවිධ වෙලා ඉක්ම සිට මෙහෙණන් හා සංසටට්ඨ වැ (මුසුව) විහරණ කෙරෙති. ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවෝ මෙහෙණන් හා මෙබඳු සසට ඇති වැ වාසය කරති: ඉදින් යම්කිසි මහණෙක් ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවන් හමුවෙහි ඒ මෙහෙණන්ගේ අගුණ කියා ද, එයින් මොලියඵග්ගුන තෙරණුවෝ කිපියාහු නො සතුටු වූවාහු අධිකරණ ද කෙරෙති. ඉදින් යම්කිසි මහණෙක් ඒ මෙහෙණන් ඉදිරියෙහි ආයුෂ්මත් මොලියඵග්ගුන මහණහුගේ අගුණ කියා ද, එයින් ඒ මෙහෙණහු කිපියාහු නො සතුටු වූවාහු නඩු ද පවරති. මොලියඵග්ගුන තෙරණුවෝ භික්‍ෂුණින් හා මෙබඳු සසට ඇති වැ වෙසෙති.
2. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක් හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේය: “වහන්ස, ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවෝ වේලා ඉක්මවා මෙහෙණන් හා මිශ්‍ර වූවාහු වාසය කෙරෙති. වහන්ස, ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවෝ මෙහෙණන් හා මෙබඳු සසට ඇතිවැ වෙසෙති: ඉදින් යම්කිසි මහණෙක් ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවන් ඉදිරියෙහි ඒ මෙහෙණන් අගුණ කියා ද, එයින් ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවෝ කිපියාහු අසතුටු වූවාහු නඩු ද පවරති. ඉදින් යම් කිසි මහණෙක් ඒ මෙහෙණන් ඉදිරියෙහි ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවන් අගුණ කියා ද, එයින් ඒ මෙහෙණහු කිපියාහු නොසතුටු වූවාහු නඩු ද කියත්. වහන්ස, ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවෝ භික්‍ෂුණින් හා මෙබඳු සසට ඇති වැ වෙසෙති.”
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතූ සේක: මහණ, තෝ මෙහි එව. මාගේ වචනයෙන් ‘ඇවැත, ඵග්ගුනය, ශාස්තෘන්වහන්සේ ඔබ අමතනසේකැ’ යි මොලියඵග්ගුන භික්‍ෂුහු අමතව. ‘වහන්ස, එසේ ය’යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී මොලියඵග්ගුන ආයුෂ්මත්හු වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරහුට මෙය කී ය: ඇවැත්, ඵග්ගුනය, ශාස්තෘන් වහන්සේ ඔබ අමතන සේකැ’යි කියා යි. ආයුෂ්මත් මොලියඵග්ගුන තෙමේ ‘එසේය, ඇවැත්නි’යි ඒ භික්‍ෂුහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් මොලියඵග්ගුන භික්‍ෂුහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
4. ඵග්ගුනය, තෝ භික්‍ෂුණීන් සමග වෙලා ඉක්මවා වෙසෙහි යනු සැබෑ ද? ඵග්ගුනය, තෝ මෙහෙණන් හා මෙසේ සසට ඇති ව වාසය කෙරෙහි ල: කිසි මහණෙක් තා හමුවෙහි ඒ මෙහෙණන්ගේ අගුණ කියා ද, එයින් තෝ කිපියෙහි නො සතුටු වූයෙහි නඩු ද කියහි. ඉදින් කිසි මහණෙක් ඒ මෙහෙණන්ගේ හමුවෙහි තාගේ නුගුණ කියා ද, එයින් ඒ මෙහෙණහු කිපියාහු නො සතුටු වූවාහු නඩු ද පවරත්. ඵගග්ගුනය, තෝ මෙහෙණන් හා මෙසේ සසට ඇති වැ වෙසෙහි ද?” ‘එසේය, වහන්ස.’ ඵග්ගුනය, තෝ ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම සසුන වන කුලපුත්‍ර නො වෙහි ද? ‘වහන්ස, එසේය.’
5. “ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම සසුන වන තට වෙලා ඉක්මවා මෙහෙණන් හා තෝ හැනුණක්ව වසන්නෙහි යන යමක් වේ ද, එය නො නිසිය. එහෙයින් ඵග්ගුනය, ඉදින් කිසිවෙක් තා ඉදිරියෙහි ඒ මෙහෙණන්ගේ නුගුණ කියා ද, ඵග්ගුනය, එහි දී තෝ පඤ්‍චකාමගුණශ්‍රිත වූ යම් තෘෂ්ණාද්වේෂ ඡන්‍දයෝ වෙත් ද, ගෘහාශ්‍රිත විතර්‍කයෝ වෙත් ද, ඔවුන් දුරු කරව. ඵග්ගුනය, ඒ නුගුණ කීමෙහි ලා තා විසින් මෙසේ හික්මිය යුතු ය: ‘මාගේ සිත (රාගාදීන්) පෙරළුණේ නො වන්නේ ම ය. (මම) ලාමක වචන නො ද කියන්නෙමි. හිතානුකම්පා ඇත්තෙම් මෛත්‍රි සිත් ඇත්තෙම් ද්වේෂචිත්ත නැත්තෙම් වසන්නෙමි’යි. ඵග්ගුනය, තා විසින් මෙසේ ම හික්මිය යුතු.