1. 1. 9.
සම්මාදිට්ඨි සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනාථපිණ්ඩික සිටුහුගේ ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්රස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි, මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ‘ඇවැත්නි’යි ආයුෂ්මත් ශාරීපුත්රස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්රස්ථවිරයන් වහන්සේ මෙය වදාළ සේක:
2. ඇවැත්නි, ‘සම්යග්දෘෂ්ටිය, සම්යග්දෘෂ්ටිය’යි කියනු ලැබේ. ඇවැත්නි, කොපමණකින් ආර්ය්යශ්රාවක තෙමේ සම්යග්දෘෂ්ටික වේ ද? ඔහුගේ දෘෂ්ටිතොමෝ ඍජුභාවයට පැමිණියා වේ ද? ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වේ ද?
3. ඇවැත්නි, අපි ආයුෂ්මත් සැරියුත් මහතෙරුන් වහන්සේ සමීපයෙහි දී මේ භාෂිතයාගේ අර්ත්ථය දැන ගැනීමට දුරසිට වුවත් පැමිණෙන්නෙමු, මෙහි අර්ත්ථය ආයුෂ්මත් ශාරීපුත්රස්ථවිරයන් වහන්සේට ම වැටහේ නම් මැනවි. භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්රස්ථවිරයන් වහන්සේගෙන් අසා දරන්නාහු ය. ඇවැත්නි, එසේ නම් අසවු. මැනැවින් සිතේ තබා ගනිවු. කියන්නෙමි’යි වදාළහ: ඒ භික්ෂූහු එසේ ය, ඇවැත්නි’යි ආයුෂ්මත් ශාරීපුත්රස්ථවිරයන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ශාරීපුත්රස්ථවිරයන් වහන්සේ මෙය වදාළ සේක.
4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්ය්යශ්රාවක තෙමේ අකුසලයත් දනී ද අකුසලමූලයත් දනී ද, කුසලයත් දනී ද, කුසල මූලයත් දනී ද, ඇවැත්නි, මෙපමණකින් ආර්ය්යශ්රාවක තෙමේ සම්යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.
5. ඇවැත්නි, අකුශලය කවරේද? අකුශලමූලය කවරේ ද? කුශලය කවරේ ද? කුශලමූලය කවරේ ද?
6. ඇවැත්නි, ප්රාණඝාතය අකුශලයෙකි. අදත්තාදානය අකුශලයෙකි. මිත්ථ්යාචාරය අකුශලයෙකි. මුසාවාදය අකුශලයෙකි. පිසුණවචනය අකුශලයෙකි. ඵරුසවචනය අකුශලයෙකි. සම්ඵප්පලාපය අකුශලයෙකි. අභිධ්යාව අකුශලයෙකි. ව්යාපාදය අකුශලයෙකි. මිථ්යාදෘෂ්ටිය අකුශලයෙකි. ඇවැත්නි, මේ අකුශල ය යි කියනු ලැබේ.
7. ඇවැත්නි, අකුශලමූලය කවරේ ද? ලෝභය අකුශලමූලයෙකි. ද්වේෂය අකුශලමූලයෙකි. මෝහය අකුශලමූලයෙකි. ඇවැත්නි, මේ අකුශලමූලය යි කියනු ලැබේ.
8. ඇවැත්නි, කුශලය කවරේ ය? ප්රාණඝාතයෙන් වෙන්වීම කුශලයෙකි. අදත්තාදානයෙන් වෙන් වීම කුශලයෙකි. කාමමිථ්යාචාරයෙන් වෙන් වීම කුශලයෙකි. මුසාවාදයෙන් වෙන් වීම කුශලයෙකි. පිසුණවචනයෙන් වෙන් වීම කුශලයෙකි. ඵරුසවචනයෙන් වෙන් වීම කුශලයෙකි. සම්ඵප්පලාපයෙන් වෙන් වීම කුශලයෙකි. අනභිධ්යාව කුශලයෙකි. අව්යාපාදය කුශලයෙකි. සම්යග්දෘෂ්ටිය කුශලයෙකි. ඇවැත්නි, මේ කුශලය යි කියනු ලැබේ.
9. ඇවැත්නි, කුශලමූලය කවරේ ය? අලෝභය කුශලමූලයෙකි. අද්වේෂය කුශලමූලයෙකි. අමෝහය කුශලමූලයෙකි. ඇවැත්නි, මේ කුශලමූල ය යි කියනු ලැබේ.
10. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්ය්යශ්රාවක තෙමේ මෙසේ අකුශලය දනී ද, මෙසේ අකුශලමූලය දනී ද, මෙසේ කුශලය දනී ද, මෙසේ කුශලමූලය දනී ද, හෙතෙමේ සර්වප්රකාරයෙන් රාගානුශය නැති කොට ප්රතිඝානුශය දුරු කොට අසමි (‘මම’ය යන) දෘෂ්ටිය බඳු වූ මානානුශය නසා අවිද්යාව හැර විද්යාව උපදවා ඉහාත්මයේ දී ම දුක් කෙළවර කරන්නෙක් වෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු ආර්ය්යශ්රාවක තෙමේ සම්යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.
[1. කම්මපථවාරය යි.]
11. ඒ භික්ෂූහු ‘ඇවැත්නි, ඉතා මැනැවැ’යි ආයුෂ්මත් ශාරීපුත්රස්ථවිරයන් වහන්සේගේ දේශනාව බසින් පිළිගෙන සිතින් අනුමෙව්නි කොට ආයුෂ්මත් ශාරීපුත්රස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි අතිරේක ප්රශ්නයක් ඇසූහ: ඇවැත්නි, ආර්ය්යශ්රාවක තෙමේ යම් ලෙසකින් සම්යග්දෘෂ්ටික වේ නම්, ඔහුගේ දෘෂ්ටිය ඍජු වේ නම්, ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වේ නම්, ඊට අන් ක්රමයෙකුත් ඇත්තේ ද?
12. ඇවැත්නි, ඇත්තේ ය. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්ය්යශ්රාවක තෙමේ ආහාරය (ඵල ආහරණය කරණ ප්රත්යයය)ත් දනී ද, ආහාරසමුදයත් දනී ද, ආහාරනිරෝධයත් දනී ද, ආහාර නිරොධගාමිනී ප්රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුදු ආර්ය්යශ්රාවක තෙමේ සම්යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.
13. ඇවැත්නි, ආහාරය කවරේ ය? ආහාරසමුදය කවරේ ය? ආහාරනිරෝධය කවරේ ය? ආහාර නිරෝධගාමිනීප්රතිපදා කවර?
14. ඇවැත්නි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිස ද අණ්ඩකොෂ වස්තිකොෂයන්හි සිටින එහෙයින් ම උත්පත්තිය සොයන සතුන්ට අනුග්රහය පිණිස ද පවත්නා මේ ආහාරයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක යත්: ඕළාරික වූ ද සියුම් වූ ද කබලිඞ්කාර ආහාරය (=වළඳනු ලබනදෙය), දෙවැනි වූ ඵස්සාහාරය, තුන්වැනි වූ මනෝසඤ්චේතනාහාරය, සතර වැනි වූ විඤ්ඤාණාහාරය යන සතරයි. තෘෂ්ණාව හටගැනීමෙන් ආහාරයන්ගේ හටගැනීම වේ. තෘෂ්ණා නිරෝධයෙන් ආහාරනිරෝධය වේ. මේ අරීඅටගිමග ම ආහාරනිරෝධගාමිනීප්රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යන මේ යි.