1. 1. 10.
සතිපට්ඨාන සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාෂදම්ය නම් වූ කුරුරැටියන්ගේ නියම් ගම්හි වැඩ වසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ‘පින්වතුන් වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
2. මහණෙනි, සත්වයන්ගේ පිරිසිදු බව පිණිස ශෝකපරිදේවයන්ගේ ඉක්මවීම පිණිස දුක් දොම්නස් නැති කිරීම පිණිස ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගයට පැමිණීම පිණිස, නිවන් සාක්ෂාත් කිරීම පිණිස මේ ඒකායනමාර්ගයෙක් වෙයි. එනම් සතර සතිපට්ඨානයෝ යි. කවර සතරෙක යත්:
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ (1) කෙලෙස් තවන වැර ඇතිව සම්යක් ප්රඥා ඇති ව, සිහි ඇති ව කායසඞ්ඛ්යාතලෝකයෙහි අභිධ්යාව හා දෞර්මනස්ය සන්සිඳුවා ගෙන රූපකයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කෙරේ. (2) කෙලෙස් තවන වැර ඇති ව සම්යක් ප්රඥා ඇති ව සිහි ඇති ව වේදනාසඞ්ඛ්යාතලෝකයෙහි අභිධ්යාව හා දෞර්මනස්ය සන්සිඳුවා ගෙන වේදනාවන්හි වේදනාව නුවණින් බලන සුලු ව වාසය කෙරේ. (3) කෙලෙස් තවන වැර ඇතිව සම්යක් ප්රඥා ඇති ව සිහි ඇති ව චිත්තසඞ්ඛ්යාත ලෝකයෙහි අභිධ්යාව හා දෞර්මනස්ය සන්සිඳුවා ගෙන සිතෙහි සිත නුවණින් බලන සුලුව වාසය කෙරේ. (4) කෙලෙස් තවන වැර ඇතිව සම්යක් ප්රඥා ඇති ව සිහි ඇති ව ධර්මසඞ්ඛ්යාතලෝකයෙහි අභිධ්යාව හා දෞර්මනස්ය සන්සිඳුවා ගෙන ධර්මයෙහි ධර්මය නුවණින් බලන සුලුව වාසය කෙරේ (යනු යි).
[උද්දේසවාරය නිමියේ ය.]
(1. කායානුපස්සනාසතිපට්ඨානය:)
මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කෙරේ ද?
1. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම අරණ්යයකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ ශුන්යාගාරයකට ගියේ හෝ පලක් බැඳ ශරීරය ඍජු කොට තබා ගෙන සිහිය කර්මස්ථානාභිමුඛ කොට ගෙන හිඳියි. හෙතෙමේ සිහි ඇත්තේ ම ආශ්වාස කරයි. සිහි ඇත්තේ ම ප්රශ්වාස කරයි. දීර්ඝ කොට ආශ්වාස කරන්නේ දීර්ඝ කොට ආශ්වාස කෙරෙමි යි දනියි. දීර්ඝ කොට ප්රශ්වාස කරන්නේ දීර්ඝ කොට ප්රශ්වාස කෙරෙමි යි දනියි. හ්රස්ව කොට හෝ ආශ්වාස කරන්නේ හ්රස්ව කොට ආශ්වාස කෙරෙමි යි දනියි. හ්රස්ව කොට ප්රශ්වාස කරන්නේ හ්රස්ව කොට ප්රශ්වාස කෙරෙමි යි දනියි. සියලු ආශ්වාස ප්රශ්වාස කය ප්රකට කරන්නේ ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. සියලු ආශ්වාස ප්රශ්වාස කය ප්රකට කරන්නේ ප්රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. (ඖදාරික) ආශ්වාසප්රශ්වාස කය සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. ආශ්වාසප්රශ්වාස කය සන්හිඳුවමින් ප්රශ්වාස කරන්නෙමි යි හික්මෙයි.
මහණෙනි, යම්සේ දක්ෂ වූ ලියන වඩුවෙක් හෝ ලියන වඩුවෙකුගේ අතවැස්සෙක් හෝ දීර්ඝ කොට අදින්නේ දීර්ඝ කොට අදින්නෙමි’යි දැන ගනී ද, හ්රස්ව කොට අදින්නෙ හ්රස්ව කොට අදින්නෙමි’යි දැන ගනී ද, මහණෙනි, එපරිද්දෙන් ම මහණ තෙම දීර්ඝ කොට ආශ්වාස කරන්නේ දීර්ඝ කොට ආශ්වාස කෙරෙමි දැන ගනී… ආශ්වාස ප්රශ්වාසයන් සන්හිඳුවමින් ප්රශ්වාස කරනෙමියි හික්මෙයි. මෙසේ තමාගේ ආශ්වාසප්රශ්වාස කයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කරයි. මෙරමාගේ ආශ්වාසප්රශ්වාස කයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කරයි. තමාගේත් මෙරමාගේත් ආශ්වාසප්රශ්වාසකයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කරයි. ආශ්වාසප්රශ්වාසකයෙහි උප්පත්තිය නුවණින් බලන සුලු ව හෝ වාසය කරයි. ආශ්වාසප්රශ්වාසකයෙහි විනාශය නුවණින් බලන සුලු ව හෝ වාසය කරයි. ආශ්වාසප්රශ්වාසකයෙහි උප්පත්තිය හා විනාශය නුවණින් බලන සුලු ව හෝ වාසය කරයි. ඔහුට ‘ආශ්වාසප්රශ්වාසකය පමණක් ඇතැ’යි සිහි එළඹ සිටියේ වෙයි. එය හුදෙක් (මතුමත්තෙහි) නැණ වැඩීම පිණිස සිහි වැඩීම පිණිස වෙයි. තෘෂ්ණාදෘෂ්ටි ඇසුරු නො කළේ වාසය කරයි. ස්කන්ධ ලෝකයෙහි රූපාදි කිසිවක් මමය මාගේ ය යි නො ගනියි. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව (කමටහන් වඩමින්) වාසය කරයි.
[1. ආනාපාන පබ්බ යි.]
2. තවද මහණෙනි, මහණ තෙමේ යන්නේ හෝ යමි යි සම්යක්ප්රඥායෙන් දැන ගනියි. සිටියේ හෝ සිටියෙම් වෙමියි දැන ගනියි. හුන්නේ හෝ හුන්නෙම් වෙමියි දැන ගනියි. හෝනේ හෝ හෝනෙම් වෙමියි දැන ගනියි. ඔහුගේ කය යම් යම් සේ පිහිටියේ ද එසේ එසේ එය දැනගනී යි. මෙසේ තමාගේ කයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කෙරෙයි. අනුන්ගේ කයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කෙරෙයි. තමාගේ හෝ පරාගේ හෝ කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කෙරෙයි. කයෙහි හටගැන්ම බලන සුලු ව හෝ වාසය කෙරෙයි. කයෙහි විනාශය නුවණින් බලන සුලු ව හෝ වාසය කෙරෙයි. කයෙහි හටගැන්ම හා විනාශය නුවණින් බලන සුලු ව හෝ වාසය කෙරෙයි. ‘ඉරියවු කය පමණක් ඇතැ’ යි ඔහුගේ සිහිය හුදෙක් ඥානය වැඩීම පිණිස සිහිය වැඩීම පිණිස එළඹ සිටියේ වෙයි. තෘෂ්ණා දෘෂ්ටි ඇසුරු නො කළේ වෙසෙයි. ලෝකයෙහි කිසිවක් මම ය මාගේ යයි නො ගනියි. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කරයි.
[2. ඉරියාපථපබ්බ යි.]
3. තවද මහණෙනි, මහණ තෙමේ පෙරට යාමෙහි පෙරළා ඊමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. ඉදිරි බැලීමෙහි අනුදිග් බැලීමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. අත් පා හැකිළීමෙහි අත් පා දිගු කිරීමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. සඟළ, පා, සිවුරු දැරීමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. බිදීමෙහි පීමෙහි කෑමෙහි රස විඳීමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. මලමූ පහකිරීමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. යාමෙහි සිටීමෙහි හිදිමෙහි නිදීමෙහි නිදිවැරීමෙහි බිණීමෙහි නිහඬ වීමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. මෙසේ තමාගේ කයෙහි හෝ කය නුවණින් බබලන සුලු ව වෙසෙයි… මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කරයි.
[3. සම්පජඤ්ඤපබ්බ යි.]