1. 1. 8.
සල්ලේඛ සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ සවස්කාලයෙහි පිළිසලනෙන් නැගිට භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නා වූ ආයුෂ්මත් මහාචුන්දස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළහ:
2. ස්වාමීනි, (විසිවැදෑරුම්) ආත්මවාදයෙන් යුක්ත වූත් (අටවැදෑරුම්) ලෝකවාදයෙන් යුක්තවූත් යම් මේ නොයෙක් ආකාර මිථ්යාදෘෂ්ටීහු ලෝකයෙහි උපදිත් ද, ස්වාමීනි, පළමු කොට ම හෙවත් විදර්ශනාමිශ්ර ප්රථම (භාවනා) මනස්කාරය මෙනෙහි කරන්නා වූ ම මහණහට මෙසේ ඒ දෘෂ්ටීන්ගේ ප්රහාණය වේ ද? මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරලීම වේ ද?
චුන්දය, ආත්මවාදයෙන් යුක්ත වූත් ලෝකවාදයෙන් යුක්ත වූත් යම් මේ නොයෙක් ආකාර දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත් ද, යම් පඤ්චස්කන්ධයෙක්හි දෘෂ්ටිහු උපදිත් ද, යම් පඤ්චස්කන්ධයෙක්හි මේ දෘෂ්ටීහු ලැග සිටිත් ද, යම් තැනෙක මේ දෘෂ්ටීහු හැසිරෙද්ද, ඒ පඤ්චස්කන්ධය “තෙල මා නොගැත්තේ ය. මම තෙල පඤ්චස්කන්ධයෙම නො වෙමි. මාගේ ඉසුරු පඤ්චස්කන්ධයෙහි නො පවත්නේය යි මෙසේ මෙය තත් වූ පරිදි විවසුන් නුවණින් දක්නහුට මෙසේ මේ දෘෂ්ටීන්ගේ ප්රහාණය වෙයි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුර ලීම වෙයි.
3. චුන්දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් කාමයන්ගෙන් වෙන් ව අකුශලධර්මයන්ගෙන් වෙන් ව ම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති ප්රථමධ්යානයට පැමිණ වාසය කෙරෙයි යන යම් කාරණයක් වේ ද, එය විද්යමාන වෙයි. ඕහට ‘සල්ලේඛයෙන් (කෙලෙස් සිඳීමෙන්) යුක්ත ව වාසය කරමි’යි අධිමානය විය හැකි ය. චුන්දය, මේ ධ්යානයෝ ආර්ය්යවිනයයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්ය්යශාසනයෙහි ඉහාත්මභාවසුඛවිහරණයෝ ය යි කියනු ලැබෙත්.
4. චුන්දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් විතර්කවිචාරයන් සන්සිඳීමෙන් තමා තුළ පැහැදීම ඇති හිතේ උතුම් එකඟ බව ඇති විතර්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්රීතිය හා සැප ඇති ද්විතීය ධ්යානයට පැමිණ වාසය කරයි යන යමක් වේ ද, එය විද්යමාන වෙයි. ඒ මහණහට ‘සල්ලේඛයෙන් වසමි’යි අධිමානය විය හැකි ය. චුන්දය, මේ ධ්යානයෝ ආර්ය්යවිනයයෙහි සල්ලෙඛයෝ යයි කියනු නො ලැබෙත්. මොහු ආර්ය්යවිනයයෙහි දෘෂ්ටධර්ම සුඛවිහරණයෝ ය යි කියනු ලැබෙත්.
5. චුන්දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් ප්රීතිය ද හැරපීමෙන් උපේක්ෂක ව සිහි ඇති ව මනා නුවණින් යුක්ත ව වාසය කෙරෙයි ද, කයින් සැප විඳියි ද, යම් ධ්යාන හේතුවකින් තෘතීයධ්යානයෙන් යුක්ත වූවහුට උපේක්ෂක වූයේ සිහි ඇත්තේ සුවසේ වසනසුලු යි බුද්ධාදි ආර්ය්යයෝ පසසත් ද, ඒ තෘතීය ධ්යානයට පැමිණ වාසය කරන්නේ ය යන යම් කාරණයෙක් වේ ද, එය විද්යමාන වෙයි. ඒ මහණහට ‘මම සල්ලේඛයෙන් යුක්ත ව වසමි’යි අධිමානය විය හැකි ය. චුන්දය, මේ ධ්යානයෝ ආර්ය විනයයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්ය්යවිනයයෙහි දෘෂ්ටධර්මසුඛවිහරණයෝ ය යි කියනු ලැබෙත්.
6. චුන්දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් (පළමුකොට ම) සැපය ද නැති කිරීමෙන් දුක ද නැති කිරීමෙන් පළමු කොට ම සොම්නස් දොම්නස් නැති කිරීමෙන් දුක් නැති සැප නැති උපේක්ෂායෙන් වූ ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්ත්ථධ්යානයට පැමිණ වාසය කෙරෙයි යන යම් කාරණයෙක් වේ ද, එය විද්යමාන වෙයි ඒ මහණහට ‘මම සල්ලේඛයෙන් වසමි’යි අධිමානය විය හැකි ය චුන්දය, මේ ධ්යානයෝ ආර්ය්යවිනයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්ය්යශාසනයේ දෘෂ්ටධර්මසුඛවිහරණයෝ ය යි කියනු ලැබෙත්.