1. 1. 7.
වත්ථුපම සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. භික්ෂූහු ‘වහන්සැ’යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මේ සූත්රය වදාළ සේක.
2. මහණෙනි, කිලිටි වූ මල ගත් වස්ත්රයෙක් වේ ද, ඒ වස්ත්රය රජකයෙක් නිල්පැහැය පිණිස හෝ රන්වන්පැහැය පිණිස හෝ ලේවන් පැහැය පිණිස හෝ මදටිය (මදරත්) පැහැය පිණිස හෝ යම් යම් රඳනෙක බහා ලන්නේ නම්, එය නො මනා ව රැඳූ පැහැ ඇත්තක් ම වන්නේ ය. අපිරිසිදු පැහැ ඇත්තක් ම වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, වස්ත්රය අපිරිසිදු බැවිනි. මහණෙනි, එපරිද්දෙන් ම සිත කිලිටි වූ කල්හි දුගතිය කැමැති විය යුතු යි.
3. මහණෙනි, පිරිසුදු පබසර වතක් වේ ද, එය රජකයෙක් නිල්පැහැය පිණිස හෝ රන්වන්පැහැය පිණිස හෝ ලේවන්පැහැය පිණිස හෝ මදටිය පැහැය පිණිස හෝ යම් යම් රඳනෙක බහා ලන්නේ නම්, එය මනා පැහැ ඇත්තක් ම වන්නේ ය. පිරිසිදු පැහැ ඇත්තක් ම වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, වස්ත්රය පිරිසිදු බැවිනි. මහණෙනි, එපරිද්දෙන් ම සිත නො කිලිටි වූ කල්හි සුගතිය ම කැමැති විය යුතු යි.
4. මහණෙනි, චිත්තෝපක්ලේශයෝ (සිත කෙලෙසන ධර්මයෝ) කවරහු ද? අභිධ්යා (ස්වකීය වස්තුවෙහි ඡන්දරාගය) විෂමලෝභය (-මෙරමා අයත් වස්තුවෙහි ඡන්දරාගය) සිත කෙලෙසන්නෙකි. ව්යාපාදය සිත කෙලෙසන්නෙකි. ක්රෝධය සිත කෙලෙසන්නෙකි. උපනාහය (බද්ධවෛරය) සිත කෙලෙසන්නෙකි. මක්ඛය (ගුණ මකු බව) සිත කෙලෙසන්නෙකි. පළාසය (යුගග්රාහය) සිත කෙලෙසන්නෙකි. ඊර්ෂ්යාව සිත කෙලෙසන්නෙකි. මසුරුබව සිත කෙලෙසන්නෙකි. මායාව සිත කෙලෙසන්නෙකි. කපටිබව සිත කෙලෙසන්නෙකි. ථම්භය (තදබව) සිත කෙලෙසන්නෙකි. සාරම්භය (එකට වැඩියෙන් එකක් කිරීම) සිත කෙලෙසන්නෙකි. මානය සිත කෙලෙසන්නෙකි. අතිමානය සිත කෙලෙසන්නෙකි. මදය සිත කෙලෙසන්නෙකි. ප්රමාදය සිත කෙලෙසන්නෙකි.
5. මහණෙනි, ඒ භික්ෂු තෙමේ අභිධ්යාවිෂමලෝභය සිත පිළිබඳ උපක්ලේශයෙකැයි මෙසේ දැන සිත පිළිබඳ උපක්ලේශ වූ අභිධ්යා විෂමලෝභය දුරු කරයි. ව්යාපාදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ව්යාපාදය දුරු කරයි. ක්රෝධය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ක්රෝධය දුරු කරයි. උපනාහය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන උපනාහය දුරු කරයි. මක්ඛය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මක්ඛය දුරු කරයි. පළාසය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන පළාසය දුරු කරයි. ඊර්ෂ්යාව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ඊර්ෂ්යාව දුරු කරයි. මසුරුබව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මසුරුබව දුරු කරයි. මායාව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මායාව දුරු කරයි. කපටිබව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන කපටිබව දුරු කරයි. ථම්භය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ථම්භය දුරු කරයි. සාරම්භය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන සාරම්භය දුරු කරයි. මානය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මානය දුරු කරයි. අතිමානය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන අතිමානය දුරු කරයි. මදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මදය දුරු කරයි. ප්රමාදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ප්රමාදය දුරු කරයි.