1. 1. 6.
ආකඞ්ඛෙය්ය සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන් අමතා වදාළ සේක. ඒ භික්ෂූහු “වහන්සැ”යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ මේ සූත්රය වදාළ සේක:
මහණෙනි, පිරිපුන් සිල් ඇත්තාහු ප්රාතිමෝක්ෂසංවරයෙන් යුක්ත ව වසවු. ප්රාතිමෝක්ෂසංවරයෙන් සංවෘත වූවාහු ආචාරයෙන් හා ගෝචරයෙන් සමෘද්ධ ව වසවු. ස්වල්පමාත්ර වූ වරදෙහි භය දක්නාසුලු ව මොනොවට ගෙන ශික්ෂාපදයන්හි හික්මෙවු.
2. මහණෙනි, මහණෙක් තෙමේ “සබ්රම්සරුන්ට ප්රිය වූවෙක්, මන වඩන්නෙක්, ගරු කළ යුත්තෙක්, සම්භාවනීයයෙක් වන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්ණ කරන්නේ ස්වකීය චිත්තසමථයෙහි එක්වන් යෙදුනේ බැහැර නො කළ හෝ නො නැසූ ධ්යාන ඇත්තේ විදර්ශනාවෙන් යුක්ත වූයේ ශුන්යාගාරයන් වඩන්නෙක් (ශුන්යාගාරයන්ට පිවිස ශමථ විදර්ශනා භාවනා කරන්නෙක්) වන්නේ ය.
3. මහණෙනි, මහණෙක් තෙමේ “චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චය භේසජ්ජපරික්ඛාරයන් ලබන්නෙම් වන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්ණ කරන්නෙක් වන්නේ ය. ස්වකීය චිත්ත සමථයෙහි එක්වන් යෙදුනේ බැහැර නො කළ හෝ නො නැසූ ධ්යාන ඇත්තේ විදර්ශනාවෙන් යුක්ත වූයේ ශුන්යාගාරයන් වඩන්නෙක් වන්නේය.
4. මහණෙනි, මහණෙක් තෙමේ “යම් කෙනෙකුන්ගේ චීවර පිණ්ඩපාත ගිලානපච්චය භේසජ්ජපරික්ඛාරයන් වළඳම් ද, ඔවුන්ගේ ඒ ප්රත්යයදානයෝ මහත්ඵල මහත් ආනිසංස ඇත්තාහු වෙත්වා”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්ණ කරන්නේ ... ශුන්යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
5. මහණෙනි, මහණෙක් තෙමේ “පරලොව ගියා වූ කලුරිය කළා වූ නෑ සහලේ නෑ කෙනෙක් පහන් සිත් ඇත්තාහු මා සිහි කරත් ද, ඔවුන්ගේ ඒ සිහි කිරීම මහත්ඵල මහත් ආනිසංස ඇත්තක් වේවා”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්ණ කරන්නේ ... ශුන්යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
6. මහණෙනි, මහණෙක් තෙමේ “ධ්යානාදි අධිකුශල ධර්මයන්හි නො ඇලීම හා කම්සැපෙහි ඇලීම ද මැඩ පවත්වන්නෙම් වන්නෙමි. අරතිය මා නො මඩීවා. උපන් අරතිය මඩිමින් වාසය කරනේනමියි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්ණ කරන්නේ ... ශුන්යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
7. මහණෙනි, මහණෙක් තෙමේ “තැති ගැණුම් හා බිහිසුණු අරමුණු මඩින්නෙම් වන්නෙමි. තැති ගැණුම් හා බිහිසුණු අරමුණු මා නො මඩීවා. උපන් තැති ගැණුම් හා බිහිසුණු අරමුණු මඩිමින් වසන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්ණ කරන්නේ ... ශුන්යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
8. මහණෙනි, මහණෙක් තෙමේ “අධිචිත්තයෙහි උපන් දිටුදැමියෙහි සැප විහරණය ඇති සිවුදැහැන් කැමැති සේ ලබන්නෙම්, නිදුකින් ලබන්නෙම්, මහත් (වුට්ඨානවසිතාවෙන් යුක්ත) සේ ධ්යාන ලබන්නෙම් වන්නෙමි”යි කැමැති වන්නේ නම් ශීලය ම සම්පූර්ණ කරන්නේ ... ශුන්යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
9. මහණෙනි, මහණෙක් තෙමේ “රූපාවචරධ්යානයන් ඉක්මවා සිටි ආරූප්ය වූ යම් ඒ ශාන්තවිමෝක්ෂයෝ වෙත් ද, ඒ විමෝක්ෂයන් නාම කායයෙන් ස්පර්ශකොට වාසය කරන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්ණ කරන්නේ ... ශුන්යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.