1. 1. 5.
අනඞ්ගණ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ‘ඇවැත් මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි’යි ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ මෙය වදාළ සේක:
2. ඇවැත්නි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි වෙති. කවර සතර දෙනෙක යත්: ඇවැත්නි, මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් අඞ්ගණ - දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ නො දනියි. ඇවැත්නි, මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ දනියි.
ඇවැත්නි, මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් දැඩි කෙලෙසි රහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් නැතැ’යි තතු සේ නො දනියි. ඇවැත්නි, මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් දැඩි කෙලෙස් රහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙසි නැතැ’යි තතු සේ දනියි. ඇවැත්නි, එහි ලා යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ නො දනී ද, මේ පුද්ගලයා දැඩි කෙලෙස් සහිත වූ ම පුද්ගලයන් දෙදෙනා අතුරෙන් හීනපුරුෂයා ය යි කියනු ලැබේ. එහි යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ දනී ද, මේ තෙම දැඩි කෙලෙස් සහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් ශ්‍රේෂ්ඨපුරුෂයා ය යි කියනු ලැබේ. ඇවැත්නි, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් රහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් නැතැ’යි තතු සේ නො දනී ද, මේ තෙම දැඩි කෙලෙස් රහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් හීන පුරුෂයා ය යි කියනු ලැබේ. ඇවැත්නි, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් රහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් නැතැ’යි තතු සේ දනී ද, මේ තෙම දැඩි කෙලෙස් රහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් ශ්‍රේෂ්ඨ පුරුෂයා ය යි කියනු ලැබේ.
3. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේට මෙය වදාළ සේක: ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, යම් හේතුවකින් දැඩි කෙලෙස් සහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් එකෙක් හින පුද්ගලයා යි කියනු ලැබේ ද, එකෙක් ශ්‍රේෂ්ඨ පුද්ගලයා ය යි කියනු ලැබේ ද, ඊට හේතු කවරේ ද? ඊට ප්‍රත්‍යය කවරේ ද? ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, දැඩි කෙලෙස් රහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් යම් හෙයකින් එකෙක් හීන ය යි කියනු ලැබේ ද, එකෙක් ශ්‍රේෂ්ඨ ය යි කියනු ලැබේ ද, ඊට හේතු කවරේ ද? ඊට ප්‍රත්‍යය කවරේ ද?
4. ඇවැත්නි, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් තෙම දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ නො දනී ද, (හෙතෙමේ) ඒ දැඩි කෙලෙස් නැති කිරීම පිණිස කැමැත්ත නූපදවන්නේ ය. වෑයම් නො කරන්නේ ය. වැර නො අරඹන්නේ ය. හෙතෙම රාග සහිත වූයේ ද්වේෂ සහිත වූයේ මෝහ සහිත වූයේ දැඩි කෙලෙස් සහිත වූයේ කිලුටුසිත් ඇති වූයේ කාලක්‍රියා කරන්නේය යන මෙය ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතුයි. ඇවැත්නි, යම් සේ සල්පිලින් හෝ කඹුරුකුලයකින් හෝ ගෙනෙන ලද ධූලියෙන් හා මලකඩින් ද බැඳුණු කස්ලෝතලියක් වේ ද, එය හිමියෝ පරිභෝග නො කෙරෙත් නම්, පිරිසිදු නො කෙරෙත් නම්, එය ධූලි සහිත තන්හි දමත් නම්, ඇවැත්නි, මෙසේ ඒ කස්ලෝතලිය පසුකාලයෙක ඉතා කිලුටු වූවක් මල බැඳුනක් වන්නේ ද? ඇවැත්නි, එය එසේ ය. ඇවැත්නි, එපරිද්දෙන් ම යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ නො දනී ද, (හෙතෙමේ) දැඩි කෙලෙස් නැති කිරීම පිණිස කැමැත්ත නූපදවන්නේ ය. වෑයම් නො කරන්නේ ය, වැර නො අරඹන්නේ ය. හෙතෙම රාග සහිත වූයේ ද්වේෂ සහිත වූයේ මෝහ සහිත වූයේ දැඩි කෙලෙස් සහිත වූයේ කිලුටු සිත් ඇත්තේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතුය.