1. 1. 4.
භයභේරව සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල ජාණුස්සෝණීබ්රාහ්මණ තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ හා සතුටු වී ය. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන්නා වූ ම ජාණුස්සෝණි බ්රාහ්මණ තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය.
2. භවත් ගෞතමයන් වහන්ස, යම් මේ කුලපුත්රයෝ භවත් ගෞතමයන් උදෙසා ශ්රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම අනගාර්ය්යසඞ්ඛ්යාත ශාසනයෙහි පැවිදි වූවාහු ද, ඔවුන්ට භවත් ගෞතමයන් වහන්සේ පුරොගාමී වන සේක. ඔවුන්ට භවත් ගෞතමයන් වහන්සේ බොහෝ උපකාරී වන සේක. භවත් ගෞතමයන් වහන්සේ ඔවුන් සමාදන් කරවන සේක. ඒ ජනතාව භවත් ගෞතමයන්ගේ දර්ශනානුගතියට (දෘෂ්ටි, ක්ෂාන්ති, රුචීන් අනුගමනයට) පැමිණේ.
3. බමුණ, එය එසේ ය. බමුණ, එය එසේ ය. බමුණ, යම් ඒ කුලපුත්රයෝ මා උදෙසා ශ්රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම අනගාර්ය්යසඞ්ඛ්යාත ශාසනයෙහි පැවිදි වූවාහු ද, මම ඔවුන්ට පුරෝගාමි වෙමි. මම ඔවුන්ට බොහෝ උපකාර ඇත්තෙම් වෙමි. මම ඔවුන් සමාදන් කරවන්නෙමි. ඒ ජනතාව මාගේ දිට්ඨානුගතියට පැමිණේ.
4. ගෞතමයන් වහන්ස, වනයෙහි දුර පිහිටි වන ලැහැබ් සෙනසුන්, වනයෙහි ඉතා දුර පිහිටි සෙනසුන් ලැබීම (ඇතුල් ව විසීම) දුෂ්කර ය. ප්රකර්ෂවිවේකය දුෂ්කර ය. එකඟබැව්හි ඇලීම දුෂ්කර ය. වනයන් සමාධිය නො ලබන්නා වූ භික්ෂුහුගේ සිත් පැහැර ගනිති යි හඟිමි.
5. බමුණ, එය එසේ ම ය. බමුණ, එය එසේ ම ය. බමුණ, වනයෙහි දුර පිහිටි සෙනසුන්, වනයෙහි ඉතා දුර පිහිටි සෙනසුන් ලැබීම දුෂ්කර ය. ප්රකර්ෂවිවේකය දුෂ්කර ය. එකඟ බැව්හි ඇලීම දුෂ්කර ය. වනයන් සමාධිය නො ලබන්නා වූ භික්ෂුහුගේ සිත පැහැර ගනිතියි හඟිමි. බමුණ, බුදුවන්නට පෙර චතුස්සත්යය අවබෝධ නො කළා වූ බෝධිසත්ත්ව වූ ම මට ද මේ අදහස වි ය. වනයෙහි දුර පිහිටි සෙනසුන්, වනයෙහි ඉතා දුර පිහිටි සෙනසුන් ලැබීම දුෂ්කර ය. ප්රකර්ෂවිවේකය ලැබීම දුෂ්කර ය. එකඟ බැව්හි ඇලීම දුෂ්කර ය. වනයන් සමාධිය නො ලබන්නා වූ භික්ෂුහුගේ සිත පැහැර ගනිති යි හඟිම්.
6. බමුණ, ඒ මට මේ අදහස වීය: අපිරිසිදු වූ කායකර්ම ඇති යම් ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ අරණ්යයෙහි වානප්රස්ථ සෙනසුන් ද ප්රාන්තසෙනසුන් ද සේවනය කෙරෙද්ද, අපිරිසිදු වූ කායකර්ම නමැති ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒකාන්තයෙන් ඒ පින්වත් මහණ බමුණෝ සාවද්ය වූ තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි අපිරිසිදු වූ කායකර්ම ඇත්තෙම් අරණ්යයෙහි වානප්රස්ථප්රාන්තසෙනසුන් සේවනය නො කරමි. මම පිරිසිදු වූ කායකර්ම ඇත්තෙක්මි. යම් ආර්ය්ය කෙනෙක් පිරිසිදු වූ කායකර්ම ඇත්තාහු අරණ්යයෙහි වානප්රස්ථප්රාන්තතපෝභූමින් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම ඒ පිරිසිදු ක්රියා ඇතිබව තමා තුළ දක්නෙම් වනවාසය පිණිස බොහෝ සේ පතිතලොම් ඇති (බිය නැති) බවට පැමිණියෙමි.
7. බමුණ, ඒ මට මේ අදහස වී ය: අපිරිසිදු වාක්කර්ම ඇති ... අපිරිසිදු මනඃකර්ම ඇති ... අපිරිසිදු ආජීවය ඇති යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ අරණ්යයෙහි වානප්රස්ථප්රාන්තතපෝභූමින් සේවනය කෙරෙත් ද, අපිරිසිදු ආජීවය නමැති ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒකාන්තයෙන් ඒ පින්වත් මහණබමුණෝ සාවද්ය වූ තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි අපිරිසිදු ආජීවය ඇත්තෙම් අරණ්යයෙහි වානප්රස්ථප්රාන්තතපොභූමීන් සේවනය නො කරමි. මම පිරිසිදු ආජීවය ඇත්තෙක්මි. යම් ආර්ය කෙනෙක් පිරිසිදු ආජීවය ඇත්තාහු අරණ්යයෙහි වානප්රස්ථප්රාන්තතපොභූමීන් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා තුළ ඒ පිරිසිදු ආජීවය ඇතිබව දක්නෙම් බොහෝ සෙයින් වනවාසය පිණිස නිර්භය භාවයට පැමිණියෙමි.
8. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ විෂම ලෝභය බහුල කොට ඇත්තාහු කාමයන්හි තියුණු රාග ඇත්තාහු අරණ්යයෙහි වානප්රස්ථ ප්රාන්ත ආශ්රමයන් සේවනය කෙරෙත් ද, විෂමලෝභය හා කාමයන්හි තියුණු රාගය ද යන ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒ පින්වත් මහණ බමුණෝ ඒකාන්තයෙන් සාවද්ය වූ තැතිගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි විෂමලෝභය බහුල කොට ඇත්තෙම් කාමයන්හි තියුණු රාග ඇති ව අරණ්යයෙහි වානප්රස්ථ ප්රාන්ත ආශ්රමයන් සේවනය නො කරමි. මම විෂමලෝභය බහුල කොට ඇත්තෙක් නො වෙමි. යම් ඒ ආර්ය්ය කෙනෙක් විෂමලෝභය බහුල කොට නැත්තාහු අරණ්යයෙහි වානප්රස්ථ ප්රාන්ත ආශ්රමයන් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා තුළ අභිධ්යාව බහුල කොට නැති බව දක්නෙම් වනවාසය පිණිස බොහෝ සෙයින් බිය රහිත බවට පැමිණියෙමි.