1. 1. 3.
ධම්මදායාද සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ භික්ෂූන්ට මහණෙනි යි ආමන්ත්රණය කළ සේක. ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට වහන්සැයි පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
2. මහණෙනි, මාගේ ධර්මයට දායාද (ධර්ම නමැති දෑවැද්ද ගන්නාහු) වවු. ආමිසයට (සිවුපසයට) දායාද නො වවු. ‘මාගේ ශ්රාවකයෝ කෙසේ නම් ධර්මයට දායාද වන්නාහු ද, ආමිසයට දායාද නො වන්නාහු දැ’යි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත. මහණෙනි, තෙපි ආමිසදායාද ව ධර්මදායාද නො වන්නහු නම්, එයින් ‘ශාස්තෲන්වහන්සේගේ ශ්රාවකයෝ ආමිසදායාද ව වසත්. ධර්මදායාද ව නො වසත් ය’යි තෙපි ද ගැරහිය යුත්තෝ වන්නහු ය. මම ද එයින් ‘ශාස්තෘශ්රාවකයෝ ආමිසදායාද ව වසත්, ධර්මදායාද ව නොවසත් ය’යි ගැරහිය යුත්තෙම් වෙමි. මහණෙනි, තෙපිත් මාගේ ධර්මයට දායාද ව ආමිසයට දායාද නො වන්නහු නම්, එයින් තෙපිත් ‘ශාස්තෘශ්රාවකයෝ ධර්මදායාද ව වසත්, ආමිසදායයාද ව නො වසත් ය’යි ගැරහිය යුත්තෝ නො වන්නාහුය. මමත් එයින් ‘ශාස්තෘශ්රාවකයෝ ධර්මදායාද ව වසත්, ආමිසදායාද ව නො වසත් ය’යි ගැරහිය යුත්තෙම් නො වෙමි. මහණෙනි, එහෙයින් මාගේ ධර්මයට දායාද වවු. ආමිසදායාද නො වවු. ‘මාගේ ශ්රාවකයෝ කෙසේ නම් ධර්මදායාද වන්නාහු ද, ආමිස දායාද නො වන්නාහු දැ’යි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.
3. මහණෙනි, මම වැළඳූයෙම් වුවමනා පමණ වළඳා අවසන් කෙළෙම්, භොජනයෙන් සම්පූර්ණ වූයෙම් වළඳා අවසන් කෙළෙමි, බඩගිනි නැති වීමෙන් තෘප්ත වූයෙම්, කැමති තාක් අහර ගත්තෙම් වෙමි. ඉතිරි ව ඉවත දැමිය යුතු පිණ්ඩපාතයෙක් ද වේ. එකල බඩසයින් හා දුබලබැවින් ද පෙළුණු භික්ෂූහු දෙනමක් එන්නාහුය. මම ඔවුන්ට “මම වැළඳූයෙමි. පැවරූයෙමි පිඬු පිළිකෙව් කළෙමි. සම්පූර්ණ වූයෙමි. බොජුන් කිස අවසන් කළෙමි. තෘප්ත වූයෙමි. කැමති තාක් වැළඳුයෙමි. ඉතිරි වූ බැහැර ලිය යුතු මාගේ මේ පිණ්ඩපාතයෙක් ඇත. ඉදින් කැමැත්තහු නම් වළඳවු. ඉදින් තෙපි නො වළඳන්නහු නම්, දැන් මම නිල්තණ නැති බිමක හෝ බහන්නෙමි. පණුවන් නැති ජලයක හෝ පා කොට හරින්නෙමි”යි කියන්නෙමි.
4. ඔවුන් අතුරෙන් එක භික්ෂු නමකට “භාග්යවතුන් වහන්සේ වැළඳු සේක. පැවරූ සේක. සම්පූර්ණ වූ සේක. අවසන් කළ සේක. තෘප්ත වූ සේක. කැමති තාක් වැළඳු සේක. භාග්යවතුන් වහන්සේගේ ඉතිරි වූ බැහැර දැමිය යුතු වූ මේ පිණ්ඩපාතයෙක් ද ඇත. ඉදින් අපි නො වළඳන්නමෝ නම් දැන් භාග්යවතුන් වහන්සේ නිල් තණ නැති බිමක හෝ බහාලන සේක. පණුවන් නැති ජලයෙහි හෝ පාකර හරින සේක. භාග්යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, මාගේ ධර්මයට දායාද වවු. ආමිසදායාද නො වවු ය’යි මෙය වදාරණ ලදී. යම් මේ පිණ්ඩපාතයෙක් වෙයි නම්, එය ද ආමිස අතරින් එකකි. මම මේ පිණ්ඩාහාරය නො වළඳා මේ බඩසාදුකින් ම යුක්ත ව මේ රෑදාවල් දෙක ඉක්මවන්නෙම් නම් මැනවැ”යි මෙබඳු අදහසක් වෙයි.
5. හෙ තෙමේ ඒ පිණ්ඩපාතය නො වළඳා ඒ බඩසාදුකින් ම මෙසේ ඒ රෑදාවල ගෙවන්නේ ය. යලි දෙවැනි භික්ෂූන් වහන්සේට “භාග්යවතුන් වහන්සේ වැළඳූ සේක. පවාරණය කල සේක. සම්පූර්ණ වූ සේක. අවසන් කළ සේක. තෘප්ත වූ සේක. කැමති තාක් වැළඳූ සේක. භාග්යවතුන් වහන්සේගේ ඉතිරි වූ ඉවත දැමිය යුතු වූ මේ පිණ්ඩපාතයෙක් ද ඇත. ඉදින් අපි නො වළඳන්නමු නම්, දැන් භාග්යවතුන් වහන්සේ නිල්තණ නැති බිමෙක හෝ බහාලන සේක. පණුවන් නැති දියෙහි හෝ පා කොට හරින සේක. මම මේ පිණ්ඩපාතය වළඳා බඩසා නැති ව මේ රෑදාවල ගෙවන්නෙම් නම් මැනවැ”යි මෙබඳු අදහසෙක් වෙයි. හෙ තෙමේ ඒ පිණ්ඩපාතය වළඳා බඩසා දුබල බව නැති කොට මෙසේ ඒ රෑදාවල ගෙවන්නේ ය. මහණෙනි, ඒ මහණ කිසිසේත් ඒ පිණ්ඩාහාරය වළඳා බඩසා දුබල බව නැති කොට මෙසේ ඒ රෑදාවල ගෙවන්නේ ය. එසේ ඇති කල මා විසින් තෙල පළමු මහණ ම වඩා පිදිය යුතු ද පැසසිය යුතු ද වෙයි. එය කවර හෙයින යත්: මහණෙනි, එය ඒ මහණහුට බොහෝ කලක් අපිස් බව පිණිස ද සතොස් බව පිණිස ද මනා සේ කෙලෙසුන් සිඳහැරීම පිණිස ද සුපෝෂභාවය පිණිස ද වැර ඇරඹුම් පිණිස ද වන්නේ ය. මහණෙනි, ඒ නිසා මාගේ ධර්මයට දායාද වවු. ආමිසයට දායාද නො වවු. ‘මාගේ ශ්රාවකයෝ කෙසේ නම් ධර්මයට දායාද වන්නාහු ද, ආමිසයට දායාද නො වන්නාහු දැ’යි තොප කෙරෙහි මාගේ අනුකම්පාවා ඇත.
6. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟිට විහාරයට වැඩි සේක.
7. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්රස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේ වැඩ නොබෝ වෙලාවකින් ‘ඇවැත්නි’යි භික්ෂූන් ඇමතූහ. ඒ භික්ෂූහු ‘ඇවැත්නි’යි ශාරීපුත්රස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්රස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ;
8. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විවේකයෙන් යුක්ත ව වසද්දී ශ්රාවකයෝ කොපමණකින් විවේකයෙහි නො හික්මෙත් ද? ශාස්තෲන්වහන්සේ විවේකයෙන් යුක්ත ව වසද්දී ශ්රාවකයෝ කොපමණකින් විවේකයෙහි හික්මෙත් ද? ඇවත, අපි ආයුෂ්මත් ශාරීපුත්රස්ථවිරයන් වහන්සේ වෙතින් මේ භාෂිතයේ අදහස දැනගැනීමට (යොදුන් ගණන්) දුර සිට වුවත් එමු. ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේට ම මේ භාෂිතයේ අදහස වැටහේවා. ඒ මැනවි. භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්රස්ථවිරයන් වහන්සේගෙන් ම අසා දරන්නාහුය. “එසේ නම් ඇවැත්නි, අසවු. මැනවින් මෙනෙහි කරවු. දෙසන්නෙමි.” ඒ භික්ෂූහු ඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් ශාරීපුත්රස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්රස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ: