1. 1. 2.
සබ්බාසව සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරන සේක. භාග්යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු වහන්සැයි භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්යවතුන් වහන්සේ මේ සූත්රය වදාළ සේක.
2. මහණෙනි, තොපට සියලු ආශ්රවයන්ගේ සංවරකාරණය (අනුප්පාද හේතුව) දේශනා කරන්නෙමි. එය අසව. මනා කොට මෙනෙහි කරව. දෙසමි යි වදාළ සේක. “එසේ ය වහන්සැ” යි ඒ භික්ෂුහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් අස්සුහ. භාග්යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක:
3. මහණෙනි, මම (නුවණින්) දන්නහුට දක්නහුට ආස්රවයන්ගේ ක්ෂය කිරීම කියමි. නො දන්නහුට නො දක්නහුට නො කියමි. යලි දු මහණෙනි, කුමක් දන්නහුට කුමක් දක්නහුට ආස්රව ක්ෂය වේ ද? යෝනිසෝමනසිකාරය ද අයෝනිසෝමනසිකාරය ද (දන්නහුට දක්නහුට ආස්රව ක්ෂය) වේ. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නහුට නූපන්නා වූ ද ආස්රවයෝ උපදිති. උපන්නාවූ ද ආස්රවයෝ වැඩෙති. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නූපන්නා වූ ද ආස්රවයෝ නූපදිති. උපන්නා වූ ද ආස්රවයෝ ප්රහීණ වෙති.
4. මහණෙනි, සෝවන්මගනුවණින් පහ කළ යුතු ආස්රව ඇත. ස්මෘතිසඞ්ඛ්යාත සංවරයෙන් පහ කළ යුතු ආස්රව ඇත. ඥානසංවරසඞ්ඛ්යාත ප්රත්යවේක්ෂාප්රතිසේවනායෙන් පහ කළ යුතු ආස්රව ඇත. ක්ෂාන්තිසංවරසඞ්ඛ්යාත අධිවාසනායෙන් පහ කළ යුතු ආස්රව ඇත. ශීලසංවරසඞ්ඛ්යාත පරිවර්ජනයෙන් පහ කළ යුතු ආස්රව ඇත. වීර්ය්යසංවරසඞ්ඛ්යාත විනෝදනයෙන් පහ කළ යුතු ආස්රව ඇත. උපරිමාර්ගත්රය හා සම්ප්රයුක්ත බෝධ්යඞ්ගයන්ගේ භාවනාවෙන් පහ කළ යුතු ආස්රව ඇත.
5. මහණෙනි, සෝවාන්මග නුවණින් පහ කළ යුතු ආස්රවයෝ කවරහ? යත්: මහණෙනි, මේ ලෝකයෙහි බුද්ධාදී ආර්ය්යයන් නො දක්නා වූ ආර්ය්යධර්මයෙහි අදක්ෂ වූ ආර්ය්යධර්මයෙහි නො හික්මුණාවූ, බුද්ධාදී සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්මයෙහි අදක්ෂ වූ සත්පුරුෂධර්මයෙහි නො හික්මුණු අශ්රැතවත් පෘථග්ජන තෙමේ මෙනෙහි කළ යුතු ධර්මයන් නො දනී. මෙනෙහි නො කළ යුතු ධර්මයන් නො දනී. මෙනෙහි කළ යුතු ධර්මයන් නො දන්නා නො මෙනෙහි කළ යුතු ධර්මයන් නො දන්නා හෙ තෙමේ යම් ධර්ම කෙනෙක් නො මෙනෙහි කළ යුත්තාහු නම්, ඒ ධර්මයන් මෙනෙහි කෙරෙයි. යම් ධර්ම කෙනෙක් මෙනෙහි කළ යුත්තාහු නම්, ඒ ධර්මයන් මෙනෙහි නො කෙරෙයි.
6. මහණෙනි, යම් ධර්ම කෙනෙකුන් මෙනෙහි කෙරේ නම්, මෙනෙහි නො කළ යුතු ඒ ධර්මයෝ කවරහ? යත්: මහණෙනි, යම් ධර්මකෙනෙකුන් මෙනෙහි කරන්නහුට නූපන් කාමාස්රවය හෝ උපදී ද, උපන් කාමාස්රවය හෝ වැඩේ ද, නූපන් භවාස්රවය හෝ උපදී ද, උපන් භවාස්රවය හෝ වැඩේ ද, නූපන් අවිද්යාස්රවය හෝ උපදී ද, උපන් අවිද්යාස්රවය හෝ වැඩේ ද, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කෙරේ නම්, මොහු ඒ මෙනෙහි නො කළ යුතු ධර්මයෝ යි.
7. මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කළ යුතු ඒ ධර්මයෝ කවරහ? යත්: මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කරන්නහුට නූපන් කාමාස්රවය හෝ නූපදී ද, උපන් කාමාස්රවය හෝ ප්රහීණ වේ ද, නූපන් භවාස්රවය හෝ නූපදී ද, උපන් භවාස්රවය හෝ ප්රහීණ වේ ද, නූපන් අවිද්යාස්රවය හෝ නූපදී ද, උපන් අවිද්යාස්රවය හෝ ප්රහීණ වේ ද, යම් ධර්ම කෙනකුන් මෙනෙහි නො කෙරේ නම්, මොහු ඒ මෙනෙහි කළ යුතු ධර්මයෝ යි.
8. මෙනෙහි නො කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් නො මෙනෙහි කිරීමෙන් ඔහුට නූපන්නා වූ ද, ආස්රවයෝ උපදිති. උපන්නා වූ ද ආස්රවයෝ වැඩෙති.