55-AP-Patthanappakarana 1.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1988
- මුද්‍රිත වර්ෂය :
- 1988
- පිටු ගණන :
- 599
- බාගත කිරීම් ගණන :
- 2,530
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 129 MB
වෙනත් සංස්කරණ
- පට්ඨානප්පකරණං - දෙඩම්පහල කවිධජ හිමි 1942
දෙඩම්පහල කවිධජ හිමි · 1942
- පට්ඨානප්පකරණ පාළි - ශ්‍රීපාද
කිරිඇල්ලේ ඤාණවිමල හිමි · 1954
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවේ 50 වන කාණ්ඩය වන මෙම කෘතිය අභිධර්ම පිටකයේ දසවන මෙන්ම අවසාන ප්‍රකරණය වන පට්ඨානප්පකරණයේ ප්‍රථම භාගයයි. හේතු, ආරම්මණ ආදී සූවිසි ප්‍රත්‍යයන් ඇසුරින් පරමාර්ථ ධර්මයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය හා ක්‍රියාකාරිත්වය ඉතා ගැඹුරින් විස්තර කෙරෙන මෙම මහා ප්‍රකරණය කාණ්ඩ තුනකින් මුද්‍රණය කිරීමට සැලසුම් කර තිබුණි.
මෙහි සංස්කරණ කටයුතු අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්දමෛත්රෙය මහානායක හිමියන්ගේ අනුශාසනා පරිදි කරහම්පිටිගොඩ ශ්‍රී සුමනසාර හිමියන් විසින් බොහෝදුරට සිදුකරන ලද අතර, උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු විද්‍යෝදය පිරිවෙන්හි බෙල්ලන ඥානවිමල නායක හිමි ඇතුළු සම්පාදක මණ්ඩලය මගින් සම්පූර්ණ කරන ලදී. ඡායානුවාදයක් වෙනුවට ප්‍රයෝජනවත් සංක්ෂිප්ත ‘පට්ඨාන නය නිරූපණයක්’ බෙල්ලන ඥානවිමල හිමියන් විසින් සම්පාදනය කොට මෙයට ඇතුළත් කර ඇත.
බුද්ධ ජයන්ති ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය මගින් ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් 1988 (බු.ව. 2531) දී මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කරන ලදී.
සංස්කාරක නිවේදනය
දෙදහස්පන්සිය වැනි සම්බුද්ධ පරිනිර්වාණ වර්ෂය අනුස්මරණය සඳහා එවක අගමැති වැ සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමාණන්ගේ ප්රමුඛත්වයෙන් පිහිටුවන ලද ලංකා බෞද්ධ මණ්ඩලය මගින් ත්‍රිපිටක ග්රන්ථ සියල්ල සංශෝධනය කොට සිංහල බෞද්ධ ජනතාවගේ ධර්මඥානය සඳහා සිංහලභාෂාවෙන් තැබියැ යුතු යයි සම්මත කරන ලදුවැ ඒ ඒ ග්රන්ථ පරිවර්තනය හා සංස්කරණය සඳහා සුදුසු මහ තෙරවරුන් තෝරාගෙනැ සංස්කාරක හා පරිවර්තක මණ්ඩල පිහිටුවන ලද්දේය. ඒ මණ්ඩලයන් පිළිබඳවැ කියයුතු කරුණු මුලින් මුද්‍රණය වූ ග්‍රන්ථවල දී නිවේදනය කරන ලද්දේය.
ත්‍රිපිටක ග්රන්ථයන් අතුරෙහි ප්‍රමාණයෙන් මහත් වූ ද දුර්ඝටිත වූ ද ග්‍රන්ථය වූ පට්ඨානප්පකරණය කාණ්ඩ තුනකින් මුද්‍රණය කළ යුතු යයි සම්මතකොට එහි කාර්ය්යභාරය බලන්ගොඩ ශ්‍රී ආනන්දමෙත්රෙය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පවරා දෙන ලද්දේය. උන්වහන්සේ යථාකාලයෙහි ස්වකාර්ය්යය නිමහම් කළහ. එහෙත් අන්‍යයන් ග්‍රන්ථවල මෙන් ඡායානුවාදයක් පට්ඨානයට අවශ්‍ය නොවන බව පෙනෙන හෙයින් දහමනය දැහැටියනට ඵලවත්වුනු සඳහා සැකෙවින් පට්ඨාන නය නිරූපණය කොට දේශනාපාලිය සකස් කොට පළකිරීමට සම්මත විය.
ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සභිකයකු වූ සතරකෝරළ මහදිශාවේ ප්‍රධාන සංඝනායක ධුරීණ රාජකීය පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ දිවාරෑයෙහි වෙහෙසෙමින් පට්ඨාන ප්‍රකරණයේ ප්‍රථම භාගය බොහෝදුරට සංස්කරණය කරන ලද්දේය. උන්වහන්සේගේ ආකස්මික අභාවය නිසා ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලය බෙහෙවින් ගෙවීගියේය.
මේ අඩුව පිරිමසාලීම සඳහා ත්‍රිපිටක ධර්මය පිළිබඳව මනා පරිචය ඇති විද්‍යොදය පිරිවෙන්හි ආචාර්ය්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති බෙල්ලන ශ්‍රී ඥානවිමල නායක ස්ථවිරයන් වහන්සේ යැ, විද්‍යොදය පිරිවෙන්හි උපප්රධානාචාර්ය්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හැංගොඩ සිරි ධෙමානන්ද නායක ස්ථවිරයන් වහන්සේ යැ, රාජකීය පණ්ඩිත නරමානේ බුද්ධරක්ඛිත ස්ථවිරයන් වහන්සේ යැ යන තුන්නම පත්කරගන්නා ලදහ.
මෙතෙක් ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයෙහි ක්‍රියා කරමින් සිට අභාවප්‍රාප්ත වූ මහතෙරවරුන්ද මේ සත්කාර්ය්යයට නන් අයුරින් සහාය වූ ගිහි පැවිදි සුධීන් ද මෙහිදී කෘතවේදී වැ සඳහන් කරම්හ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති තැන්පත් ශ්‍රීමත් ජේ. ආර්. ජයවර්ධන උතුමාණන්ගේ කාරුණික අනුග්‍රහය ද, සංස්කෘතික කටයුතු හා දේශීය වෛද්‍ය අමාත්‍ය ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර මැතිතුමාණන් හා ගරු ඩබ්ලිව්. ඇම්. පී. බණ්ඩා නියෝජ්‍ය ඇමතිතුමාණන් ඇතුළු සංස්කෘතික අමාත්‍යාංශයද තිසර මුද්රණාලයාධිකාරීහු ද මේ සඳහා නන් අයුරින් උපස්තම්භක වූ හැම සුධීහු ද මෙම ධර්මදානමය කුශලයෙන් සුඛභාගී වෙත්වායි ආශංසනය කරම්හ.
මෙවගට,
ලබුගම ලංකානන්ද
මහානායකස්ථවිර
ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ
සභාපති හා ප්‍රධාන සම්පාදක.
1988 සැප්තැම්බර් මස
02 වැනි දින
ප්‍රවචනොදය පිරිවෙන
මොල්ලීගොඩ.
සංඥාපනය
පරමාර්ථ ධර්මප්රවර්තක වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු සතරවන සතියෙහි රත්නාඝරයෙහි වැඩැහිඳ තමන්වහන්සේ ප්‍රතිවේධ කළ පරමාර්ථ ධර්මයන් සම්මර්ශනය පටන්ගත්සේක. ධම්මසංගණීප්පකරණය ආදිකොට ඇති ඒ ඒ ප්‍රකරණයන් සිහි කරමින් පට්ඨානප්රකරණයට පැමිණ එහි අනන්ත වූ නය විස්තාර සම්මර්ශන කරත් කරත්ම ප්‍රණීත බවට පැමිණි බුද්ධකාය ප්‍රීතිවේගයෙන් උතුරාගිය ආලෝක ධාරායෙන් මුළුලොව එකාලොක විය. ප්‍රස්ථාන-සත්වය සඳහා මෙහිලා පවසනුයේ මෙතෙකි.
බුදුරදුන් තව්තිසාවෙහි පඬුඇඹුල් සලඅසුන්හි වැඩහිඳ අනෙක නය සතසහස්රයෙන් වදාළ පට්ඨානප්පකරණය අගසව් සැරියුත් මහ රහතුන් වහන්සේ ඒ මහාප්‍රකරණය වාචනාමාර්ගයට නඟා සිය අතැවැසියන්ගේ මාර්ගයෙන් මිනිසුන් අතර ව්‍යාප්ත කළ සේක. මේ ගම්භීර වූ ප්‍රකරණය පිළිබඳවැ දක්වාලියැ යුතු කරුණු මෙහි සංස්කාරක නිවේදනයෙන් හා පට්ඨාන නය නිරූපණයෙන් ද පවසන ලද්දේය.
පට්ඨානප්පකරණය මුද්‍රණයෙහි ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ අනුග්රහයද, සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැතිතුමාණන් හා එම දෙපාර්තමේන්තුවේ සුධීහු ද ත්‍රිපිටක ධර්මප්රවර්තනය සඳහා ළැඳි ක්‍රියාකරන හැම සුධීහු ද සද්ධර්මයාගේ ව්‍යාප්තිය හේතුවෙන් ජනිත වූ කුශලඵලයෙන් සුඛභාගී වෙත්වායි ආශංසනය කරම්හ.
මෙවගට, ශාසනොදයකාරී,
ලබුගම ලංකානන්ද
මහානායක ස්ථවිර
ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ
සභාපති හා ප්‍රධාන සම්පාදක.
2531/1988 සැප්තැම්බර් 10 වැනි දින.
115, මහානායක චාරිකාරාමයේ
ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය
විජේරාම මාවත,
කොළඹ 7.