46-AP-Vibhangappakarana 1.pdf

ප්‍රකාශිත වර්ෂය :
1975
මුද්‍රිත වර්ෂය :
1975
පිටු ගණන :
427
බාගත කිරීම් ගණන :
2,772
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
87 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

වෙනත් සංස්කරණ

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 214

විභඞ්ගප්පකරණ (ප්‍රථම භාගය) යනු බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 42 වන වෙළුම ලෙස පළ කරන ලද අභිධර්ම පිටකයේ දෙවන ග්‍රන්ථයයි. බුද්ධ ජයන්ති මණ්ඩලයේ අනුග්‍රහයෙන් පාලි මූලය සහ සිංහල අනුවාදය මුහුණට මුහුණ ලා සිටින සේ මෙය සම්පාදනය කර ඇත.

මෙහි ඛන්ධවිභංගයේ සිට ඉද්ධිපාදවිභංගය දක්වා වූ ප්‍රථම විභංග නවය ඇතුළත් වේ. මුලින් කටුකුරුන්දේ ශ්‍රී දේවානන්ද නාහිමියන් විසින් කරන ලද අනුවාදය පදනම් කරගෙන, ලබුගම ලංකානන්ද අනුනායක හිමි සහ කරහම්පිටිගොඩ සුමනසාර හිමි විසින් පුස්කොළ පිටපත් හා විදේශීය සංස්කරණ ඇසුරින් පාඨශෝධනය කොට සම්පූර්ණ පරිවර්තනය සකස් කර ඇත.

  • ඛන්ධවිභඞ්ග
  • ආයතනවිභඞ්ග
  • ධාතුවිභඞ්ග
  • සච්චවිභඞ්ග
  • ඉන්ද්‍රියවිභඞ්ග
  • පච්චයාකාරවිභඞ්ග
  • සතිපට්ඨානවිභඞ්ග
  • සම්මප්පධානවිභඞ්ග
  • ඉද්ධිපාදවිභඞ්ග

සංස්කාරක නිවේදනය

ත්‍රිපිටක පාළියෙහි අභිධම්ම සප්තප්‍රකරණයට අයත් ග්‍රන්ථයන් අතුරෙහි විභඞ්ගප්පකරණය දෙවැනි ග්‍රන්ථය යි. මෙය ඛන්ධවිභඞ්ගය ආදි කොට, ධම්මහදයවිභඞ්ගය අවසන් කොට ඇති අටළොස් විභඞ්ගයකින් යුක්ත වෙයි. බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙහි විභඞ්ගප්පකරණය 42, 43 වැනි ග්‍රන්ථවශයෙන් පළවන්නේ යැ. එයින් “ඛන්ධවිභඞ්ගය” පටන් “ඉද්ධිපාදවිභඞ්ගය” අවසන් කොට ඇති විභඞ්ග නවය මෙහි ප්‍රථමභාගය වේ.

ලංකා බෞද්ධ මණ්ඩලය විසින් ආරාධිත වැ මේ ප්‍රථමභාගය කටුකුරුන්දේ ශ්‍රී දෙවානන්ද නායක ස්ථවිරපාදයන් වහන්සේ විසින් සිංහලයෙන් අනුවාද කරන ලද්දේය. එහෙත් ඒ අනුවාදය ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක මණ්ඩලයෙන් යළි පාඨශෝධන සහිත කොට විභඞ්ගප්පකරණය මුළුල්ල සිංහලයෙන් පරිවර්තනය කළ මැනවැයි අප වෙත පැවරිණ. මහනුවර පත්තිරිප්පුවේ රාජකීය පුස්තකාලයට අයත් පුස්කොළ පොත ද, පැල්මඩුල්ලේ පුරාණ විහාරස්ථානයෙහි පුස්කොළ පොත ද, සිංහල අක්‍ෂරයෙන් මුද්‍රණය වූ පොත් දෙකක් ද, එංගලන්තයේ පාළි පොත් සමාගම මගින් මුද්‍රණය කරවන ලද පොත ද, සියම් රට තායි අක්‍ෂරයෙන් මුද්‍රිත විභඞ්ගප්පකරණය හා බුරුම රට ඡට්ඨසංගීතියෙන් ශෝධිත වැ මුද්‍රණය වූ විභඞ්ගප්‍රකරණය ද ඇසුරු කරමින් විභඞ්ගප්පකරණයෙහි පාඨශෝධනය හා සම්පූර්ණ සිංහල පරිවර්තනය ද නිමහම් කරන ලද්දේ ය. මෙහි පාඨශෝධනයේ දී ලක්දිවැ මහා විහාරාර්ය්‍යාගත ආචාර්‍ය්‍ය සම්ප්‍රදායෙහි පැවැති විභඞ්ගප්පකරණ වාචනාමාර්ගය නඟාගැනීමට අපගේ ප්‍රයත්නය වූ බව ප්‍රකාශ කරමිහ.

මේ අධිකාරයෙහි ලා ධර්‍ම-විනයෙහි හා ඉතිහාස පුරාවිද්‍යා තර්ක-න්‍යායාදි ශාස්ත්‍රාන්තරයෙහි බැසගත් බුද්ධිප්‍රභා ඇති රාජකීය පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ මුල සිට මා සහාය වූහ. මෙහි ඇතැම් තැනෙක් ඒ ස්ථවිරයන්ගේ මැ පරිවර්තන වෙයි. තව ද, මෙහි ලා ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයෙහි ප්‍රධාන සම්පාදක වැ සිටි දිවංගත සිරි වජිරඤාණ නාහිමිපාණන් වහන්සේගේ උපස්තම්භය ලැබුණු බව ද පවසමිහ.

මුද්‍රණ අවස්ථාවට පැමිණි වර්තමාන ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ සභාපති තැන්පත් අහංගම ‘විද්‍යාචන්ද්‍ර’ පරිවේණාධිපති පණ්ඩිත කෝදාගොඩ සිරි ඤාණාලෝකාභිධාන දක්‍ෂිණ ලංකාවෙහි ප්‍රධාන සංඝ නායක ස්ථවිරයන් වහන්සේ යැ, ‘විද්‍යොදය’ මහපිරිවෙන්හි උප පරිවේණාධිපති භාවොපගත ශාස්ත්‍රපති, විද්‍යා විශාරද, පණ්ඩිත රද්දැල්ලේ සිරි පඤ්ඤාලෝකාභිධාන අනුනායක ස්ථවිරයන් වහන්සේ යැ එ මැ පිරිවෙන්හි ආචාර්ය්‍යභාවොපගත ශාස්ත්‍රපති, විද්‍යා විශාරද, පණ්ඩිත වේඩරුවේ සිරි අණොමදස්ස්‍යභිධාන නායක ස්ථවිරයන් වහන්සේ යැ යන කීර්තිධර මහතෙර වරුන්ගේ ආගමඥානයෙහි නිපුණ බව ග්‍රන්ථශෝධන-සංස්කරණ කෘත්‍යයෙහි ලා අතිශයින් වහල්විය. කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක පණ්ඩිත දෑරණගමුවේ ධම්මපාල ස්ථවිරයන් වහන්සේගෙන් ත්‍රිපිටක මණ්ඩලයට ලැබෙන සහාය කෘතඥතාපූර්වකව සඳහන් කළ යුතුය.

තවද ශ්‍රී ලංකා ජනරජයේ ගරු අග්‍රාමාත්‍යවර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මේ ත්‍රිපිටක මුද්‍රණ කාර්ය්‍යයෙහි ලා දක්වන බලවත් ප්‍රසාදය ද, ගරු සංස්කෘතික අමාත්‍ය ඇස්. ඇස්. කුලතිලක මැතිතුමාණන් හා අමාත්‍යාංශයෙහි ලේකම් සේනසිංහ සුමනවර්ධන මහතාණන් හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී. බී. වේරගොඩ මහතාණන් ගෙන් ලැබෙන පිටිවහල ද අනුස්මරණීය වෙයි. සංස්කෘතික අධ්‍යක්‍ෂ ඩොනල්ඩ් අබේසිංහ මහතාණන් හා ශ්‍රී ලංකා සංස්කෘතික මණ්ඩලයේ සාහිත්‍ය සංවර්ධන නිලධාරී කේ. ජී. අමරදාස මහතාණන් ප්‍රමුඛ සංස්කෘතික නිලධාරීන් මේ සඳහා දක්වන උද්‍යෝගය ප්‍රශංසනීය වෙයි.

රාජ්‍යය පිළිබඳ අපරිමිත කාර්ය්‍යභාරයෙන් සම්බාධ ව ඇති රජයේ මුද්‍රණාලයෙහි අධිපති ඇල්. ඩබ්ලිව්. පී. පීරිස් මහතාණන් ත්‍රිපිටක මුද්‍රණ කාර්යාංශයකුදු ඇති කොට ත්‍රිපිටක ග්‍රන්ථ මුද්‍රණය සඳහා දෙන අනුබලය හා එම සේවක මහතුන් ඉතා භක්තිමත් ව මුද්‍රණ කාර්යයෙහි නියුක්තව සිටීම ද බෞද්ධ ලෝකයාගේ ප්‍රශංසාවට කාරණ වෙයි. එසේම ත්‍රිපිටක කාර්යාලය පිහිටි කොළඹ මහානායකවාරිකාරාමයෙහි නියුක්ත ඇම්. ඒ. ආර්. සමරසිංහ මහතාගෙන් ත්‍රිපිටක මණ්ඩලයට රැඳෙවෙහි ලැබෙන සාහාය්‍යය ද අනුස්මරණීය වේ.

සදෙවක ලෝකයාට වැඩදායක වූ අතිපරිශුද්ධ පය්‍යර්‍ාප්ති ධර්මය ව්‍යාප්ත කිරීමෙහි යත්න දරන මේ හැම සුධීහු ද, ත්‍රිපිටක සිංහල පරිවර්තනය සඳහා නන් අයුරින් සහාය දුන් හැම පින්වත්හු ද ධර්‍මදානමය කුශල බලයෙන් සුඛභාගී වෙත්වයි ආශංසනය කරමිහ.

මේවගට ශාස්ත්‍රෝදයකාරී,
ලබුගම ලංකානන්ද
ත්‍රිපිටකමණ්ඩලයේ ප්‍රධාන සම්පාදක
1975 වෙසක් පුර පසළොස්වක
ත්‍රිපිටක කාර්යාලය, මහානායකවාරිකාරාමය්, 115, විජේරාම මාවත, කොළඹ - 7.

සංඥාපනය

අප බුදුන් වදාළ තෙවළා බුදුවදන්හි ඇතුළු වැ සිටුනා ප්‍රඥාසන්දීපක අනෙකනය ශතසහස්‍රයෙන් ප්‍රතිමණ්ඩිත වූ අභිධර්ම පිටකයෙහි සප්තප්‍රකරණයන් අතුරෙහි දෙවැන්න විභඞ්ගප්පකරණ නම් වෙයි. මෙහි ලා අභිධර්මය පිළිබඳ වැ කිවමනා දෑ බුද්ධජයන්ති ග්‍රන්ථමාලාවෙහි ධම්මසඞ්ගණීප්‍රකරණයෙහි ලා කියනලද වන බැවින් දැන් විභඞ්ග ප්‍රකරණය පිළිබඳ වැ වෙයෙසො කිවයුතු දෑ පමණක් සැකෙවින් දක්වනු ලැබේ.

‘විභඞ්ග’ නම් ‘විභාග’යි. සුත්තන්තභාජනීය යැ අභිධම්මභාජනීය යැ පඤ්හ පුච්ඡක යැ යන තුන් නයින් ස්කන්ධාදි ධර්‍මවිභාග කොට දක්වන බැවින් මේ ‘විභඞ්ග’ නමැදු නානා ප්‍රභේදයෙන් භින්න වූ අර්ථයන් ප්‍රකාරයෙන් කියනුලබන හෙයින් ප්‍රකරණ නමැදු වෙයි. මෙහි වාචනාමාර්ගය දම්සෙනෙවි සැරියුත් මහ රහතුන් වහන්සේ ප්‍රභව කොට ඇත්තේ යැ. සම්බුදුරදුන් වදාළ දහම් නය ගෙන ‘ධර්‍මසඞ්ග්‍රහ’ කෙරෙමින් පන්සියක් අතැවැසියනට ‘ධම්මසඞ්ගණී’ ප්‍රකරණය දෙසු සැරියුත් තෙරණුවෝ යළි ස්කන්ධාදි ‘ධර්මවිභාග’ කෙරෙමින් විභඞ්ගප්පකරණය දෙසුහ.

පරිච්ඡේද: මේ ප්‍රකරණයෙහි අටළොස් විභඞ්ගයෙක් වෙයි: ඛන්ධවිභඞ්ග යැ ආයතනවිභඞ්ග යැ ධාතුවිභඞ්ග යැ සච්චවිභඞ්ග යැ ඉන්ද්‍රියවිභඞ්ග යැ පච්චයාකාරවිභඞ්ග යැ සතිපට්ඨානවිභඞ්ග යැ සම්මප්පධානවිභඞ්ග යැ ඉද්ධිපාදවිභඞ්ග යැ බොජ්ඣඞ්ගවිභඞ්ග යැ මග්ගවිභඞ්ග යැ ඣානවිභඞ්ග යැ අප්පමඤ්ඤාවිභඞ්ග යැ සික්ඛාපදවිභඞ්ග යැ පටිසම්භිදා විභඞ්ග යැ ඤාණවිභඞ්ග යැ ඛුද්දකවත්ථුවිභඞ්ග යැ ධම්මහදයවිභඞ්ග යැ කියා යි.

ඛන්ධවිභඞ්ග: මෙහි පඤ්චස්කන්ධයෝ සුත්තන්තභාජනීය යැ අභිධම්මභාජනීය යැ පඤ්හපුච්ඡක යැ යන තුන් නයින් විභාග කරනලදහ. සුත්තන්තභාජනීයෙහි ලා පඤ්චස්කන්ධයෝ අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න, අධ්‍යාත්ම, බාහිර, ඖදාරික, සූක්‍ෂ්ම, හීන, ප්‍රණීත, දුර, සන්තික යන එකොළොස් අයුරින් විභක්ත වෙති.

අභිධම්මභාජනීයෙහි ලා රූපස්කන්ධයාගේ උද්දෙස පමණක් දක්වනලද්දේ යැ. එහි නිර්දෙස ධම්මසඞ්ගණී රූපකාණ්ඩයෙහි විස්තර කරනලද අයුරින් මෙහිදු ගතයුතු වෙයි. උද්දෙසයෙහි එකවිධරූප පටන් කොට එකාදශවිධරූප තෙක් රූපධර්මයන් සඞ්ග්‍රහ කොට මාතෘකා තබනලද යැ. එහි එකකමාතෘකාවෙහි උද්ධෘතපද තෙසාලිසෙකි. ඔවුනතුරෙහි පශ්චිමපදය මාතෘකාමුක්ත වෙයි. සෙසු සාලිස් පදයෝ මාතෘකාගතයෝ යි. එක්සිය සතරක් පමණ වූ ද්විකමාතෘකා අතුරෙන් තුදුස් ප්‍රකීර්‍ණකද්විකයන් ද, එක්සියතුනක් පමණ වූ ත්‍රිකමාතෘකා අතුරෙන් ප්‍රකීර්‍ණකත්‍රික තුනක් ද, දෙවිසි චතුෂ්කමාතෘකා අතුරෙන් ආදි චතුෂ්ක සතර ද දක්වා නයමුඛ දී අවශෙෂමාතෘකා පෙය්‍යාලමුඛයෙන් සංක්‍ෂිප්ත කරන ලද යැ. එ හැම ධම්මසඞ්ගණී රූපකාණ්ඩයෙහි විස්තෘත අයුරින් මෙහිදු ගතයුතු වෙයි. පඤ්චකය පටන් කොට එකාදශකය තෙක් අභිමුඛමාතෘකා තබනලදී.

වේදනාස්කන්ධනිර්දෙසයෙහි දුකමූලක යැ තිකමූලක යැ උභතොවඩ්ඪක යැ බහුමිධ යැයි මහාවාර සතරෙක් වෙයි. එහි ත්‍රිකමාතෘකා ගෙන ද්විකමාතෘකායෙහි බහා කළ දෙශනා දුකමූලක නම. ද්විකමාතෘකා ගෙන ත්‍රිකමාතෘකායෙහි බහා කළ දෙශනා තිකමූලක නම. ද්විකත්‍රිකමාතෘකා දෙපසින් වඩා කළ දෙශනා උභතොවඩ්ඪක නම. අවසානයෙහි සප්තවිධ යැ චතුරංගවිධ යැ ත්‍රි-ශද්විධ යැ බහුවිධ යැ යන සතර අයුරෙකින් දක්වනලද්දේ බහුවිධවාර නමි.