07-VP-Chullavagga Pali 2.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1983
- මුද්‍රිත වර්ෂය :
- 1983
- පිටු ගණන :
- 651
- බාගත කිරීම් ගණන :
- 2,065
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 125 MB
වෙනත් සංස්කරණ
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා 5 (2) ලෙස පළවූ මෙම කෘතිය විනය පිටකයට අයත් චුල්ලවග්ගපාළියේ දෙවන කාණ්ඩයයි. මෙහි පාලි පාඨය සහ ඊට අදාළ සිංහල පරිවර්තනය අන්තර්ගත වේ.
මෙහි වත්තක්ඛන්ධකයේ අවසානය දක්වා කොටස අග්ගමහාපණ්ඩිත බලන්ගොඩ ආනන්දමෛත්රෙය මහානායක හිමිපාණන් විසින් ද, එතැන් සිට අවසානය දක්වා පණ්ඩිත උඩුවේ ජනානන්ද ස්ථවිරයන් වහන්සේ විසින් ද සිංහලයට පරිවර්තනය කර ඇති අතර, ත්‍රිපිටක පරිවර්තන සම්පාදක මණ්ඩලය මගින් සංශෝධනය කර ඇත. සම්පාදක මණ්ඩලයේ සභාපතිත්වය කෝදාගොඩ ඤාණාලොක නායක ස්ථවිරයන් දැරූහ.
චුල්ලවග්ගපාළියේ දෙවන කාණ්ඩයෙහි කම්මක්ඛන්ධකය, පාරිවාසිකක්ඛන්ධකය, සමුච්චයක්ඛන්ධකය, සමථක්ඛන්ධකය, ඛුද්දකවත්ථුක්ඛන්ධකය, සෙනාසනක්ඛන්ධකය, සංඝභෙදකක්ඛන්ධකය, වත්තක්ඛන්ධකය, පාතිමොක්ඛට්ඨපනක්ඛන්ධකය, භික්ඛුනී ඛන්ධකය සහ ප්‍රථම හා දෙවන සංගීති පිළිබඳ විස්තර කෙරෙන පඤ්චසතිකක්ඛන්ධකය හා සත්තසතිකක්ඛන්ධකය ඇතුළත් වේ.
සංස්කාරක නිවේදනය
චුල්ලවග්ගපාලිය සියබසට නඟාලීමෙහි ලා කියයුතු දැය මෙහි ප්‍රථම කාණ්ඩයෙහි කෙටියෙන් ඇතුළත් කොට පළකරන ලදී. ත්‍රිපිටක මණ්ඩලයෙහි ප්‍රධාන සම්පාදක ලබුගම සිරි ලංකානන්ද මහානායක හිමිපාණන්ගේ ඒ ලිපිය මෙහි ලා ප්‍රමාණ වෙති යි සිතම්හ. පළවන මේ දෙවන කාණ්ඩයෙහි වත්තක්ඛන්ධකය අවසන් කොට ඇත්තේ අග්ගමහාපණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක හිමිපාණන්ගේ පරිවර්තන වෙයි. එතැන් සිට අවසානය දක්වා පණ්ඩිතාචාර්ය්ය උඩුවේ ජනානන්ද ස්ථවිරයන් වහන්සේගේ පරිවර්තන වෙයි.
මේ සත්ක්රියාවෙහි ලා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයෙහි ශ්‍රීමත් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන උතුමාණන්ගේ හා අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමන්ගේ හා සංස්කෘතික ඇමැති ඊ. ඇල්. බී. හුරුල්ලේ මැතිතුමන්ගේ හා අනුග්‍රහය ද සංස්කෘතික අමාත්‍යාංශයෙහි අතිරේක ලේකම් සෝමපාල ජයවර්ධන මහතාණන් ඇතුළු පින්වතුන් දක්වාලූ සහාය ද ඉතා අගය කොට සලකම්හ. මෙසේ මේ විනය-ග්‍රන්ථය සියබසින් තැබීම නිසා ලත් පින අප හැමට නිවන් පිණිස පවතීවායි පතම්හ.
ශාසනස්ථිති කැමැති
කෝදාගොඩ ඤාණාලොක නායකස්ථවිර
ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයෙහි සභාපති
1983 / 2525 ජනවාරි 13 දින
කොළඹ 7, විජේරාම මාවතේ,
අංක 115 දරන, මහානායක වාරිකාරාමයේ
ත්‍රිපිටක මණ්ඩලය.
ප්‍රස්තාවනා
අප සර්වඥයන් වහන්සේ බුද්ධත්වයට පැමිණ දමසක් පැවැත්මෙන් පසු අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් ප්රමුඛ පඤ්චවග්ගිය භික්ෂූන් වහන්සේගෙන් ආරම්භ වූ ශ්‍රාවක පිරිස ක්‍රමයෙන් දහස් ගණනින් වර්ධනය විය. ඒ ආදිම අවධියෙහි හෙවත් ප්‍රථම බොධියෙහි ශ්‍රාවකයන් වහන්සේ අතර ශ්රමණධර්ම ව්යතික්රමණයක් නො වූ හෙයින් ශාසනය නිරවුල් ව (නිරර්බුද ව) පැවැති හෙයින් ශික්ෂාපද පැනවීමක් හෝ පාමොක් උදෙසීමක් (ආණාපාතිමොක්ඛුද්දෙසයක්) නො වී ය. එකල උපදෙසන ලද්දේ ‘‘ඛන්තී පරමං තපො’’ ආදි ගාථා තුනෙන් යුත් ඔවාදපාතිමොක්ඛය පමණි.
සියලු බුදුවරුන්ගේ අවවාද ප්රාතිමොක්ෂය වන්නේ මේ ‘ඛන්තී’ ආදි ගාථා තුනමය. දීර්ඝායුෂ්ක බුදුවරුන්ගේ ශාසන පරියන්තාය දක්වා ද අල්පායුෂ්ක බුදුවරුන්ගේ ප්‍රථම බොධියෙහි ද මේ අවවාද ප්රාතිමොක්ෂය උපදෙස්නු ලැබේ. ශික්ෂාපද පැනවීමේ පටන් ආණාපාතිමොක්ඛය උපදෙසනු ලැබේ. එ ද භික්ෂූන් විසින් පමණකි. බුදුවරු නො උපදෙසත්. එහෙයින් අප භාග්‍යවතුන් වහන්සේ ද ප්‍රථම බොධියෙහි විසි වසක් පමණ මේ අවවාද ප්රාතිමොක්ෂය උපදෙසු සේක. ‘‘සබ්බබුද්ධානං හි ඉමා තිස්සො ඔවාදපාතිමොක්ඛගාථායො හොන්ති. තා දීඝායුකබුද්ධානං යාව සාසනපරියන්තා උපද්දෙසමාගච්ඡන්ති, අප්පායුකබුද්ධානං පඨමබොධියං යෙව. සික්ඛාපදපඤ්ඤත්තිකාලතො පන පභුති ආණා පාතිමොක්ඛමෙව උද්දිසියති. තං ච ඛො භික්ඛූයෙව උද්දිසන්ති. න බුද්ධා, තස්මා අම්හාකම්පි භගවා පඨමබොධියං වීසතිවසමත්තමෙව ඉදං ඔවාදපාතිමොක්ඛං උද්දිසි.’’ යනු සමන්තපාසාදිකා විනය අටුවා යි. ඉන් පසු එක් පොහෝ දිනෙක සැවැත්නුවර මිගාරමාතු ප්‍රාසාද නම් වූ පූර්වාරාමයෙහි රැස් වූ භික්ෂූන් අතර සිටි අපවිත්‍ර පුද්ගලයකු නිසා ඇති වූ සිද්ධියේ දී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා ‘‘නදානාහං භික්ඛවෙ ඉතො පරං උපොසථං කරිස්සාමි පාතිමොක්ඛං උද්දිසිස්සාමි, තුම්හෙව දානි භික්ඛවෙ ඉතො පරං උපොසථං කරෙය්යාථ, පාතිමොක්ඛං උද්දිසෙය්යාථ. අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො යං තථාගතො අපරිසුද්ධාය පරිසාය උපොසථං කරෙය්ය පාතිමොක්ඛං උද්දිසෙය්යා’’යි. (චුල්ලවග්ග පාතිමොක්ඛට්ඨපනක්ඛන්ධක)
‘‘මහණෙනි, දැන් මෙයින් මතු මම පොහෝ නො කරන්නෙමි පාමොක් නො උදෙසන්නෙමි. මහණෙනි, තෙපි ම මෙයින් මතු පොහෝ කරවු, පාමොක් උදෙසවු. මහණෙනි, තථාගත තෙම නො පිරිසුදු පිරිසෙහි පොහෝ කරන්නේ ය. පාමොක් උදෙසන්නේ ය යන යමෙක් ඇද්ද මෙය නො කරුණෙකි. වන්නට අවකාශ නැතැ’’යි වදාළ සේක.
මේ කාලය තෙක් ද භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට ශික්ෂාපද පනවා නො තිබිණ.
මෙයින් පසු වෙරඤ්ජාවෙහි වස් වසා වැඩ සිටි කාලයෙහි දිනක් සැරියුත් මහතෙරුන් වහන්සේ ‘‘ශාසනයෙහි චිරස්ථිතිය පිණිස භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවන සේක් නම් මැනවැ’’යි අයැද සිටියහ. එහෙත්, ‘‘ආස්රවස්ථානීය ධර්මයන් සංඝයා කෙරෙහි පහළ වන තුරු තථාගතයන් වහන්සේ ශික්ෂාපද නො පනවන සේක. ශික්ෂාපද පැනවීම සඳහා ශාස්තෲන් වහන්සේ සුදුසු කල් දන්නා සේක. එතෙක් පොරොත්තුවන්නැ’’යි වදාරා සැරියුත් තෙරුන්ගේ ඇරයුම වළක්වාලූසේක.
වෙරඤ්ජාවෙහි වස් කාලයෙන් පසු චාරිකාවෙහි වැඩි භාග්‍යවතුන් වහන්සේ සොරෙය්‍ය, සංකස්ස, බාරාණසී ආදි නගරවල චාරිකා කොට විසාලාවට පැමිණ මහාවනයෙහි කූටාගාරශාලාවෙහි වැඩ විසූ සේක. එහිදී සුදින්න කලන්දපුත්ත නම් භික්ෂුවගේ ව්‍යතික්‍රමණය කරුණු කොට ප්‍රථම පාරාජිකා ශික්ෂාපදය පැනවූ සේක.
දශවිධ හිත විශේෂයන්ගේ නිෂ්පත්තිය පිණිස භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපද පනවන්නාහ. එනම්:— සංඝයාගේ හිත සුව පිණිස, සංඝයාගේ පහසු බව පිණිස, දුශ්ශීල පුද්ගලයන්ට නිග්‍රහය පිණිස, ප්‍රියශීල භික්ෂූන්ගේ ඵාසුවිහරණය පිණිස, මෙලොව දී පැමිණිය හැකි දුක් දුරුකිරීම පිණිස, පරලොව දී පැමිණෙන දුක් නැසීම පිණිස, නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස, පහන් වූවන්ගේ වැඩියක් පැහැදීම පිණිස, සද්ධර්මයාගේ චිරස්ථිතිය පිණිස, විනයානුග්‍රහය පිණිස යන මේ දශය යි. (බු.ජ. පාරාජිකාපාළි 49 පිට)
මෙතැන් පටන් ශ්‍රාවක සංඝයා කෙරෙහි ඇති වූ විවිධ ව්‍යතික්‍රමණ කරුණු කොට භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂාපද පනවන ලදහ. ශික්ෂාපද පැනවීමේ දී භාග්‍යවතුන් වහන්සේ සංඝයාගේ අභිවෘද්ධිය පමණක් නො ව සාමාන්‍ය ජනතාවගේ දෝෂාරෝපණ ගැන ද විශේෂයෙන් අවධානය යොමු කළ බව නිදාන කථාවන්ගෙන් හෙළිවෙයි. එහෙයින් ඉහත කී දශ කරුණෙහි නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හා පහන් වූවන්ගේ වැඩියක් පැහැදීම පිණිස යන දෙකරුණ හැම කල්හි ශ්‍රාවකයන් විසින් වෙසෙසින් සැලකිය යුතු වෙයි.
මෙසේ පනවන ලද ශික්ෂාපද සමූහය ද ඒ හා සම්බන්ධ නිදාන ආදි විස්තර කථා ද විශේෂයෙන් හදළ ශ්‍රාවකයන් වහන්සේ බුද්ධ කාලයෙහි ම විසූහ. විනයධරො, උභයානි පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි ආදි විශේෂණ පදවලින් ඒ බව හෙළි වෙයි.
විනයධාරීන් කෙරෙහි අගතැන් ලැබුවාහු ක්ෂීණාස්රව උපාලි මහතෙරණුවෝ ය.
ප්‍රථම සංගීතියෙහි දී කරුණු සංග්‍රහ කිරීම වශයෙන් පාරාජික පාළි, පාචිත්තිය පාළි, මහාවග්ගපාළි, චුල්ලවග්ගපාළි, පරිවාරපාළි යැ යි ග්රන්ථ පසෙක්හි ලා විනය සංග්‍රහ කරන ලදි. වැළිදු විභඞ්ග ඛන්ධක පරිවාර වශයෙන් කොටස් තුනකට ද විනය පිටකය බෙදා දක්වනු ලැබේ. මහාවග්ග හා චුල්ලවග්ග ඛන්ධක කොටස් වෙයි. මෙහි පරිච්ඡේද හෙවත් කොටස් වෙන් කොට ඇත්තේ ඛන්ධක නාමයෙනි. එක් ශීර්ෂයකට සම්බන්ධ කරුණු රැසක් රාශීභූත වන හෙයින් ඛන්ධක නාමය ව්‍යවහාර කරනලදැ යි සිතිය හැක්ක. කුඩා වස්තු රැසක් රාශීභූත වූ හෙයින් ඛුද්දකවත්ථුක්ඛන්ධක යැ යි ව්‍යවහාර කිරීම උචිත ය. සෙසු ඛන්ධක ගැන ද මේ නයින් ම සැලකිය හැකි වෙයි. පැවිදි උපසම්පදා ආදි භික්ෂුජීවිතයෙහි ප්‍රධාන කරුණු සංගෘහීත හෙයින් මහාවග්ග යැයි ද ප්‍රධානත්වයෙන් එයට අඩු වූ කරුණු සංගෘහීත හෙයින් චුල්ලවග්ග යැයි ද නම් කරන ලද සේ පෙනෙයි, ඛන්ධකවල ප්‍රමාණය වශයෙන් කුදු මහත් බවක් දැක්වීමට ද ඉඩ නැත්තේ නො වේ.
මේ ග්රන්ථ දෙකෙහි ම විනය කරුණු වශයෙන් ඇත්තේ ඛන්ධක දශය බැගිනි. ප්‍රථම ද්විතීය සංගීති පිළිබඳ විස්තර ඇතුළත් පඤ්ච සතික සත්තසතික ඛන්ධක දෙක බුද්ධදෙශනා නො වන හෙයිනුත් විනයසංගීතියැ යි නම් කරන ලද හෙයිනුත් ඒ ඒ සංගීති අවසානයෙහි චුල්ලවග්ගයේ අගට එක් කොට ඇති හෙයින් වර්තමාන චුල්ලවග්ගයෙහි ඛන්ධක දොළොසෙකි.
ඇතුළත් කරුණු:—
1. කම්මක්ඛන්ධකය:— තජ්ජනීය කම්ම, නියස්ස කම්ම, පබ්බාජනීය කම්ම, පටිසාරණීය කම්ම, ආපත්ති නො දැක්මෙහි උක්ඛෙපනීය කම්ම, ඇවතට පිළියම් නො කිරීමෙහි උක්ඛෙපනීය කම්ම, පාපදෘෂ්ටි නො හැරීමෙහි උක්ඛෙපනීය කම්ම යන සත් වැදෑරුම් කර්ම මෙහි විභාග කරන ලද්දේ ය.
2. පාරිවාසිකක්ඛන්ධකය:— පරිවාස, මූලායපටිකස්සන, මානත්ත, අබ්භාන යන විනයකර්මයන් පිළිබඳ වත් හා සමාදානවිධි මේ ඛන්ධකයෙහි විස්තර වේ.
3. සමුච්චයක්ඛන්ධකය:— සංඝාදිසෙස ආපත්තීන්ගේ පටිච්ඡන්නා-පටිච්ඡන්න බව ආපත්ති සමොධාන පරිවාසදාන මානත්තදාන මූලායපටිකස්සන අබ්භාන යන විනයකර්මයන් පිළිබඳ විසුද්ධි අවිසුද්ධිතා ආදි විස්තර මෙහි දැක්වේ.
4. සමථක්ඛන්ධකය:— සම්මුඛාවිනයෙන් අධිකරණ වූපසමනය; දබ්බමල්ලපුත්ත තෙරුන්ට සතිවිනය දීම, ගග්ගභික්ෂුවට අමූළ්හවිනය දීම, පටිඤ්ඤාත කරණ, යෙභුය්යසිකා, තස්සපාපිය්යසිකා, තිණවත්ථාරක යන සත් වැදෑරුම් අධිකරණසමථ ද විවාදාධිකරණ අනුවාදාධිකරණ ආපත්තාධිකරණ කිච්චාධිකරණ යන අධිකරණ සතර ද, අධිකරණසමථය ද මෙහි වදාරන ලද්දේ ය.
5. ඛුද්දකවත්ථුක්ඛන්ධකය:— ස්නානය, විවිධ ආභරණ දැරීම, හිස-කෙස් හා මුහුණ සැරසීම්, නෘත්යගීතාදි දර්ශනය, ගීතස්වරයෙන් දහම් දෙසීම, සරභඤ්ඤය, ඵල පරිභොගය බන්ධපරිත්ත (සර්පයන් කෙරෙහි මෙත් වැඩීම), පාත්‍රය පිළිබඳ ශික්ෂා, චීවරකර්මය භෙසජ්ජස්වීකාර, උපහනස්වීකාර, පරිස්සාවන, චඞ්කමන, ජන්තාඝර, උද්ධානසාලා, පත්ත-නිකුජ්ජන හා පත්තුක්කුජ්ජන කර්ම, බොධිරාජකුමාර වස්තුව, වෙලපත්තිකා, පාදසංඝනී, විසඛාවස්තුව, විඩූපන, ඡත්ත, දණ්ඩ සම්මුතිය (දණ්ඩක් පාවිච්චිකිරීමට සංඝසම්මුතිය ලැබීම.) නඛච්ඡෙදන, කෙසච්ඡෙදන, කණ්ණමලහරණී, ලොහහණ්ඩ, කායබන්ධන, ගණ්ඨිකාපාස, ගිහිනිවාස, දන්තකට්ඨ, දවාලිම්පන (කැලැ ගිනිතැබීම), ගස්නැඟීම, බුද්ධවචනය ඡන්දසට නැඟීම, ලොකායත ශාස්ත්‍ර හැදෑරීම, තිරච්ඡානවිද්යා, කිඹිසීමෙහි ආශීර්වාද කිරීම, ළුහුනු කෑම, පස්සාවකුටි, වච්චකුටි, මාලාවච්ඡරොපණ ආදි විවිධ අනාචාර, දාරුගණ්ඩ, මත්තිකාභණ්ඩ යන කරුණු පිළිබඳ ශික්ෂා විභාග මේ ඛන්ධකයෙහි විස්තර වෙයි.
6. සෙනාසනක්ඛන්ධකය:— විහාර අනුදැනීම, රජගහ සිටාණන් එක් දිනක ම විහාර සැටක් කරවීම, විහාරදානානිසංස, විහාරයෙහි දොර කවුළු, ඇඳ, පුටු, මෙට්ට, කොට්ට, බිත්ති, බිම, පැන්හල, ගිනිහල යන දැය ද, අනේපිඬු සිටුතුමා බුදුන් හමුවීම, දෙව්රම් වෙහෙර කරවීම, නවකම්ම සම්මුතිය, වඞ්කාවටායනය, චණ්ඩාලචණ්ඩිය පුද්ගලයන්, ජෙතවන සඟසතු කොට පිදීම, සෙනාසනගාහාපක, අවිස්සජ්ජනීය වස්තු, කීටාගිරියෙහි අස්සජි පුනබ්බසුක භික්ෂූන් අගසවු දෙනමට සෙනසුන් නො පැනවීම, කලූරිය කළ භික්ෂු ආදීන්ගේ නවකම් පිළිබඳ අයිතිය, හත්ථුද්දෙසක, සෙනාසන පඤ්ඤාපක, භාණ්ඩාගාරික, චීවරපටිග්ගාහක, චීවරභාජක, යාගුභාජක, ඵලභාජක, අප්පමත්තක විසජ්ජක, පත්තගාහාපක, ආරාමික-පෙසක, සාමණෙරපෙසක යන මාතෘකාවන්ගේ විස්තර හා ශික්ෂාවිභාග මේ ඛන්ධකයෙහි ඇතුළත් වෙයි.
7. සංඝභෙදකක්ඛන්ධකය:— අනුපිය නම් මල්ලයන්ගේ නියම්-ගමෙහි දී භද්දිය ආදි ශාක්‍ය කුමරුන් හා උපාලි පැවිදි වීම, දෙව්දත් අජාසත් කුමරු පහදවා ගැනීම, දෙව්දත් සෘද්ධියෙන් පිරිහීම, දෙව්දත්හට මහත් ලාභ සත්කාර ඇතිවීම දෙව්දතුගේ පළමු ආශාව (සංඝයා පරිහරණයට ඉඩ නො ලැබීම), බුදුන්ගේ නියමයෙන් රජගහනුවර දී දෙව්දත්හට පකාසනීය කර්මය කිරීම, දෙව්දත් අජාසත් කුමරු ලවා පියා මැරවීම, දුනුවායන් යෙදවීම, ගිජුකුළු පවුවට නැඟී බුදුන් මුදුනට ගලක් පෙරළීම, පඤ්චවිධ ශාස්තෘවරු, බුදුන් නැසීමට නාලාගිරි ඇතු මෙහෙයැවීම, පඤ්චවර යැදීම, සංඝයා භේද කොට වෙන ම උපොසථය හා සංඝකර්ම කරන බව ප්‍රකාශ කිරීම, සංඝභෙදය කොට පිරිස රැගෙන ගයාශීර්ෂයට යෑම, අගසවු දෙනම ඒ පිරිස රැගෙන පෙරළා බුදුන් වෙත පැමිණීම, දූතකාර්ය්යයට සුදුසු භික්ෂුවගේ අංග, දෙව්දත්ගේ අනෙකවිධ වූ අසද්ධර්ම, සංඝරාජී, සංඝභෙද, සංඝසාමග්ගී, පිළියම් නො කළ හැකි හා කළ හැකි සංඝභෙදක යන කරුණු පිළිබඳ දෙසනා මේ ඛන්ධකයෙහි ඇතුළත් වෙති.
8. වත්තක්ඛන්ධකය:— ආගන්තුක වත, ආවාසික වත, ගමික වත, අනුමොදනික වත, භත්තග්ග වත, පිණ්ඩචාරික වත, ආරඤ්ඤික වත, සෙනාසන වත, ජන්තාඝර වත, වච්චකුටි වත, උපජ්ඣාය වත (සද්ධිවිහාරික විසින් උපජ්ඣායයන් කෙරෙහි පැවතියයුතු විධි), සද්ධිවිහාරික වත, (උපජ්ඣායයන් විසින් සද්ධිවිහාරික කෙරෙහි පැවතියයුතු විධි), ආචරිය වත, අන්තෙවාසික වත යන වත් පිළිබඳ දෙශනාවෝ මේ ඛන්ධකයෙහි ඇතුළත් වෙති.
9. පාතිමොක්ඛට්ඨපනක්ඛන්ධකය:— සැවැත් නුවර පූර්වාරාමයේ දී එක් පොහෝ දිනෙක භික්ෂූන් රැස්ව සිටි නමුත් භාග්‍යවතුන් වහන්සේ පාමොක් නො උදෙසීම, මහමුගලන් තෙරුන් වහන්සේ ඒ සංඝයා අතර සිටි අපවිත්‍ර පුද්ගලයා අතින් ගෙන බැහැර කිරීම, මහාසමුද්‍රයෙහි ආශ්චර්ය්යාද්භුත අට, ශාසනයෙහි ආශ්චර්ය්යාද්භුත අට, බුදුන් උපොසථය නො කිරීමට තීරණය කිරීම හා උපොසථය කිරීමට භික්ෂූන්ට නියම කිරීම, අධම්මික පාතිමොක්ඛට්ඨපන, දසවිධ අන්තරාය, ධම්මික පාතිමොක්ඛට්ඨ-පන, අක්රොධනය, චොදක විසින් ද චුදිත විසින් ද සිහි කළයුතු කරුණු මේ ඛන්ධකයෙහි දැක්වේ.
10. භික්ඛුනී ඛන්ධකය:— මහාප්‍රජාපතී ගොතමී අෂ්ටගරුධර්ම පිළිගැනීම හා පැවිදි උපසම්පදා ලැබීම, භික්ෂුණී ශාසනය ආරම්භ වීම, සද්ධර්මයාගේ චිරස්ථිතිය, භික්ෂුණීන්ගේ පාමොක් උපදෙසීම, ඡබ්බග්ගියභික්ෂුණීන්ගේ අනාචාර ක්‍රියා, අවන්දිය පුද්ගලයෝ, භික්ෂුණීන්ට අවවාද දීම, භික්ෂුණීන්ගේ විවිධ අසංවර ක්‍රියා, කලූරිය කළ භික්ෂුණී ආදීන්ගේ පිරිකර පිළිබඳ අයිතිය, භික්ෂුණීන්ට අවශ්‍ය විශේෂ පරිෂ්කාර අනුදැනීම, භික්ෂුණීන්ගේ උපසම්පදාව, පවාරණය, දූතෙන උපසම්පදා, ගැබ්ගැනීම හා දරුවන් ලැබීම, ස්නානය පිළිබඳ ශික්ෂාවෝ මෙහි වෙති.
11. පඤ්චසතිකක්ඛන්ධකය:— සුභද්ද වුඩ්ඪපබ්බජිතගේ ප්‍රවෘත්තිය, සංගායනාවට භික්ෂූන් තෝරා ගැනීම, ආනන්ද හිමියන් රහත් වීම, මහාකාශ්‍යප තෙරුන් වහන්සේ ප්‍රධාන සංඝයා රජගහ නුවර වස් වසා ධර්මවිනය සංගායනා කිරීම, ඛුද්දානුඛුද්දක ශික්ෂාපද පිළිබඳ සාකච්ඡා, ආනන්ද හිමියන්ට භික්ෂූන් වහන්සේ දොස් නැඟීම, පුරාණ තෙරුන්ගේ ප්‍රවෘත්තිය, උදෙන රජු හා ආනන්ද හිමියන්ගේ සාකච්ඡාව, ඡන්න තෙරුන්ට බ්‍රහ්මදණ්ඩය පැනවීම යන කරුණු මෙහි සඞ්ග්‍රහ වෙති.
12. සත්තසතිකක්ඛන්ධකය:— වජ්ජිපුත්තක භික්ෂූන් විසාලාවෙහි අකැප දශවස්තු ප්‍රකාශ කිරීම, යස තෙරුන් එහි වැරදි දැක්වීම, වජ්ජිපුත්තක භික්ෂූන් යස තෙරුන්ට පටිසාරණීය කර්මය කිරීම, අනුදූතයා සමඟ ගොස් යස තෙරුන් විසාලා වැසියන්ට කරුණු දැක්වීම, යස තෙරුන්ට උක්ඛෙපනීය කර්මය කරන්ට සූදානම් වූ විට උන්වහන්සේ අහසින් කොසඹෑ නුවරට වැඩීම, එහි දී පාවෙය්‍යක හා අවන්ති-දක්ඛිණාපථක භික්ෂූන්ට පණිවිඩ යැවීම, යස තෙරුන් සාණවාසී සම්භූත තෙරුන් හමු වීම, පාවෙය්‍යක හා අවන්ති-දක්ඛිණාපථක භික්ෂූන් අහොගඞ්ග පර්වතයට රැස්වීම, රෙවත තෙරුන් හමුවී දශවස්තුව විමසීම, පාචීනක පාවෙය්‍යක භික්ෂූන් අතුරෙන් ධර්මවාදීහු කවරහු දැ’යි සාළ්හ තෙරුන් විමසා බැලීම, සුජාතාවාස බ්‍රහ්මයකුගේ ප්‍රකාශය, වජ්ජිපුත්තක භික්ෂූන් රෙවත තෙරුන්ගේ උපස්ථායක උත්තර තෙරුන්ට (අල්ලස් වශයෙන්) පිරිකර දී රෙවත තෙරුන් පක්ෂ කරගැනීමට වෑයම් කිරීම, සංඝයා රැස්වී අධිකරණ විනිශ්චයට සූදානම් වීම, සබ්බකාමී තෙරුන්