06-VP-Chullavagga Pali 1.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1977
- මුද්‍රිත වර්ෂය :
- 1977
- පිටු ගණන :
- 457
- බාගත කිරීම් ගණන :
- 1,904
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 89 MB
වෙනත් සංස්කරණ
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවේ 5 වන ග්‍රන්ථය (විනය පිටකයේ සතරවන ග්‍රන්ථය) ලෙස පළ වූ චුල්ලවග්ගපාළි - I කාණ්ඩය මෙහි අන්තර්ගත වේ. මෙහි පාලි පාඨය සහ ඊට අනුරූප සිංහල පරිවර්තනය මුහුණට මුහුණ ලා මුද්‍රණය කර ඇත.
මෙහි සිංහල පරිවර්තනය හාල්දඬුවන ශ්‍රී ධම්මරක්ඛිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද අතර, විනය පිටක ශෝධක මණ්ඩලය සහ ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය මඟින් සංස්කරණය කරන ලදී. නැතිවූ කොටස් අග්ගමහාපණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක හිමියන් විසින් නැවත සකස් කර දෙන ලදී. බුද්ධ ශ්‍රාවකයන්ගේ කාය-වාක් සංවරය සහ ශීල පාරිශුද්ධිය විවරණය කෙරෙන විනය නීති මෙහි විස්තර වේ.
මෙම ප්‍රථම කාණ්ඩයට චුල්ලවග්ගයේ මුල් ඛන්ධක සතර ඇතුළත් වේ:
- කම්මක්ඛන්ධකං
- පාරිවාසිකක්ඛන්ධකො
- සමුච්චයක්ඛන්ධකං
- සමථක්ඛන්ධකං
මෙම කෘතිය බු.ව. 2520 (ක්‍රි.ව. 1977) දී ශ්‍රී ලංකා ජනරජයේ අනුග්‍රහයෙන් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන ලද්දකි.
සංස්කාරක නිවෙදනය
ත්‍රිපිටක පර්යාප්තියෙහි විනය පිටකයට අයත් ග්රන්ථ පඤ්චකයෙන් සතර වැනි ග්‍රන්ථය වූයේ චුල්ලවග්ගපාළි යයි. එය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථමාලාවෙහි පස් වැනි ග්‍රන්ථය ලෙස සම්මත වැ ඇත. තෙවැනි ග්‍රන්ථය වූ මහාවග්ගපාළිය ප්‍රථම – ද්විතීය භාග වශයෙන් දෙකක් ලෙස මුද්‍රණය කරවන්නට සිදුවූ හෙයිනි.
දෙදහස් පන්සියයේ බුද්ධ ජයන්ති අනුස්මරණ උත්සවය නිමිත්ත කොට ගෙන ශ්‍රී ලංකා බෞද්ධ මණ්ඩලය මගින් ආරම්භ කළ ත්‍රිපිටක ධර්මය සිංහල භාෂාවෙන් තබාලීමෙහි ලා විනය පිටකයෙහි චුල්ලවග්ගපාළි සිංහල පරිවර්තනයට ආරාධනා ලැබුවාහු පැල්මඩුල්ලේ පුරාණ රජමහා විහාරාධිපති හාල්දඬුවන ශාස්ත්‍රසූරී ශ්‍රී ධම්මරක්ඛිතාභිධාන සබරගමු දිශාවෙහි ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යැ. උන්වහන්සේ විසින් යථා කාලයෙහි එම සිංහල පරිවර්තනය නිමහම් කොට ත්‍රිපිටක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද්දේ ය. ත්‍රිපිටක මණ්ඩලයේ සම්මතය පරිදි කෙසෙල්වතුගොඩ රතනජෝති නායක ස්ථවිරපාදයන් වහන්සේ යැ, හාල්දඬුවන ධම්මරක්ඛිත නායක ස්ථවිරපාදයන් වහන්සේ යැ, කඩවැද්දුව සිරිනිවාස නායක ස්ථවිරපාදයන් වහන්සේ යැ යන විනය පිටක ශෝධක මණ්ඩලයේ මහ තෙරවරුන් විසින් පාඨශෝධන පූර්වක වැ සිංහල පරිවර්තනය ද සංස්කරණය කරන ලද්දේ විය.
සංස්කරණය කරන ලද සිංහල පරිවර්තනය සහිත චුල්ලවග්ගපාළිය 1962 දී පමණ මුද්‍රණය සඳහා එක්තරා මුද්‍රණාලයකට භාර දෙන ලදුව පිටු 16 කින් යුත් ප්‍රස්තාර දෙවිස්සක් පමණ මුද්‍රණය වූ පසු කවර හේතුවකින් හෝ මුද්‍රණය නැවතිණ. ලියා ශුද්ධ කොට දෙන ලද අත් පිටපත් ද ලබාගත නො හැකි විය. එහෙයින් සමථක්‍ඛන්‍ධකයෙහි පටන් නැවත පරිවර්තන කිරීමේ භාරය ද ත්‍රිපිටක මණ්ඩලය කෙරෙහි පැවරිණ, ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ අනුශාසක, අග්ගමහාපණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමීන්ද්‍රයෝ වැනසී ගිය කොටස නැවත පරිවර්තන කොට මුද්‍රණයට සකස් කළහ. තවද මුද්‍රණ අවස්ථාවෙහි වූ පැන නැඟුණු බාධක රැසෙකි. ඒ ද, සහකාර අධ්යක්ෂ තැන්පත් සෝමපාල ජයවර්ධන මහතාණන්ගේ කාලානුරූප ක්‍රියා සංවිධානය ද, දෙහිවල ‘තිසර’ මුද්රණාලයාධිකාරී ඇස්. ඩී. සපරමාදු මහතාණන්ගේ සහයෝගය ද නිසා චුල්ලවග්ගපාළි - සමථක්ඛන්ධකය අවසාන කොට ඇති ඛන්ධක සතර එහි පළමු වන කාණ්ඩය ලෙස පළ කරවන්නට හැකි විය.
වර්තමාන ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ ස්ථවිරවරුන් විසින් නො පමාව මෙහි ශෝධ්යපත්ර, සංඥා සූචි, ශබ්ද සූචි ආදිය සකස් කිරීමෙන් මේ ග්රන්ථ භාගය ශාසනාර්ථීන් හමුවෙහි තබන්නට හැකි වූ බව පවසන අතර මෙම අධිකාරයෙහි නියුක්ත වූ හැම දෙනා ඓහික පාරත්රික සුබභාගී වෙත්වා’යි ආශංසනය කරම්හ.
මේ වගට, ලබුගම ලංකානන්ද ස්ථවිර ප්‍රධාන සම්පාදක
ලබුගම ලංකානන්ද ස්ථවිර, 1977, ජූලි 10, ත්‍රිපිටක කාර්යාලය, මහානායක වාරිකාරාමය, 115, විජේරාම මාවත, කොළඹ 7.
සංඥාපනය
විනය:
විභංග ඛන්ධක පරිවාර විසින් ත්‍රිවිධ වූ විනය පාළිය මහාකාශ්‍යප ස්ථවිරාදි ප්‍රථම මහාසංගීතිකාරක මහ රහතුන් විසින් ‘පාරාජිකාපාළි පාචිත්තියපාළි මහාවග්ගපාළි චුල්ලවග්ගපාළි පරිවාරපාළි’ යයි ග්රන්ථ පඤ්චකයකට නඟා සංගායනා කරන ලද්දේ ය. එහිදු මහාවිභංග හෙවත් භික්ඛුවිභංග හා භික්ඛුනීවිභංග නම් වූ උභය විභංගය පරිජි, පචිති දෙපොත් හි බැසැගෙන සිටී. මහාවිභංගයෙහි ‘පාරාජික සංඝාදිසේස අනියත නිස්සග්ගිය’ යන එකුන්පණස් ශික්ෂාපදයන් පිළිබඳ ‘නිදාන පුග්ගල වත්ථු පඤ්ඤත්ති පදභාජන විනීතවත්ථු’ ආදිය ඇතුළත් විනයප්රදේශය පාරාජික කාණ්ඩය මුල් කොට ඇති හෙයින් ‘පාරාජික පාළි’යයි ද, පාචිත්තියකාණ්ඩය පටන් භික්ඛුවිභංගය හා භික්ඛුනීවිභංගය ද ඇතුළත් කොටස පාචිත්තියකාණ්ඩය ආදි කොට ඇති හෙයින් ‘පාචිත්තියපාළි’ යයි ද ග්රන්ථ දෙකක් වශයෙන් බෙදා ඇත. ආභිසමාචාරික ශීලය ප්‍රකාශ කරන අනුඥාත ශික්ෂාපදයෙන් යුත් පාළි ප්‍රදේශය ‘ඛන්ධක’ නම් වෙයි. ඒ ද බොධිකථායෙන් ආරම්භ වූ මහාඛන්ධකය ආදි කොට ඇති දෙවිසි ඛන්ධකයෙකින් හෙබියේය. එහි කොසම්බියක්ඛන්ධකය අවසන් කොට ඇති ඛන්ධක දසය ‘මහාවග්ගපාළි’ යයි ද, කම්ම ඛන්ධකයෙහි පටන් සත්තසතිකක්ඛන්ධකය අවසන් කොට ඇති දොළොස් ඛන්ධකය ‘චුල්ලවග්ග පාළි’ යයි ද ග්රන්ථ දෙකක් වශයෙන් බෙදා ඇත. ‘පරිවාරපාළිය’ වූ කලි මහාවිභංගයෙහි භික්ෂූන් සඳහා පනවන ලද දෙසිය විස්සක් ශික්ෂාපද යැ, භික්ඛුනීවිභංගයෙහි තුන්සිය සතරක් ශික්ෂාපද යැ යන උද්දෙසපරියාපන්න වූ පන්සිය සුවිසි ශික්ෂාපද ගෙන කත්‍ථපඤ්ඤත්තිවාරය ආදි කොට ඇති ආපත්තිවාර අටෙක, එබඳු වූ මැ පච්චයවාර අටෙකැයි මහාචාර සොළොසකින් ද යළි සමුට්ඨාන සමථභේද දැක්වීමෙන් ද උභතෝවිභංගය පරිවාරිත වැ ඇත. ඛන්ධක පෘච්ඡායෙහි පටන් ශේෂ දෙවිසි ඛන්ධකයෙහි ආ විනය පරිවාර යයි. මෙසෙයින් බුදුරදුන්ගේ ආඥාදෙසනා සංඛ්‍යාත විනය පිටකයට කරනලද මහාප්‍රකාරය පරිවාර දෙශනාව යි. උභතො විභංගයෙහි ප්‍රඥප්ත ශික්ෂාපද සියල්ල ද සත්තාධිකරණ සමථය ද සංග්‍රහ කොට භික්ඛුපාතිමොක්ඛ භික්ඛුනීපාතිමොක්ඛ වශයෙන් දෙපරිදිව සිටි ග්‍රන්ථය ‘පාතිමොක්ඛ’ නම් විය. උභයමාතිකා නමුදු මේ මැයි.
චුල්ලවග්ගපාළි:
මෙහි ප්රස්තුත වූ ‘චුල්ලවග්ගපාළිය’ වනාහි කම්මක්ඛන්ධකය පටන් කොට සත්තසතිකක්ඛන්ධකය තෙක් දොළොස් ඛන්ධකයෙන් සංගෘහිත වූ ග්රන්ථ ප්‍රදේශය යි. එහි පළමුවන කම්මක්ඛන්ධකයෙහි: 1. සැවැත්නුවර විසු සවග මහණුන් කෙරෙහි වූ පණ්ඩුක ලොහිතක මහණුන් සඳහා භණ්ඩනකාරක කලහකාරකාදි හේතුවෙන් පනවන ලද තජ්ජනීය කර්මය ද, 2. ආපත්තිබහුල වූ ගැහින් හා අනනුලෝමික සංසර්ග ඇති සෙය්යසක මහණහුට පනවනලද නිස්සය කර්මය ද, 3. සවග මහණුන් අතුරෙන් කිටාගිරියෙහි විසූ අස්සජි පුනබ්බසුක මහණුන් සඳහා කුල දූෂණහේතුවෙන් පනවන ලද පබ්බාජනීය කර්මය ද, 4. මච්ඡිකාසණ්ඩයෙහි විසූ සුධම්ම තෙරුන් අරභයා චිත්තගෘහපතියානට අවමන් කිරීම් හේතුවෙන් පනවන ලද පටිසාරණීය කර්මය ද, 5. කොසඹෑ නුවර දී ඡන්න තෙරුන් සඳහා ඇවතට පැමිණ ඇවත් නො දැකීම හේතුවෙන් පනවන ලද ඇවත් නොදැක්මෙහි උක්ඛෙපනීය කර්මය ද, 6. ඡන්න තෙරුන් සඳහා මැ පනවන ලද ඇවතට පිළියම් නොකිරීමෙහි උක්ඛෙපනීය කර්මය ද, 7. අරිට්ඨ මහණු සඳහා පනවන ලද පාපදෘෂ්ටි නො හැරීමෙහි උක්ඛෙපනීය කර්මය ද යන සත් වැදෑරුම් කර්ම විභාග කරන ලද්දේ යැ.
දෙවැනි පාරිවාසිකක්ඛන්ධකයෙහි පාරිවාසිකවත්ත, පරිවාස සමාදානවිධි, මූලායපටිකස්සන, මානත්ත, අබ්භාන යන විනය කර්මයන් පිළිබඳ වත් හා සමාදානවිධි ආදිය වදාරන ලද්දේය.
තුන්වැනි සමුච්චයක්‍ඛන්‍ධකයෙහි පටිච්ඡන්නාපටිච්ඡන්න සංඝාදිසෙසාපත්තීන් පිළිබඳ පරිවාසදාන, මානත්තදාන, අබ්භාන යන විනය කර්මයන් පිළිබඳ සියලු විභාග වදාරන ලද්දේ වෙයි.
සතරවැනි සමථක්‍ඛන්‍ධකයෙහි විවාදාධිකරණ, අනුවාදාධිකරණ, ආපත්තාධිකරණ කිච්චාධිකරණ, යන චතුර්විධ අධිකරණ හා ඒ ඒ අධිකරණය සම්මුඛාවිනය, සතිවිනය, අමූළ්හවිනය, පටිඤ්ඤාතකරණ, යෙභුය්යසිකා, තස්සපාපිය්යසිකා, තිණවත්ථාරක, යන සත් වැදෑරුම් සමථයෙන් සංහිඳුවාලන අයුරු වදාරනලද්දේ වෙයි.
චුල්ලවග්ගපාළියෙහි මේ පළමුවන කාණ්ඩයෙහි කම්මක්ඛන්ධකාදි සතර ඛන්ධකය පමණක් ඇතුළත් කළෙම්හ. ඛුද්දකවත්ථු ආදි ඛන්ධකයන් පිළිබඳ හැඳින්වීම දෙවන කාණ්ඩයෙහි ලා පවසම්හ. භික්ෂූන් වහන්සේගේ කාය වාක් සංවරය සඳහා ද ආපත්ති ප්රතික්රමාදියෙන් ශීලපාරිශුද්ධිය සඳහා ද චුල්ලවග්ගපාළියෙහි වදාළ ඒ ඒ විනය ප්‍රදේශයන් මැනවින් දැන ඉගෙන ස්වාර්ථ පරාර්ථ සාධනයෙහි උත්සුක වෙත්වා’යි ආශංසනය කරම්හ.
මේ වගට, ලබුගම ලංකානන්ද ස්ථවිර, ත්‍රිපිටක මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක.
1977. 7. 10 මොල්ලිගොඩ ප්‍රවචනොදය පිරිවෙන.
ලබුගම ලංකානන්ද ස්ථවිර, 1977. 7. 10 මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන.