අභිධර්‍මාත්‍ථ සඞ්ග්‍රහ විස්තරාර්‍ත්‍ථ වර්‍ණනාව - පොළොන්නරුවේ සාරිපුත්ත හිමි 1950.pdf

කතෘ :
පොළොන්නරුවේ සාරිපුත්ත හිමි
ප්‍රකාශිත වර්ෂය :
1950
මුද්‍රිත වර්ෂය :
1950
පිටු ගණන :
287
බාගත කිරීම් ගණන :
4
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-14
ගොනුවේ ප්‍රමාණය :
62 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

වෙනත් සංස්කරණ

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 144

අභිධර්මාර්ථ සංග්‍රහ විස්තරාර්ථ වර්‍ණනාව යනු අනුරුද්ධ මහාථෙරයන් වහන්සේ විසින් රචිත අභිධර්මාර්ථ සංග්‍රහය සඳහා පොළොන්නරු යුගයේ වැඩවිසූ ශ්‍රී ශාරීපුත්‍ර මහා සංඝරාජ මාහිමියන් විසින් සම්පාදිත ප්‍රකට පුරාණ සිංහල සන්නයයි.

මෙම කෘතිය පළමුවරට ක්‍රි.ව. 1897 දී කොටවෙහෙරේ ශ්‍රී පඤ්ඤාමොලි තිස්ස අමරපුර නිකායේ මහානායක ස්ථවිරයන් වහන්සේගේ සංස්කරණයෙන් ප්‍රකාශයට පත් කරන ලද අතර, අනතුරුව 1916 දී දෙවන සංස්කරණයද නිකුත් විය. මෙම සිව්වන සංස්කරණය (1950) උන්වහන්සේගේ අනුශාසනා පරිදි උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය පණ්ඩිත වලගෙදර සොමාලොක තිස්ස නායක ස්ථවිරයන් වහන්සේ විසින් පුස්කොළ පිටපත් හා විභාවිනී ආදී ටීකා සමග සසඳා බලා පරිපූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කර ප්‍රකාශයට පමුණුවන ලද්දකි.

අභිධර්මාර්ථ සංග්‍රහයේ සියලු පරිච්ඡේද 9 ම මෙහි විස්තරාර්ථ සහිතව ඇතුළත් වේ:

  • චිත්තසංග්‍රහ විභාග නම්වූ ප්‍රථම පරිච්ඡෙදය
  • චෛතසික සංග්‍රහ නම්වූ ද්විතීය පරිච්ඡෙදය
  • ප්‍රකීර්‍ණක සංග්‍රහ විභාග නම්වූ තෘතීය පරිච්ඡෙදය
  • වීථිසංග්‍රහ විභාග නම්වූ චතුර්ථ පරිච්ඡෙදය
  • වීථිමුත්ත සංග්‍රහ විභාග නම්වූ පඤ්චම පරිච්ඡෙදය
  • රූප සංග්‍රහ විභාග නම්වූ සවෙනි පරිච්ඡෙදය
  • සමුච්චය සංග්‍රහ විභාග නම්වූ සත්වන පරිච්ඡෙදය
  • ප්‍රත්‍යය සංග්‍රහ විභාග නම්වූ අෂ්ටම පරිච්ඡෙදය
  • කර්මස්ථාන විභාග සංග්‍රහ නම්වූ නවම පරිච්ඡෙදය

මෙම සංස්කරණය කොළඹ වැල්ලවත්තේ ඇම්. ඇස්. සොමරත්න සහ ආර්. ජී. ඇස්. අමරසේකර යන මහත්වරුන්ගේ ප්‍රකාශනයක් ලෙස 1950 දී මුද්‍රණය කරවා ඇත.

හැඳින්වීම.

සුවිමල විපුල ප්‍රඥාපාටව ජනකවූ පරමාත්‍ථ දෙශනා නමැතිද අභිධර්‍මපිටක දෙශනාව ප්‍රථමයෙහි පෙළ අටුවා පමණකින් අධ්‍යයන අධ්‍යාපන දෙක්හි පැවැත්මෙන් පවත්නා අතර අභිසඞ්ඛ්‍යාවතී බුද්ධඝොෂ මාහිමියාණන් වහන්සේ හා සමානකාලීනවූ සොළීරට උරග පුරනිවාසි ආචාර්‍ය්‍ය බුද්ධදත්ත මහාස්වාමිපාදයන් වහන්සේ විසින් පළමුකොට ආභිධර්මික ශිෂ්‍යානුග්‍රහයෙන් ග්‍රහණ ධාරණයෙහි පහසුලෙස අභිධම්මාවතාර නම් සංක්‍ෂෙප ප්‍රකරණය කරන ලද්දේය. ඒ වනාහි උන්වහන්සේ විසින් විනය පිටකයට කරන ලද විනය විනිශ්චය නම් ප්‍රකරණය මෙන් ම ශාසනික ආධුනිකයන්හට විපුල ප්‍රඥා පාටවය ගෙන දෙමින් පැවැත්තේ නමුත් එයින් පසු කාලයෙහි ඊටත් වඩා සුඛාවබොධ ක්‍රමයෙන් අතිසංක්‍ෂිප්තවූ අභිධර්‍මත්ථ සංග්‍රහ නම් ප්‍රකරණය ලක්දිව මහා විහාර වංශික ආචාර්ය අනුරුද්ධ මහා ස්වාමිපාදයන් වහන්සේ විසින් කරන ලද්දේය. ඒ මේ ග්‍රන්ථය එම ආචාර්යපාදයන් කළ නාමරූප පරිච්ඡෙද, පරමත්ථ විනිශ්චය යන සෙසු අභිධර්ම ප්‍රකරණයන්ටද වඩා ග්‍රහණ ධාරණ දෙක්හි භාවිත බවට පැමිණියේය. ඒ හෙයින් සෙසු ප්‍රකරණයකට නොමැති තරම් නොයෙක් ව්‍යාඛ්‍යානද කලින් කල මේ ග්‍රන්ථය සම්බන්ධව කරන ලද්දේය. මීට අවුරුදු අටසිය ගණනකින් ඔබ්බෙහි කරනලදැයි අනුමානයෙන් සැලකිය යුතුවූ කාලප්‍රමාණය ඇති ඒ මේ ප්‍රකරණයට පොළොන්නරු පුර මහළු පැරකුම්බා මහරජාණන් කාලයෙහි දිඹුලාගල මහාකාශ්‍යප සංඝරාජොත්තමයන් වහන්සේ විසින් කරන ලද්දයි සැලකෙනලද පුරාණ ටීකාවද මෙම අභිධර්‍මාත්‍ථසංග්‍රහ සන්නයද, අභිධර්‍මාත්‍ථ විභාවිනී නම් විස්තර ටීකාවද, සංක්‍ෂෙපවර්‍ණනා නම් අභිනව ටීකාවද යන ව්‍යාඛ්‍යාන සතර මෙරට වාසින්හට දුර්ලභ නොවෙති. සියම් බුරුම දෙශාදියෙහි එයින් මෑත කාලයෙහිදු සෙසුත් ව්‍යාඛ්‍යාන පදයොජනා උපදවනලද බව පෙනේ. යථොක්ත ව්‍යාඛ්‍යාන සතරෙන් සංක්‍ෂෙප වර්‍ණනාව හැර ඉතිරි තුන් ව්‍යාඛ්‍යානයෝම මේ ලක්දිවෙහි කරන ලදහ. එයින් පුරාණ ටීකාවත් ඇසුරුකොට මේ සිංහල සන්නය ලියනලදබව හැඟේ. එබැවින් විභාවිනී ආදි සෙසු ව්‍යාඛ්‍යාන වලට වඩා සන්නය පුරාතනය, ඒ එසේමැයි. මහාසාරාත්‍ථ දීපනී විනය ටීකා, පරමාර්‍ථමඤ්ජුෂා, අංගුත්තරටීකා, පඤ්චිකා

ලංකාර චන්ද්‍රපඤ්චිකාලංකාර, යනාදි ප්‍රශස්ත මහා ග්‍රන්ථයන් කල ආචාර්‍ය්‍ය ශාරීපුත්‍ර සංඝරාජ මාහිමියන් වහන්සේ විසින් මේ සිංහල සන්නයද තච්ඡිෂ්‍ය මහා ස්ථවිර කෙනෙකුන් විසින් විභාවිනීටීකාවද ලක්දිව ආචාර්ය්‍යපරම්පරාවෙන්ම ධර්‍මවිනය ඉගෙන අරිමද්දන පුරයට වැඩි ඡප්පටාභිධාන සද්ධම්මජොතිපාල මහාස්ථවිරයන් වහන්සේ විසින් සංක්‍ෂෙප වර්‍ණනා නම් ටීකාවද කරන ලද බැව් ඒ ඒ ග්‍රන්ථයන්හිම කියන ලද්දේය.

මෙයින් විභාවිනී ටීකාව බොහෝ සෙයින් පුරාණ ටීකාව හා සිංහල සන්නයත් ඇසුරු කොට ලියන ලද්දකි. එහි කිසිතැනෙක අමුතු විස්තරද ඇතුළත් කෙරෙමින් කිසිතැනෙක සන්නයෙහි විස්තර කලතැන් සංක්‍ෂෙපද කරනලද්දේය. සංක්‍ෂෙප වර්‍ණනාව සන්න ටීකාවන් ඇසුරු කෙරෙමින් එහි විස්තර නොවූ සමහර තැන් වර්‍ණනා කොට ලියනලද්දකි. මෙසේ හෙයින් මේ ටීකා තුනද සිංහල සන්නයද යන ව්‍යාඛ්‍යාන සතරම මෙකල්හි අභිධර්‍මත්‍ථසංග්‍රහය පුහුණු කරන ආධුනිකයන්හට අවශ්‍යයෙන් උවමනා වේ. ඒ මේ ග්‍රන්ථ අතුරෙන් අභිධර්‍මාත්‍ථසංග්‍රහ මුල ග්‍රන්ථයද ටීකාත්‍රයද සිංහලාක්‍ෂරයෙන් හා බුරුම අකුරෙන්ද මුද්‍රිතව තිබෙන හෙයින් සංශොධිතවූ ඒ පොත් දැනට නිරායාසයෙන් ලැබේ. පුරාතන සන්නපොත එපමණ සුලභද නොව ලිපිදොෂයෙන් දූෂිතවද පැවති හෙයින් ශාසනස්ථිතිකාමී ශ්‍රද්ධාබුද්ධිසම්පන්න කිපදෙනෙකුන් විසින් සමාරාධිතවූ අපි අප ආවාසස්ථානම වලිකොට අභිනවාරාම විහාරාධිපතිව වැඩ විසූ අසදෘශ ග්‍රන්ථකර්තෘවරයෙක්වූ අති ගෞරවාර්‍භ අමරපුර ගණපාමොක්ඛාචරිය අරියවංසාලංකාර විමලසාරතිස්සාභිධාන අමරපුරනිකායේ මහානායක ස්ථවිර ස්වාමිපාදයන් වහන්සේගේ ශිෂ්‍ය කෙනෙක්වු මීගමුවේ සුගතා රාමාධිපතිව වැඩවිසූ ගෞරවාර්භ ආචාර්‍ය්‍ය මුල්ලෙවංශාවතංස ධම්ම රතනතිස්ස මහාස්ථවිරපාදයන් වහන්සේගේද විශේෂාධාර ඇතිව විරුගත ප්‍රාමාදික ලිපිදොෂ නිරාකරණ වශයෙන් සංශොධනය කොට යළිත් අප ආවාසස්ථානම් විදර්ශනශෙඛරාභිධාන පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපතිව වැඩවිසූ අතිගෞරවාර්භ ත්‍රිපිටක වාගීශ්වරාචාර්‍ය්‍ය උපාධ්‍යාය ධුරන්ධර රත්මලානේ ධර්‍ම කීර්ති ශ්‍රී ධර්මාරාමාභිධාන කොළඹ හලාවත දෙදිශාවේ ප්‍රධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් ලබනලද සමාදරප්‍රතිග්‍රහණයද ඇතිව, වර්‍ෂ 1897 න්හිදී ප්‍රථම වාරයෙහි ශුද්ධකොට ප්‍රසිද්ධියට පමුණුවාලීමු.

අප විසින් සංශොධිතවූ ඒ මේ ග්‍රන්ථය සූනුවම නිමාවෙතියි සිතමින් අවුරුදු කීපයක සිට ආධුනිකයන්හට අවශ්‍යව පැවැති මේ ග්‍රන්ථය ප්‍රථමවර මුද්‍රණයෙහිදී කිසිතැනක ශෙෂව තුබූ ලිපිදොෂාංශද දුරු කෙරෙමින් මෙය පරිශීලනය කරන්නවුන්ගේ විශේෂ ප්‍රයෝජනය පිණිස අභිධර්‍මාත්‍ථසංග්‍රහ මූල ග්‍රන්ථය ද මීටම සුදුසු පරිද්දෙන් ඇතුලත් කිරීමෙන් ද්විතීයවාරයෙහි සංස්කරණය අත්‍යර්‍ත්‍ථයෙන් සාර්‍ථකවන සේ මුද්‍රණයට පමුණුවා ලීමු.

තදීය මුද්‍රණයෙහි වර්‍ණයොජකාදීන්ගේ ප්‍රමාදයෙන් ඇතිවූ ඌනතාදිය සම්පූර්‍ණකරනු පිණිස ලියනලද ශුද්ධිපත්‍රයක් හා සමග මෙම ග්‍රන්ථය ද්විතීය වාරයෙහිද විද්‍යාලංකාර පරිවෙණාධිපතිව වැඩවිසූ මාහිමියාණන් වහන්සේට පිළිගන්වා ලබනලද සමාදර ප්‍රතිග්‍රහණය ඇතිව, වර්ෂ 1916 දී ප්‍රසිද්ධියට පමුණුවනලදී.

මෙසේ ද්විතීය සංස්කරණයෙන් මුද්‍රාපිතවූ ග්‍රන්ථයද නිමවූ හෙයින් මේ තෘතීය සංස්කරණය ශුද්ධකොට නිසිසේ ප්‍රකාශයට පත්කෙළෙමු. තවද අපගේ අනවකාශාදිය නිසා ශොධ්‍යපත්‍ර සම්පාදනාදි කටයුතු අපගේ ප්‍රමුඛ ශිෂ්‍යවූ පණ්ඩිත වලගෙදර සොමාලොකතිස්ස තැන ලවා කරවනලද බවත් ශාසන ගෞරව පූර්වකව මෙයින් ප්‍රකාශකරම්හ.

අමරපුර ගණපාමොක්ඛාචරිය ධම්මකිත්ති සිරි කොටවෙහෙරේ පඤ්ඤාමොලිතීස්සාභිධාන අමරපුරනිකායේ මහා නායක ස්ථවිර. 2469
—— සැප්තැම්බර් මස 21 දින රන්දොඹේ
1926 මහාචෙතිය පිරිවෙනේදීය.

අභිධර්‍මාත්‍ථ සඞ්ග්‍රහ විස්තරාර්‍ත්‍ථ වර්‍ණනා චතුර්‍ථ සංස්කරණය

රන්දොඹේ මහාචෙතිය පරිවෙණාධිපති ව වැඩ විසූ සච්ඡිද්‍රානන්දාභිවන්දිත සකල පර්‍ය්‍යාප්තිධර පරම පූජ්‍ය අමරපුරගණ පාමොක්ඛාචරිය ධම්මකිත්ති සිරි කොටවෙහෙරේ පඤ්ඤාමොලි තිස්සාභිධාන අස්මදාචාර්‍ය්‍යොත්තම අමරපුර නිකායේ මහානායක මාහිමියාණන් වහන්සේ විසින් ප්‍රථමයෙන් සංශොධිතවූ අභිධර්මාත්‍ථ සඞ්ග්‍රහ විස්තරාර්‍ත්‍ථවර්‍ණනා තෘතීය මුද්‍රණය ද වහා නිමිවිය.

යථොක්ත මාහිමියාණන් වහන්සේ විසින් මෙහෙයවන ලද අපවිසින් මේ චතුර්ථ සංස්කරණය 1939දී ආරම්භ කරන ලදුව උඩරටින් සපයාගත් අභිධර්‍මාත්‍ථසඞ්ග්‍රහ සන්න පුරාණ පුස්කොළ පිටපත් කිපයක් හා විභාවිනීටීකා, පරමත්‍ථදීපනීටීකා දිය සමගද සසඳා බලමින් යථොක්ත මාහිමියාණන් වහන්සේගේ උපදෙශානුශාසනයෙන් ඇතැම් තැන් සංශොධනයට ද පත්කරමින් මේ චතුර්‍ථ සංස්කරණය අත්‍යර්ත්‍ථයෙන් සාර්‍ථකවන සේ සිදුකරන ලදි.

අප පිරිවෙන් පාලක දායක සභාවේ හිතවත් උසස් දායක මහතුන්ව සිටිමින් බොහෝ ලොකශාසනොපකාරී කටයුතු කර දිවි සපල කළ පින්වතුන් දෙපළක්වු කීර්තිශෙෂ අම්බලන්ගොඩ කන්දෙගොඩ “චන්දන,, මන්දිරයේ විසූ ආර්. ඇම්. ද. සිල්වා මුද්‍රාකාර මහත්මයා හා අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ “ඇඩී මන්ඩ,, නිවසේ විසූ පී. ජනාරිස් ද සිල්වා මිනුන්දෝරු මහත්මයාද එහි ප්‍රථම භාගය මුද්‍රණය කරවන ලදි. අධිකමිලගෙවූද කඩදාසි සපයාගැනීම එකල දුෂ්කරවූයෙන් ද්විතීය භාගමුද්‍රණය කලක් නතරකරවන්නට විය. එහෙත් ද්‍රව්‍යයන්හි මිල ගණන් අඩුවූයේ නොවුද ද්විතීය භාගය මුද්‍රණය නොකොට මෙබඳු ධර්‍මපුස්තකයක් සම්පූර්‍ණ කොට පළකරවීම ඉතාමත් අවශ්‍යව තිබේයයි කියමින් මොරගැසීම් පැතිරී යාමෙන් මෙසේ මේ ද්විතීය භාග මුද්‍රණය මේ වර්‍ෂයේ කරවන්නට සිදුවිය. ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගණන් පාලක මණ්ඩලයේ ප්‍රධාන පාලකවරයෙකු කොළඹ වැල්ලවත්තේ ශ්‍රී වික්‍රම පාරේ අංක 65 දරන නිවසේ පදිංචි බෞද්ධානුප්‍රවර්තකයෙක් වූ ඇම්. ඇස්. සොමරත්න මහත්මයා හා අම්බලන්ගොඩ මාදම්පේ අමරගිරි නිවසේ තපොනිධි ආර්. ජී. ඇස්. අමරසේකර වෙදමහත්මයාද කරන ලද ආධාරය දිවියෙන් මෙසියල්ල ප්‍රකාශයට පත් කරලීමට අතිශයොපකාරීවූ බව කෘතඥතා පූර්වකව සඳහන් කරමු.

අපපිරිවෙන් පාලක සභාවේ සභාපතිවරයෙක්වූද, පිරිවෙන් දියුණුවට හිතකාමි වූද, වලපිටි බේරතුඩුවේ විසූ කීර්තිශෙෂ හේතුමුනි නයනිස් ද සිල්වා අධිකාරී දායක මහතා හා එම මැතිනියගේ ජාත පුත්‍රවූ ද, සි. ඇම්. ජී. යන ගරු නාමො පලක්‍ෂිත එච්. ඒ. ද සිල්වා ශ්‍රෙෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර තුමන්තුලවූ අකලංක ගුණසම්පත් කෙරෙහි ප්‍රසන්න වූ මෙහි ප්‍රකාශක මහතුන් විසින් මේ මුද්‍රණය එතුමාණන්ට ගෞරවයෙන් පිළිගන්වන ලද බවද සතුටින් කියමු.

මේවර ඒ ප්‍රථම ද්විතීය භාගද්‍වයම එකට යොදා සම්පූර්ණ පොත ඉදිරි පත් කරන්නට ලැබීම ධර්‍මාභිකාමී සත්පුරුෂයන්ගේ ප්‍රීතිවර්ධනය වන්නේමය. මෙසේ මේ සකස්කරවීම් ආදින් ජනිත සියලු පින් යථෝක්ත මාහිමියන් වහන්සේ ප්‍රධාන ආචාර්‍ය්‍ය මුලික දායක දායිකාදි සියලු හිතවතුන්ට බෙදින් අනුමෝදන් කරවම්හ.

මෙහි මුද්‍රණයේ 22 වෙනි පොෂියේ සිට 27 පොෂිය දක්වා කොළඹ යූ. පී. ඒකනායක සහ සමාගමේ මහතුන්ගේ මුද්‍රණාලයෙහිද, එතැන්සිට 35 වන පොෂිය දක්වා ඉඳුරුවේ මුද්‍රණ ශිල්පීන්ගේ මුද්‍රණාලයෙහිද මුද්‍රණය කරවන ලද බව ස්තුති පූර්වකව සඳහන් කරමු.

මෙවගට ශාසනොදය ස්වාමි
වලගෙදර සොමාලොක තිස්ස
1950 නොවැම්බර්මස 12 දින
වැල්ලවත්තේ ශ්‍රී වික්‍රමපාරේ
ගොතමාශ්‍රමයේදීය.