අභිධර්මාර්ථ සංග්රහ විස්තර සන්නය - අනුරුද්ධ හිමි 1926.pdf
- කතෘ :
- අනුරුද්ධ හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1926
- මුද්රිත වර්ෂය :
- 1926
- පිටු ගණන :
- 271
- බාගත කිරීම් ගණන :
- 4
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-14
- ගොනුවේ ප්රමාණය :
- 115 MB
වෙනත් සංස්කරණ
- අභිධර්මාත්ථසංග්රහ සන්නය (අත්පිටපත) 1930
සාරිපුත්ත සංඝරාජ හිමි · 1930
- අභිධර්මාත්ථ සඞ්ග්රහ විස්තරාර්ත්ථ වර්ණනාව - පොළොන්නරුවේ සාරිපුත්ත හිමි 1950
පොළොන්නරුවේ සාරිපුත්ත හිමි · 1950
- අභිධර්මාර්ථ සංග්රහ පුරාණ සන්නය
අනුරුද්ධ හිමි · 1960
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අභිධර්මාර්ථ සංග්රහ විස්තර සන්නය යනු අනුරුද්ධ මහා ස්ථවිරයන් වහන්සේ විසින් රචිත අභිධර්මාර්ථ සංග්රහය සඳහා පොළොන්නරු යුගයේ මහා පරාක්රමබාහු රජු දවස වැඩවිසූ සාරිපුත්ත සංඝරාජ හිමියන් විසින් සම්පාදිත ප්රකට පුරාණ සිංහල සන්නයයි. මෙම මුද්රණය රන්දොඹේ මහාචේතිය පිරිවෙන්පතිව වැඩවිසූ සිරි පඤ්ඤාමොලි තිස්ස මහානායක හිමියන් විසින් සංශෝධනය කර සංස්කරණය කරනු ලැබූ තෙවන මුද්රණයයි.
සංඥාපනයෙහි දැක්වෙන පරිදි මෙහි ප්රථම මුද්රණය රත්මලානේ ධර්මාරාම නාහිමියන්ගේ ද ආධාරයෙන් 1897 දී ද, දෙවන මුද්රණය අභිධර්මාර්ථ සංග්රහ මූල පාඨයද සහිතව 1916 දී ද පළවිය. මෙකී 1926 තෙවන මුද්රණයේදී පෙර පැවති ලිපිදෝෂ ශුද්ධකොට සම්පාදනය කර ඇත. අභිධර්ම පිටකයේ සාරාංශය ඉගෙනුමට හා ඉගැන්වීමට පහසු වන පරිදි සකස් වූ සන්නය පරිච්ඡේද නවයකින් සමන්විත වේ:
- චිත්ත සංග්රහ විභාගය
- චෛතසික සංග්රහය
- ප්රකීර්ණක සංග්රහ විභාගය
- වීථි සංග්රහ විභාගය
- වීථිමුක්ත සංග්රහ විභාගය
- රූප සංග්රහ විභාගය
- සමුච්චය සංග්රහ විභාගය
- ප්රත්යය සංග්රහ විභාගය
- කර්මස්ථාන විභාග සංග්රහය
මෙම කෘතිය 1926 (බු.ව. 2469) දී අම්බලන්ගොඩ විජය යන්ත්රාලයෙහි මුද්රණය කර ප්රකාශයට පත් කර ඇත.
සංඥාපනය
සුවිමල විපුල ප්රඥාප්රභාව ජනකවූ පරමාර්ථ දේශනා නමිලද අභිධර්මපිටක දේශනාව පූර්වයෙහි පෙළ අටුවා පමණකින් අධ්යයනාධ්යාපන දෙක්හි පැලඹෙමින් පවත්නා අතර අටුවාචාර්ය්ය බුද්ධඝොෂ මාහිමියන් වහන්සේ සමානකාලිකවූ සොළීරට උරගපුරාධිවාසී ආචාර්ය්ය බුද්ධදත්ත මහාස්වාමිපාදයන් වහන්සේ විසින් පළමුකොට ආභිධර්මික ශිෂ්යානුග්රහයෙන් ග්රහණ ධාරණයෙහි පහසුලෙස අභිධම්මාවතාර නම් සංක්ෂෙප ප්රකරණය කරන ලද්දේය. ඒ වනාහි උන්වහන්සේ විසින් විනය පිටකයට කරනලද විනය විනිශ්චය නම් ප්රකරණය මෙන්ම ශාසනික ආධුනිකයන්ට විපුල ප්රඥා පාටවය ගෙන දෙමින් පැවැත්තේ නමුත් එයින් පසු කාලයෙහි රත්නවත්යා සුබාවබෝධනුක්රමයකින් අතිසංක්ෂිප්තවූ අභිධර්මාර්ථ සංග්රහ නම් ප්රකරණය ලක්දිව මහා විහාර වංශික ආචාර්ය්ය අනුරුද්ධ මහා ස්වාමිපාදයන් වහන්සේ විසින් කරනලද්දේය ඒ මේ ග්රන්ථය එම ආචාර්ය්ය පාදයන් කළ නාමරූප පරිච්ඡේද, පරමාර්ථ විනිශ්චය යන සෙසු අභිධර්ම ප්රකරණයන්ටද වඩා ග්රහණ ධාරණ දෙක්හි භාවිත බවට පැමිණියේය. ඒ හෙයින් සෙසු ප්රකරණයකට නොමැති තරම් නොයෙක් ව්යාඛ්යානද කලින් කල මේ ග්රන්ථය සම්බන්ධව කරන ලද්දේය. මීට අවුරුදු අටසිය ගණනකින් ඔබ්බෙහි කරනලදැයි අනුමානයෙන් සැලකිය යුතුවූ කාලප්රමාණයක් ඇති ඒ මේ ප්රකරණයට පොළොන්නරු පුර මහපැරකුම්බා මහරජාණන් කාලයෙහි දිඹුලාගල මහා කාශ්යප සංඝරාජොත්තමයන් වහන්සේ විසින් කරන ලදැයි සලකනලද පුරාණ ටීකාවද මෙම අභිධර්මාර්ථ සංග්රහ සන්නයද, අභිධර්මාර්ථ විභාවිනී නම් විස්තර ටීකාවද සංක්ෂෙපවණ්ණනා නම් අභිනව ටීකාවද යන ව්යාඛ්යාන සතර මෙරට වාසීන්ට දුර්ලභ නොවෙති සියම් බුරුම දේශාදියෙහි එයින් මෑත කාලයෙහිදු සෙසුත් ව්යාඛ්යාන පදයෝජනා උපදවනලද බව පෙනේ. යටකී ව්යාඛ්යාන සතරෙන් සංක්ෂෙප වණ්ණනාව හැර ඉතිරි තුන් ව්යාඛ්යානයෝම මෙ ලක්දිව්හි කරනලදහ. එයින් පුරාණ ටීකාවත් ඇසුරු කොට මේ සිංහල සන්නය ලියනලද බව හැඟේ. එබැවින් විභාවිනී ආදි සෙසු ව්යාඛ්යානවලට වඩා සන්නය පුරාතනය. ඒ එසේමැයි. මහාසාරාර්ථ දීපනී විනය ටීකා, පරමාර්ථමඤ්ජුෂා අංගුත්තර ටීකා පඤ්චිකාලංකාර චන්ද්රපඤ්ජිකාටීකා, යනාදි ප්රශස්ත මහා ග්රන්ථයන් කළ ආචාර්ය්ය ශාරිපුත්ර සංඝරාජ මාහිමියන් වහන්සේ විසින් මේ සිංහල
සන්නයද තච්ඡිෂ්ය මහාස්ථවිරකෙනෙකුන් විසින් විභාවිනී ටීකාවද ලක්දිව ආචාර්ය්ය පරම්පරාවෙන්ම ධර්මවිනය ඉගෙන අරිමද්දන පුරයට වැඩි ඡඩ්ඪවාභිධාන සද්ධම්මජෝතිපාල මහා ස්ථවිරයන් වහන්සේ විසින් සංක්ෂෙප වණ්ණනා නම් ටීකාවද කරනලද බැව් ඒ ඒ ග්රන්ථයන්හිම කියන ලද්දේය.
මෙයින් විභාවිනී ටීකාව බොහෝ සෙයින් පුරාණ ටීකාව හා සිංහල සන්නයත් ඇසුරු කොට ලියන ලද්දකි. එහි කිසිතැනක අමුතු විස්තරද ඇතුලත් කෙරෙමින් කිසිතැනෙක සන්නයෙහි විස්තර කළ තැන සංක්ෂෙප කරන ලද්දේය. සංක්ෂෙප වණ්ණනාව සන්න ටීකාවන් ඇසුරු නොකෙරෙමින් එහි විස්තර නොවූ සමහර තැන් වර්ණනා කොට ලියන ලද්දෙකි. මෙසේ හෙයින් මේ ටීකා තුනද සිංහල සන්නයද යන ව්යාඛ්යාන සතරම මෙකල්හි අභිධර්මාර්ථ සංග්රහය ප්රගුණ කරන ආධුනිකයන්ට අවශ්යයෙන් උවමනා නොවේ. ඒ මේ ග්රන්ථ අතුරෙන් අභිධර්මාර්ථ සංග්රහ මූල ග්රන්ථයද ටීකාත්රයද සිංහලාක්ෂරයෙන් හා බුරුම අකුරෙන්ද මුද්රිතව තිබෙන හෙයින් සංශෝධිතවූ ඒ පොත් දැනට නිරායාසයෙන් ලැබේ පුරාතන සන්න පොත එපමණ සුලභද නොව ලිපිදොෂයෙන් දූෂිතවද පැවති හෙයින් ශාසනස්ථිති කාමී ශ්රද්ධාබුද්ධි සම්පන්න කිපදෙනෙකුන් විසින් සමාරාධිතවූ අපි අප ආවාසස්ථානය වැලිගොඩ අඹගහපිටියේ විහාරාධිපතිවැ වැඩවිසූ අසදෘශ ග්රන්ථ කර්තෘවරයෙක් වූ අති ගෞරවාර්භ අමරපුර ගණපාමොක්ඛාචරිය අභිධජවංසාලංකාර විමලසාරතිස්සාභිධාන අමරපුර නිකායේ මහා නායක ස්ථවිර ස්වාමිපාදයන් වහන්සේගේ ශිෂ්ය කෙනෙක් වූ මීගමු සුගතාරාමාධිපතිවැ වැඩවිසූ ගෞරවාර්භ ආචාර්ය්ය මුඤ්චිංගොඩවංශ ධම්මරතනතිස්ස මහා ස්ථවිර පාදයන් වහන්සේගේද විශේෂාධාර ඇතිවැ විරාගත ප්රාමාදික ලිපි දොෂ නිරාකරණ වශයෙන් සංශෝධනය කොට යුක්ත අප ආවාසස්ථානය විවජ්ජනශෙඛරාරාම පැලියගොඩ විද්යාලංකාර පරිවෙණාධිපතිව වැඩවිසූ අති ගෞරවාර්භ ත්රිපිටක වාගීශ්වරාචාර්ය්ය උපාධ්යාය ධුරන්ධර රත්මලානේ ධම්මකිත්ති ශ්රී ධර්මාරාමාභිධාන කොළඹ හලාවත දෙදිශාවේ ප්රධාන නායක ස්වාමීන්ද්රයන් වහන්සේගෙන් ලබනලද සමාදර ප්රතිග්රහණයද ඇතිවැ වර්ෂ 1897 තේදී ප්රථම වාරයෙහි ප්රසිද්ධියට පමුණුවාලීමු.
අප විසින් සංශෝධිතවූ ඒ මේ ග්රන්ථය සුභුසුවම නිමාවටගිය හෙයින් අවුරුදු කීපයක සිට ආධුනිකයන්ට අවශ්යතාව පැවති මේ ග්රන්ථය ප්රථම වර මුද්රණයෙහිදී කිසිතැනක ශෙෂව තුබූ ලිපි දෝෂාං ශද දුරු කෙරෙමින් මෙය පරිශීලනය කරන්නවුන්ගේ විශේෂ ප්රයෝජනය පිණිස මීටම අභිධර්මාර්ථ සංග්රහ මූල ග්රන්ථයද සුදුසු පරිද්දෙන් ඇතුලත් කිරීමෙන් ද්විතීයවාර සංස්කරණයද අත්යාදරයෙන් සාධාරණවන සේ මුද්රණයට පමුණුවා ලීමු.
තදීය මුද්රණයෙහි වර්ණයොජකාදීන්ගේ ප්රමාදයෙන් ඇති වූ ඌනතාදිය සම්පූර්ණ කරනු පිණිස ලියනලද ශුද්ධිපත්රයත් හා සමග මෙම ග්රන්ථය ද්විතීය වාරයෙහිද විද්යාලංකාර පරිවෙණාධිපතිව වැඩවිසූ මාහිමියාණන් වහන්සේට පිළිගන්වා ලබන ලද සමාදර ප්රතිග්රහණයද ඇතිවැ වර්ෂ 1916 දී ප්රසිද්ධියට පමුණුවන ලදි.
මෙසේ ද්විතීය සංස්කරණයෙන් මුද්රිතවූ ග්රන්ථයද අධ්යයනාධ්යාපනයෙහි නියුක්ත සාධූන් විසින් ප්රයෝජනයට ගෙන නිමවන ලද හෙයින් යළිත් මුද්රණයට පමුණුවන්නට විය. ඒ මේ තෘතීය සංස්කරණය ග්රන්ථිපද විවරණයකින් හා උපග්රන්ථයකින්ද සරසා පළ කරවීමට සූදානම් කල නමුත් පොත් ඉතාමත් සුළුව ප්රකාශයට පැමිණවිය යුතුයයි බොහෝ දෙනෙකු අයැදිනාලද හෙයින් අප විසින් දැනට මුද්රණය කරවන අභිධර්මාර්ථ සංග්රහ මධුරාර්ථදීපනී ව්යාඛ්යාව සමග පළ කරවීමට ඒ තැබිමු. මෙවර පළමු වර ශෙෂවූ දෝෂාංශයදු ශුද්ධ කොට නිසිසේ ප්රකාශයට පත් කෙළෙමු. තවද අපගේ අනවකාශතාදිය නිසා ශොධ්ය පත්ර සම්පාදනාදි ඇතැම් කටයුතු අපගේ ශිෂ්යයෙක් වූ පණ්ඩිත වලගෙදර සොමාලොකාභිධජතිස්ස තැන ලවා කරවනලද බවත් මෙහි යම් ප්රමාද පතිතස්ථාන වෙත් නම් සුධීහු ක්ෂමාභාජනය කළයුතු බවත් ශාසන ගෞරව පූර්වකව මෙයින් ප්රකාශ කරම්හ.
අමරපුර ගණපාමොක්ඛාචරිය ධම්මකිත්ති සිරිතොටගමුවේ පඤ්ඤාමොලිතිස්සාභිධාන අමරපුරමූල වංසික නිකායේ මහා නායක ස්ථවිර, 2469, 1926 සැප්තැම්බර් මස 21 දින රන්දොඹේ මහාචෙතිය පිරිවෙන්දීය.