7. 3.
1127. (එම්බා දිව්‍යපුත්‍රය) ඉතා උස්වූ පියුම්රාමිණි ආදියෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පසින් දොළොස් යොදුනෙකි. වෙරළුමිණි ආදියෙන් කළ ටැම් ඇති රුවන්පෝරු ඇතුරූ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙත්.
1128. එහි (තෝ) සිටින්නෙහි ය, පානය කරන්නෙහි ය, අනුභව කරන්නෙහිය, දිව්‍යවීණාවෝ ද මිහිරි සේ වාදනය වෙත්. මෙහි දිව්‍යමය වූ රසයෝ ද පස්කම් ගුණයෝ ද වෙති. ස්වර්‍ණාභරණයෙන් විභූෂිත වූ නාරීහු ද රඟ දක්වත්.
1129. කවර හේතුවකින් තට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තාගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තට පහළ වෙත් ද,
1130. (තෝ) දේවර්ධියට පැමිණියෙහි, මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ධි ඇත්තේ වෙහි ද?
1131. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද දේවපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවැසී ය.
1132. (වහන්ස) මම (පෙරැ) මිනිසුන් අතුරෙහි මනුෂ්‍ය වූයෙම් වන මගෙකැ සක්මනක් කෙළෙමි. එහි ආරාමයක් කොට ගස් ද රෝපණය කෙළෙමි. සිල්වත්හු ද මට ප්‍රියවූහ. පහන් සිතැත්තෙම් අහර ද පැන් ද සකස් කොට මහා දානයක් දුනිමි.
1133. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය ද එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තීහු මෙහි සමෘද්ධ වෙති. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1134. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
මණිථුණවිමාන යි.
7. 4.
1135. (එම්බා දේවපුත්‍රය) රුවන්දැලින් සැරසූ කිකිණිදැල් ඇති හාත්පසින් බබළන (මේ) විමානය රන්පවුවෙකැ පිහිටියේ වෙයි.
1136. අටැස් වූ සුදුපැහැති සියලු ටැම්හු වෙරළුමිණියෙන් මොනවට කරන ලදහ. (ඒ ටැම්හි) එක් එක් කොටස සත් රුවනින් නිමවන ලදී.
1137-1138. වෙරළුමිණියෙන් හා රනින් ද පළිඟුයෙන් හා රිදියෙන් ද මැසිරිගලින් හා මුතුයෙන් ද රතුමිණියෙන් ද විසිතුරු වූ සිත්කලු භූමිය වෙයි. එහි ධූලි නො නගියි. නිර්මිත වූ රන්වන් වූ ගොනැස් සමූහයෝ (සත්රුවන් පුවා) කැණිමඬල දරත්.
1139. සිවු දිගුහි හිණි සතරෙක් මවන ලදි. නොයෙක් රුවනින් කළ ගබඩාවන් කරණකොට ගෙන (මේ විමන) හිරුමෙන් බබළයි.
1140. එහි සිවු දිගුහි අවට අතිශයින් දීප්තිමත් වූ කොටස් වශයෙන් පමණට බෙදූ සිවු වේදිකාවෝ බබළත්.
1141. ඒ උතුම් විමන්හි සිටින උදාවන හිරුමෙන් මහත් කැලුම් ඇති දෙවිපුත් වූ (තෝ) සිරුරු පැහැයෙන් අතිශයින් බබළහි.