5. 5.
919. ඉතා උස් වූ පියුම්රා මිණිඈයෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පස දොළොස් යොදුනක් තැන වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රන්පෝරු ඇතුරූ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙයි.
920. එහි ඔබ සිටිනෙහි ය, පානය කරන්නෙහි ය, අනුභව කරන්නෙහි ය, දිව්‍ය වීණාවෝ ද මිහිරිසේ වාදනය වෙත්. මෙහි දිව්‍යමය වූ පස්කම් ගුණයෝ වෙති. ස්වර්‍ණාභරණයෙන් විභූෂිත වූ නාරීහු ද රඟ දක්වත්.
921. කවර හේතුවකින් තට මෙබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනකින් තාගේ සුචරිත ඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනකින්) තට පහළ වෙත් ද?
922. මහත් අනුභාව ඇති දිව්‍යපුත්‍රය, තා විචාරමි. මිනිස් වූයේ කවර පිනක් කෙළෙහි ද? තාගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තේ වෙහි ද?
923. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්‍ය ඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පැන විචාරන ලද්දේ (මෙසේ) පැවැසීය.
924. මාගේ ආයුෂය දිව්‍යමය වූ වර්‍ෂ සහස්‍රයෙකි. වචනයෙන් පිළිසඳර කරන ලදී. සිතින් පැහැදීම පවත්වන ලදී. මෙ පමණකින් කළ පින් ඇත්තේ දිව්‍ය වූ කාමයන්ගෙන් යුක්තවූ යේ වාසය කරන්නේ යි.
925. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
926. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුව යි.
ද්වාරපාලක විමාන යි.
5. 6.
927. ඉතා උස් වූ පියුම්රාමිණි ඈයෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පස දොළොස් යොදුනක් තැන වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රන්පෝරු ඇතුරූ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙයි.
928. එහි ඔබ සිටිනෙහි ය, පානය කරන්නෙහි ය, අනුභව කරන්නෙහි ය, දිව්‍ය වීණාවෝ ද මිහිරිසේ වාදනය වෙති. මෙහි දිව්‍යමය වූ පස්කම් ගුණයෝ වෙත්. ස්වර්‍ණාභරණයෙන් විභූෂිත වූ නාරීහු ද රඟ දක්වත්.
929. කවර හේතුවකින් තට මෙබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනකින් තාගේ සුචරිත ඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නාවූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනකින්) තට පහළ වෙත් ද?
930. මහත් අනුභාව ඇති දිව්‍යපුත්‍රය, තා විචාරමි. මිනිස් වූයෙහි කවර පිනක් කෙළෙහි ද? තාගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තෙහි ද?
931. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පැන විචාරන ලද්දේ (මෙසේ) පැවසී ය:
932. (තමහට හිතාහිත) දන්නා වූ ප්‍රාඥයා විසින් යම් තැනෙක දුන් දෙය මහත් ඵල වේ ද, ඒ මනාව පිළිපන් බුදුවරුන් කෙරෙහි පින් කළ යුතු ය.