4. 11.
820. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටිනෙහි.
821. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
822. මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
823. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටු සිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවසුවා ය.
824. (වහන්ස) මම පෙරැ මිනිසුන් අතැර මිනිස් දුවක් වූවා සිල්වත් මහණුන් දැක පා වැඳ සිත පැහැදවීමි. තුටුසිත් ඇති මම ඇඳිලි ද කෙළෙමි.
825. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
826. මහත් ආනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම්කිසි පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
වන්‍දන විමාන යි.
4. 12.
827. (එම්බා) දෙව්දුව යම්බඳු වූ තෝ මනා රුසිරෙන් යුක්තව මනහර වැයුම් පවත්නා කල්හි ඇත් පා විවිධාකාරයෙන් ගෙන නටන්නෙහි.
828. නටන්නා වූ ඒ තීගේ අඟපසඟින් හැම ලෙසින් කන්කලු මනරම් දිව්‍යමය ශබ්දයෝ නික්මෙත්.
829. නටන්නා වූ ඒ තීගේ අඟපසඟින් පිරිසිදු සුවඳැති මනරම් වූ දිව්‍යමය ගන්‍ධයෝ හැම ලෙසින් හමත්.
830. (තීගේ) ශරීරය සැලෙන කල්හි කෙස් වේණියෙහි යම් පළඳනාවෝ වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරනද සේ ඇසේ.
831. මද සුළඟින් සැලෙන සුළඟින් වෙසෙසින් සැලෙන මුදුන් මල්කඩහු වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරනද සේ ඇසේ.
832. තීගේ හිසෙහි පිවිතුරු සුවඳැති මනරම් වූ යම් මල්දමෙක් වේ ද එහි සුවඳ (සුපිපි) මඤ්ජුස්සක වෘක්‍ෂය සේ සියලු දිගුන් පැතිරැ හමයි.
833. ඒ පිවිතුරු සුවඳ ආඝ්‍රාණය කෙරෙහි, ඒ දිව්‍යමය වූ රූපය දකිහි. (එම්බා) දෙව්දුව, මා විසින් විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැ යි කියව.