1. 7.
53. (එම්බා) දෙව්දුව, තෝ රනින් කළ පියසි ඇති නැවකට නැගී සිටිනහු. (එසේ ම දිව කුසුමෙන් ගැවසුණු) පොකුණට බැස සිටිනහු. අතින් පියුම් නෙළනහු.
54. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මනවඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
55. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කළහු ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. (කවර පිනෙකින්) මෙබඳු දිලියෙන පුණ්යර්ද්ධි ඇත්තී වවු ද?
56. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්යඵලය යම් කර්මයක්හුගේ දැ යි මෙසේ පැවසූ ය.
57. මම පෙර, අත්බැව්හි මිනිස් ලොවැ මිනිසුන් අතර මිනිස් දුවක් වූවා. හටගත් පවස් ඇති ක්ලාන්ත වූ මහණක්හු දැක නැගී සිට බීමට පැන් දුනිමි.
58. යමෙක් ඒකාන්තයෙන් ක්ලාන්ත වූ හටගත් පවස් ඇති මහණක්හට නැගී සිට වළඳන්නට පැන් දේ ද ඔහුට සිහිල් දිය පිරුණු බොහෝ මල් ඇති බොහෝ සුදු පියුම් ඇති නදීහු පහළ වෙත්.
59. හැම කල්හිම සිහිල්දිය ගලාබස්නා සිහිල්දිය පිරුණු සුදුවැලි අතුරන ලද ගඞ්ගාවෝ ඒ විමන වටකොට සිටිත්. පිපුණු මල් ඇති අඹ සල් තිලක දඹ ඇසළ පළොල් රුක්හු ද (එහි) වෙති.
60. එවැනි භූමිභාගයන් ගෙන් පැසසියයුතු බැවින් යුක්ත වූ අතිශයින් බබළන ශ්රේෂ්ඨ වූ දිව්යවිමාන ලබත්. (එදා මා විසින් කළ) ඒ කර්මයාගේ මෙහි මේ විපාකය වෙයි. කළ පිනැත්තෝ මෙබඳු සම්පත් ලබත්.
61. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
62.මහත් අනුභාව ඇති ශ්රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
ද්විතීය නාවාවිමාන යි.
1. 8.
63. (එම්බා) දෙව්දුව, තෝ රනින් කළ පියසි ඇති නැවකට නැගී සිටිනහු. (එසේ ම දිව කුසුමෙන් ගැවසුණු) පොකුණට බැස සිටිනහු. අතින් පියුම් නෙළනහු.
64. කොටස් වශයෙන් බෙදනලද ප්රමාණවත් වූ, කුළුගෙවල් ඇති බබළන්නා වූ තීගේ නිවෙස්හු හාත්පස සිවුදිගුන් බබුළුවත්.
65. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
66. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කළහු ද, තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්යර්ද්ධි ඇත්තී වූ ද?
67. සම්බුදු රදුන් විසින් ම පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හුගේ දැයි (මෙසේ) පැවසූ ය.
68. මම පෙර අත්බැවුහි මිනිස් ලොවැ මිනිසුන් අතර මිනිස්දුවක් වූවා. හටගත් පවස් ඇති ක්ලාන්ත වූ භික්ෂූන් දැක නැගී සිට පීමට පැන් දුනිමි.
69.යමෙක් ඒකාන්තයෙන් හටගත් පවස් ඇති ක්ලාන්ත වූවන්ට නැගී සිට පීමට පැන් දේ ද, ඔහුට සිහිල් දිය පිරුණු බොහෝ මල් ඇති බොහෝ සුදුපියුම් ඇති නදීහු පහළ වෙති.