8. 2.
දෙවන නිර්වාණ සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්යවතුන් වහන්සේ භික්ෂූනට නිවන පිළිබඳ වූ ධර්මකථායෙන් නිවන් තතු දක්වන සේක. එය ගන්වන සේක. එහි උත්සාහවත් කරන සේක. සතුටු කරන සේක. ඒ මහණහු ද එයින් ප්රයෝජන ඇති ව ඒ දෙසුම සිත්හි කොට මුල පටන් ම මොනොවට සිතට ගෙන (නුවණින් සලකා ) නතු කළ කන් ඇත්තාහු බණ අසත්.
2. එ කල්හි භාග්යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“(ස්වභාවයෙන් ගැඹුරු බැවින් ඉතා සියුම් බැවින් නුවණ නො මුහුකළවුන් විසින්) දැක්ක නොහැකි, තෘෂ්ණා රහිත, ඒකාන්තයෙන් ඇත්තා වූ නිවන නම් සුවසේ දැක්ක හැකි නො වේ. ප්රහාණාභිසමය වශයෙන් තෘෂ්ණාව පිළිවිදුනා ලදී. අරීමඟනුවණින් දන්නාහට දක්නාහට තෘෂ්ණා පරිබෝධයෙක් නැත.”
8. 3.
තෙවන නිර්වාණ සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්යවතුන් වහන්සේ භික්ෂූනට නිවන පිළිබඳ දැහැමි කතායෙන් (නිවන් තතු) දක්වන සේක, ගන්වන සේක, එහි උත්සාහවත් කරන සේක, සතුටු කරන සේක. ඒ භික්ෂූහු ද ඒ දේශනායෙන් ප්රයෝජන ඇති ව, එය සිත්හි කොට, එය මුල පටන් ම මොනොවට සිතට ගෙන (නුවණින් සලකා) නතු කළ කන් ඇත්තාහු බණ අසත්.
2. ඉක්බිත්තෙන් භාග්යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“මහණෙනි, (වේදනාදීන් මෙන් හේතුප්රත්යය සමවායයෙන්) නො උපන්, (කාරණයෙන් තොර ව තෙමේ ම) පහළ නොවූ, කිසිවෙකින් නො කරන ලද, ප්රත්යයයෙන් අසංස්කෘත වූ නිර්වාණ ධර්මය (පරමාර්ත්ථ වශයෙන්) ඇත. මහණෙනි, මේ හේතුප්රත්යයයෙන් නො උපන්, නො පහළ වූ නො කරන ලද, අසංස්කෘත වූ නිර්වාණධාතුව (පරමාර්ත්ථවශයෙන්) අවිද්යමාන නම්, මෙහි හේතුප්රත්යයයෙන් උපන්, පහළ වූ, කරන ලද, සංස්කෘත වූ ස්කන්ධපංචකයාගේ නිඃශරණයෙක් (සංහිඳීමෙක්) නො පැනෙන්නේ ය. (නො ලැබියැ හැකි වන්නේ ය.) මහණෙනි, යම් හෙයෙකින් ම නො උපන්, නො පහළ වූ, නො කරන ලද, අසංස්කෘත ධාතුවෙක් පරමාර්ත්ථ වශයෙන් ඇත් ද, එහෙයින් උපන්, පහළ වූ, කරන ලද, සංස්කෘත වූ ස්කන්ධපංචකයාගේ නිඃශරණයෙක් (සංහිඳීමෙක්) පැනේ.”
8. 4.
සිවුවන නිර්වාණ සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්යවතුන් වහන්සේ භික්ෂූනට නිර්වාණප්රතිසංයුක්ත ධර්ම කථායෙන් (නිවන් තතු) දක්වන සේක, ගන්වන සේක, එහි උත්සාහවත් කරන සේක, සතුටු කරන සේක. ඒ භික්ෂූහු ද ඒ දේශනායෙන් ප්රයෝජන ඇති ව, එය සිත්හි කොට, එය මුල පටන් ම මොනොවට සිතට ගෙන (නුවණින් සලකා), නතු කළ කන් ඇත්තාහු බණ අසත්.
2. එකල්හි භාග්යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක: