7. 2.
ද්විතීය භද්දිය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් නම් වූ අනේපිඬුහු අරමැ වැඩ වසන සේක. එසමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ ලකුණ්ටකභද්දිය තෙරුන් ශෛක්‍ෂකයකු කොට හඟිනුවෝ පමණ ඉක්මැ නොයෙක් කරුණින් දැහැමි කතායෙන් අනිත්‍යාදිය දක්වයි, ගන්වයි, එහි තියුණු කෙරෙයි, තුටු පහටු කෙරෙයි. භාග්‍යවතුන් වහන්සේ ලකුණ්ටකභද්දිය තෙරුන් ශෛක්‍ෂකයකු කොට හඟිමින් පමණ ඉක්මැ නොයෙක් කරුණින් දැහැමි කතාවෙන් අනිත්‍යාදිය දක්වන, ගන්වන, එහි තියුණු කෙරෙන, තුටු පහටු කරන සැරියුත් තෙරුන් දුටු සේක.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි ම් උදන් ඇනූහ:
“කෙලෙස්වට මුල් සින්දේ ය. නිරාශය (නිවන) අවබෝධ කෙළේ ය. තෘෂ්ණානදිය වියැලිණ. මෙයින් පසු එය නො ගලයි. (එහෙයින්) කම්වට නො පවතී. මෙය ම දුකේ කෙළවර යි.”
7. 3.
සක්ත සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි සැවැත්නුවරැ මිනිස්සු බොහෝ සෙයින් අධික වෙලාවක් (ඉම ඉක්මැ) කාමයන්හි ඇලුණාහු රැඳුණාහු ගිජුවූවාහු වෙළුණාහු මුසපත් වූවාහු ගැලුණාහු, කාමයන්හි ඉතා මත් වූවාහු වෙසෙත්. එ කල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පෙරෙවැ, පාසිවුරු ගෙන, සැවැතට පිඬු පිණිස පිවිසියහ. සැවතෙහි පිඬු පිණිස හැසිරැ පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ, එක් පසෙක හුන්හ. එක් පසෙක හුන් ම ඒ භික්‍ෂූහු “වහන්ස, මෙහි සැවැත්හි මිනිස්සු බෙහෙවින් අධික වේලා (ඉම ඉක්මැ) කාමයන්හි ඇලුණාහු රැඳුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු, ගැලුණාහු, කාමයන්හි ඉතා මත් වූවාහු වෙසෙති”යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“වස්තුකාමයන්හි ක්ලේශකාමයෙන් ඇලුණු, වස්තුකාමයන්හි රාගාදි සඞ්ගවලින් ලැගුණු, සංයෝජනයෙහි (කාමරාගාදි ක්ලේශ සමූහයෙහි) දොස් නො දක්නා, සංයෝජන සඞ්ඛ්‍යාත සඞ්ගයෙන් ත්‍රෛභූමික ධර්‍මයන්හි ඇලුණු සත්ත්‍වයෝ පතළා වූ මහත් වූ කාමාදි ඕඝය කිසි කලෙකත් තරණය කට හැකි නො වන්නාහ.”
7. 4.
දෙවෙනි සක්ත සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී; එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ කල්හි වනාහි සැවැත්නුවරැ මිනිස්සු බෙහෙවින් කාමයන්හි ඇලුණෝ රැඳුණෝ ගිජුවූවෝ ගෙතුණෝ මුස පත් වූවෝ ගැලුණෝ අන්‍ධ බවට පමුණුවන ලදුවෝ, කාමයන්හි ඉතා මත්වූවෝ වෙසෙත්. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙන සැවැතට පිඬු පිණිස වන් සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ මිනිසුන් සැවැතෙහි බෙහෙවින් කාමයන්හි ඇළුණවුන් රැඳුණවුන් ගිජුවූවන් ගෙතුණවුන් මුස පත්වූවන් ගැලුණවුන් අන්‍ධබවට පමුණුවන ලැබුවන්, කාමයන්හි ඉතා මත්වූවන් දුටු සේක.
2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“කාමයෙන් අන්‍ධ වූ, තෘෂ්ණාදැලින් වැසුණු, තෘෂ්ණා සෙවෙණියන් වසා ගන්නා ලද, මරහු විසින් බඳනා ලද සත්හු කෙමනමුවට වන් මසුන් මෙන් කිරිබොන වස්සා මව අනුව යන්නාක් මෙන් ජරාමරණය කරා යෙත්.”