7. 3.
සක්ත සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි සැවැත්නුවරැ මිනිස්සු බොහෝ සෙයින් අධික වෙලාවක් (ඉම ඉක්මැ) කාමයන්හි ඇලුණාහු රැඳුණාහු ගිජුවූවාහු වෙළුණාහු මුසපත් වූවාහු ගැලුණාහු, කාමයන්හි ඉතා මත් වූවාහු වෙසෙත්. එ කල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පෙරෙවැ, පාසිවුරු ගෙන, සැවැතට පිඬු පිණිස පිවිසියහ. සැවතෙහි පිඬු පිණිස හැසිරැ පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ, එක් පසෙක හුන්හ. එක් පසෙක හුන් ම ඒ භික්‍ෂූහු “වහන්ස, මෙහි සැවැත්හි මිනිස්සු බෙහෙවින් අධික වේලා (ඉම ඉක්මැ) කාමයන්හි ඇලුණාහු රැඳුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු, ගැලුණාහු, කාමයන්හි ඉතා මත් වූවාහු වෙසෙති”යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“වස්තුකාමයන්හි ක්ලේශකාමයෙන් ඇලුණු, වස්තුකාමයන්හි රාගාදි සඞ්ගවලින් ලැගුණු, සංයෝජනයෙහි (කාමරාගාදි ක්ලේශ සමූහයෙහි) දොස් නො දක්නා, සංයෝජන සඞ්ඛ්‍යාත සඞ්ගයෙන් ත්‍රෛභූමික ධර්‍මයන්හි ඇලුණු සත්ත්‍වයෝ පතළා වූ මහත් වූ කාමාදි ඕඝය කිසි කලෙකත් තරණය කට හැකි නො වන්නාහ.”
7. 4.
දෙවෙනි සක්ත සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී; එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ කල්හි වනාහි සැවැත්නුවරැ මිනිස්සු බෙහෙවින් කාමයන්හි ඇලුණෝ රැඳුණෝ ගිජුවූවෝ ගෙතුණෝ මුස පත් වූවෝ ගැලුණෝ අන්‍ධ බවට පමුණුවන ලදුවෝ, කාමයන්හි ඉතා මත්වූවෝ වෙසෙත්. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙන සැවැතට පිඬු පිණිස වන් සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ මිනිසුන් සැවැතෙහි බෙහෙවින් කාමයන්හි ඇළුණවුන් රැඳුණවුන් ගිජුවූවන් ගෙතුණවුන් මුස පත්වූවන් ගැලුණවුන් අන්‍ධබවට පමුණුවන ලැබුවන්, කාමයන්හි ඉතා මත්වූවන් දුටු සේක.
2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“කාමයෙන් අන්‍ධ වූ, තෘෂ්ණාදැලින් වැසුණු, තෘෂ්ණා සෙවෙණියන් වසා ගන්නා ලද, මරහු විසින් බඳනා ලද සත්හු කෙමනමුවට වන් මසුන් මෙන් කිරිබොන වස්සා මව අනුව යන්නාක් මෙන් ජරාමරණය කරා යෙත්.”
7. 5.
ලකුණ්ටකභද්දිය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුසිටුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි ලකුණ්ටකභද්දිය තෙරණුවෝ බොහෝ භික්‍ෂූන් පසු පසින් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. බොහෝ භික්‍ෂූනට පසුපසින් දුරින් ම එන දුර්වර්‍ණ වූ අප්‍රිය දැකුම් ඇති, මිටිවූ බෙහෙවින් (ජබ්බග්ගියාදි) පුහුදුන් මහණුන් විසින් පිරිහෙළන ලද අයුරු ඇති ලකුණ්ටකභද්දිය තෙරුන් භාග්‍යවතුන් වහන්සේ දුටු සේක. දැක භික්‍ෂූන් බණවා, “මහණෙනි, දුරින් ම බොහෝ භික්‍ෂූනට පසුපසින් එන නොමනා පැහැ ඇති, නොමනා දැකුම් ඇති, අඟුටු මිටි වූ, බෙහෙවින් පුහුදුන් මහණුන් විසින් පිරිහෙළන ලද අයුරු ඇති තෙල මහණහු තෙපි දක්නහු දැ?” යි වදාළ සේක.
2. “එසේය, වහන්සැ”යි ඒ භික්‍ෂූහු කීහ. “මහණෙනි, මේ මහණ තෙම මහත් ඍද්ධි ඇත්තේ ය, මහත් අනුභාව ඇත්තේ ය. ඒ මහණහු යමක් නො සමවන් විරූ නම් එසේ වූ සමවතෙක් සුලභ නො වේ. යමක් පිණිස කුලපුත්තු මොනොවට ගිහිගෙන් නික්මැ සසුන් වදිත් නම්, ඒ නිරුත්තර වූ, මගබඹසරෙහි කෙළවර වූ රහත්බව මෙ අත්බව්හි ම තෙමේ වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබ වෙසේ”යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා, එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“සුපුරිසිදු සිල් නැමැති නිදොස් මං ඇති, අර්‍හත්ත්‍ව ඵලවිමුක්ති නැමැති සුදු වැසුම් ඇති, සිහි නැමැති එක ම අරයක් ඇති, (එ මහණහුගේ) ආත්මභාව නැමැති රථය පවතී. සැලුම් නැති පිරිපුන් වැගුරුම් ඇති, බැඳුම් නැති එන්නා වූ එ මහණ බල.”
7. 6.
තණ්හාක්ඛය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුසිටුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා තෘෂ්ණාසංක්‍ෂය විමුක්තිය (හෙවත් රහත්පල සමවත) නුවණින් බලමින් හුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා තෘෂ්ණාසංක්‍ෂය විමුක්තිය (හෙවත් රහත්පල සමවත) නුවණින් බලමින් හුන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් දුටු සේක.
2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා, එ වේලෙහි මේ උදන් ඇනූ සේක.