7. 10.
උදේන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොඹෑ නුවරැ ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි උදයන රජහු උයන් යාදී ඇතොවුර ගින්නෙන් දැවී ගියේ වෙයි. සාමාවතී දේවිය ප්‍රමුඛ කොටැති පන්සියක් ස්ත්‍රීහු කලුරිය කළාහු වෙත්. එ කල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන කොසොඹෑ පුරයට පිඬු පිණිස පිවිසියහ. කොසොඹෑ පුර පිඬු පිණිස හැසිරැ පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ, එක් පසෙකැ හුන්හ. එක් පසෙක හුන්නාවූ ම ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මෙහි උදේන රජු උයන් යාදී ඇතොවුර දා ගියේ ය. සාමාවති ප්‍රමුඛ පන්සියක් ස්ත්‍රීහු කලුරිය කළාහු වෙති යි සැළ කොට ‘වහන්ස, ඒ උවැසියන්ගේ මරණින් පසු ගතිය කවර යැ? පරලොව කවර යැ?’යි විචාළහ.
2. “මහණෙනි, ඔවුන් අතුරෙහි සෝවාන් උවැසියෝ ඇත. සෙදැගැමි උවැසියෝ ඇත. අනැගැමි උවැසියෝ ඇත. මහණෙනි, ඒ සියලු උවැසියෝ පැමිණි ශ්‍රාමණ්‍යඵල ඇත්තාහු ම එහෙයින් නිෂ්ඵල නො වැ කලුරිය කළහ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූහ:
“මෝහය හා එකට බැඳුණු සත්ත්‍වලෝකය හේතු සම්පන්නයක්හු මෙන් දක්නා ලැබේ. උපධීන් හා බැඳුණු අඥාන තෙම අවිදු අඳුරින් පිරිවැරුණේ සදාභාවී මෙන් සලකයි. සංස්කාරයන් අනිත්‍යාදීන් බලන්නහුට (රාගාදි) කිඤ්චනයෙක් නැත.”
සත්වන සුළුවගයි.
එහි උද්දානය:
භද්දිය සූත්‍ර දෙක ද, සක්තසූත්‍ර දෙක ද, ලකුණ්ටකභද්දිය සූත්‍රය ද, තණ්හාක්ඛය සූත්‍රය ද, පපඤ්චක්ඛය සූත්‍රයද, කච්චාන සූත්‍රය ද, උදපාන සූත්‍රය ද, උදේන සූත්‍රය දැයි සූත්‍ර දශයෙකි.
පාටලිගාමිය වර්‍ගය
8. 1.
පළමුවන නිර්‍වාණ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට නිවන් පිළිබඳ වූ ධර්‍මකථායෙන් නිවන්තතු දක්වන සේක. එය ගන්වන සේක. එය ගැන්මෙහි උත්සාහවත් කරන සේක. නිවන්ගුණයෙන් මොනොවට සතුටු කරන සේක. ඒ මහණහු ද ඒ දේශනායෙන් ප්‍රයෝජන ඇති ව, ඒ දේශනාව සිත්හි කොට මුළු සිතින් සමනා නතු කළ කන් ඇත්තාහු බණ අසති.
2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“මහණෙනි, යමෙක්හි පෘථිවිධාතුව නැද්ද, ආපෝධාතුව නැද්ද, තේජෝධාතුව නැද්ද, වායුධාතුව නැද්ද, ආකාසානඤ්චායතන සිත නැද්ද, විඤ්ඤාණඤ්චායතන සිත නැද්ද, අකිඤ්ඤචඤ්ඤායතන සිත නැද්ද, නේවසඤ්ඤානාසඤ්ඤායතන සිත නැද්ද, මේ (ස්කන්‍ධ) ලෝකය නැද්ද, මෙයින් උපදනා අන්‍ය (ස්කන්‍ධ) ලෝකයකුත් නැද්ද, (එහි අඳුරක් නැති බැවින් අඳුර දුර ලන්නට) සඳහිරු දෙදෙනෙකුත් නැද්ද, එසේ වූ ඒ ආයතනය (මාර්‍ග ඵලසිතට අරමුණුවන නිවන) ඇත. මහණෙනි, එහිත් කිසිවෙකුගේ ඊමක් යෑමක් සිටීමක් මරණයක් මැරී ඉපැත්මක් නො කියමි. මෙය කිසිවෙක නො පිහිටි, ප්‍රත්‍යයයන්ගෙන් නො පවත්නා, කිසිම අරමුණෙක නො එල්බෙන දහමෙකි. මෙය ම දුකෙහි කෙළවර ය.”
8. 2.
දෙවන නිර්‍වාණ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට නිවන පිළිබඳ වූ ධර්‍මකථායෙන් නිවන් තතු දක්වන සේක. එය ගන්වන සේක. එහි උත්සාහවත් කරන සේක. සතුටු කරන සේක. ඒ මහණහු ද එයින් ප්‍රයෝජන ඇති ව ඒ දෙසුම සිත්හි කොට මුල පටන් ම මොනොවට සිතට ගෙන (නුවණින් සලකා ) නතු කළ කන් ඇත්තාහු බණ අසත්.
2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“(ස්වභාවයෙන් ගැඹුරු බැවින් ඉතා සියුම් බැවින් නුවණ නො මුහුකළවුන් විසින්) දැක්ක නොහැකි, තෘෂ්ණා රහිත, ඒකාන්තයෙන් ඇත්තා වූ නිවන නම් සුවසේ දැක්ක හැකි නො වේ. ප්‍රහාණාභිසමය වශයෙන් තෘෂ්ණාව පිළිවිදුනා ලදී. අරීමඟනුවණින් දන්නාහට දක්නාහට තෘෂ්ණා පරිබෝධයෙක් නැත.”