6. 7.
සුභූති සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි සුභූති තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා අවිතර්කසමාධියට (චතුර්ත්ථධ්යාන පාදක අර්හතත්වඵලසමාධියට) සමවැද හුන්නාහු වෙති. භාග්යවතුන් වහන්සේ නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා අවිතර්කසමාධියට සමවැද හුන් සුභූති තෙරුන් දුටු සේක.
2. ඉක්බිත්තෙන් භාග්යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වෙලායෙහි මේ උදන් ඇනූ සේක:
“යමක්හු විසින් මිථ්යාවිතර්කයෝ පලවා හරින ලද්දාහු ද, සිය සතන්හි ඉතිරි නො කොට සිඳැ පියන ලද්දාහු ද, රාගාදි සියලු සඞ්ග ඉක්මැ අරූපය (හෙවත් නිවන) අරමුණු කරන මාර්ගඵලසංඥා ඇති, කාමයොගාදි සතරයෝගයන් ඉක්මැ ගිය ආර්ය්ය පුද්ගල තෙමේ ඒකාන්තයෙන් පුනර්භවයට නො එයි.”
6. 8.
ගණිකා සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි රජගහ නුවරැ ගණ දෙකෙක් එක්තරා ගණිකාවක කෙරෙහි ඇලුණාහු පිළිබඳ සිතැත්තාහු වෙත්. ඔහු හටගත් ඩබර ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විවාදයට බටුවාහු උනුනට අත්වලින් පහර දෙත්, ගල්කැටින් පහර දෙත්, දඬුවලින් පහර දෙත්, අවිවලින් පහර දෙත්. ඔහු එහි මරණයට ද පැමිණෙත්, මරණය පමණ වූ දුකට ද පැමිණෙත්.
2. එ කල්හි බොහෝ භික්ෂූහු පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන, රජගහ නුවරට පිඬු පිණිස පිවිසියහ. රජගහ නුවරැ පිඬු පිණිස හැසිරැ පසුබත්කල්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ එක් පසෙක හිඳ ගත්හ. එක් පසෙක හිඳ ගත්තාවූ ම ඒ භික්ෂූහු ‘වහන්ස, මේ රජගහ නුවරැ දෙ ගණ කෙනෙක් එක්තරා ගණිකාවක කෙරේ ඇලුණෝ බැඳුණු සිතැත්තෝ, හටගත් ඩබර ඇත්තෝ, හටගත් කලහ ඇත්තෝ, විවාදයට පැමිණියෝ, උනුනට අතින් ද පහර දෙත්, කැටින් ද පහර දෙත්, දඬුයෙන් ද පහර දෙත්, සැතින් ද පහර දෙත්. ඔහු එහි මරණයට ද , මරණය තරම් වූ දුකට ද පැමිණෙත්.
3. ඉක්බිත්තෙන් භාග්යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූහ:
පැමිණි යම් පස් කම් සුවයෙක් ඇද්ද මතු පැමිණිය යුතු කොට පතන යම් පස් කම්සුවයෙක් ඇද්ද, මේ දෙක ම ක්ලේශාතුරයාගේ ද දුඃඛාතුරයාගේ ද රාගරජසිනුත් ද්වේෂරජසිනුත් වැසුණේ වෙයි:
මෙයින් සංසාරශුද්ධිය වෙතැ යි ගත් යම් ශීලව්රතාදි වූ ශික්ෂාසාර කෙනෙක් වෙත් ද, ශීලව්රත, ශාකභක්ෂකතාදි ජීවිකා, මෛථුනවිරති (ස්කන්දදේවපරිවරණාදි) උපස්ථානසාර කෙනෙක් වෙත් ද, මොහු ආත්මක්ලමථානුයෝග පක්ෂය ගත් එක් අන්තයෙක.
‘කාමයන්හි දොස් නැතැ’යි කියන යම් කෙනෙක් ඇත් ද, ඔවුන් ගත් මෙය කාමසුඛල්ලිකානුයෝගය වූ දෙවෙනි අන්තය ය. මෙසේ මෙ කී උබය අන්තයෝ කටසීන් (තෘෂ්ණා අවිද්යාවන්) වඩන්නෝ ය. කටසීහු (අවිද්යාතෘෂ්ණාවෝ) දෘෂ්ටිය වඩත්. මේ අන්ත දෙක නොදැන ඇතැම්හු කම්සුවෙහි යෙදීම් වශයෙන් හැකිළෙත්. කෙනෙක් සිය කය පෙළීම් වශයෙන් අතිධාවනය කරත්. යම් කෙනෙක් වනාහි ඔවුන් විශිෂ්ට නුවණින් දැන, ඒ අන්ත දෙක්හි පතිත නො වූහු ද, ඔහු (අන්තද්වයප්රහීණ කිරීමෙන් තෘෂ්ණාදි වශයෙන්) මඤ්ඤනා නො කළහ. ඔවුනට (මරණින් මතු ඇතැ යි) පණවන්නට (කර්මවර්ත විපාකවර්ත ක්ලේශවර්ත යන) කිසිම වර්තයෙක් නැත.”
6. 9.
උපාති සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්යවතුන් වහන්සේ රෑ මහඅඳුරෙහි තෙල් පහන් දැල්වෙන කල්හි එළිපහනෙහි වැඩ හුන් සේක් වෙති. එ සමයෙහි බොහෝ පලඟැටියෝ ඒ පහන් ඉදිරියට පැන ද පහන් වටා හැවිද පැන ද දුකටත් මරණයටත් පැමිණෙත්. භාග්යවතුන් වහන්සේ ඒ බොහෝ පලඟැටියන් ඒ තෙල්පහන්හි ඉදිරියට පැන ද පහන් වටා හැවිද පැන ද දුකටත් මරණයටත් පැමිණෙන්නවුන් දුටු සේක.
2. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“සත්හු දෘෂ්ටිවිපර්ය්යාසයෙන් අතිධාවනය කරත්. (ශීලාදි) සාරයට නො පැමිණෙත්. තෘෂ්ණාදෘෂ්ටිසඞ්ඛ්යාත අලුත් අලුත් බැඳුම් වඩත්. මෙසේ ඇතැම්හු දුටු දැයෙහි ද ඇසු දැයෙහි ද පලඟැටියන් පහනට සෙයින් ඒ අරමුණු කෙරෙහි ශාශ්වතාදි වශයෙන් බැස ගත්තාහු එයට පනිත්.”