6. 10.
තථාගතොත්පාද සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරමෙහි වැඩ වසන සේක. එ කල්හි අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ ආදරයෙන් වැඳැ එක්පසෙක හුන්හ. එක්පසෙකැ හුන් අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “වහන්ස, යම් තාක් කල් ම තථාගත අර්හත් සම්යක් සම්බුදුවරු ලොවැ නො උපදිත් ද, ඒ තාක් ම අන්තොටු පිරිවැජ්ජෝ සත්කාර ලද්දාහු ගුරුකාර ලද්දාහු බුහුමන් ලද්දාහු පුදනු ලද්දාහු යටත් පැවතුම් ලද්දාහු සිවුරුපිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුල්ලෝ වෙත්. වහන්ස, යම් කලෙක්හි ම තථාගත අර්හත් සම්යක් සම්බුදුවරු ලොව උපදිත් ද, එකල්හි අන්තොටු පිරිවැජ්ජෝ සත්කාර නො ලද්දෝ, ගුරුකාර නො ලද්දෝ, බුහුමන් නො ලද්දෝ, නො පුදනු ලද්දෝ, යටත් පැවතුම් නො ලද්දෝ, සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබන සුල්ලෝ වෙත්. වහන්ස, දැන් භාග්යවතුන් වහන්සේ භික්ෂුසඞ්ඝයාත් ම සත්කාර ලද්දෝත්, ගුරුකාර ලද්දෝත්, බුහුමන් ලද්දෝත්, පුදනු ලද්දෝත්, යටත් පැවතුම් ලද්දෝත්, සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුල්ලෝත් වෙතී.” යනු යි.
2. “අනඳයෙනි, එය එසේ ය. අනඳයෙනි, යම්තාක් කල් ම ලොවැ තථාගත අර්හත් සම්යක් සම්බුදුවරු නො උපදිත් ද, ඒ තාක් ම අන්තොටු පිරිවැජ්යෝ සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පූජිත ද අපචිත ද චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්රත්යය භෛෂජ්ය පරිෂ්කාර ලබන සුල්ලෝ ද වෙති. එහෙත් අනඳයෙනි, යම් කලෙක වනාහි තථාගත අර්හත් සම්යක් සම්බුදුවරු ලොවැ උපදිත් ද, එකල්හි අන්තොටු පිරිවැජියෝ අසත්කෘත ද අගුරුකෘත ද අමානිත ද අපූජිත ද අනපචිත ද, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්රත්යය භෛෂජ්යපරිෂ්කාර නොලබන සුල්ලෝ ද වෙත්. අනඳයෙනි, යම් කලෙක වනාහි තථාගත අර්හත් සම්යක් සම්බුදුවරු ලොවැ උපදිද් ද, එකල්හි අන්තොටු පිරිවැජියෝ අසත්කෘත ද අගුරුකෘත ද අමානිත ද අපූජිත ද අනපචිත ද, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්රත්යය භෛෂජ්ය පරිෂ්කාර නොලබන සුල්ලෝ ද වෙත්. දැන් තථාගත තෙමේත් භික්ෂූ සඞ්ඝයාත් ම සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පූජිත ද අපචිත ද, චීවරපිණ්ඩපාත ශයනාසන ග්ලානප්රත්යය භෛෂජ්ය පරිෂ්කාර ලබන සුලු වෙති”යි භාග්යවතුන් වහන්සේ වදාළ සේක.
3. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“යම් තාක් හිරු නො නඟී ද, එ තාක් කල් ඒ කදෝපැණි තෙම බබලයි. හිරු නැගි කල්හි කදෝපැණි තෙම නටුවා වූ ප්රභා ඇත්තේ වේ. නො ද බබලයි.
එසේ යම් තාක් කල් සම්මාසම්බුදුහු ලොවැ නො උපදිත් ද ඒ තාක් ම තාර්කික වූ තීර්ත්ථකයන්ගේ බැබලීම වේ. (යම් කලෙක බුදුහු පහළ වෙත් ද එ කල්හි) තාර්කිකයෝ (දෘෂ්ටිගතිකයෝ) නො බබලත්. ඔහු සව්වෝ ද නො බබලත්. මිසදිටු ගත් ඔහු දුකින් නො මිදෙත්.”
සවන ජාත්යන්ධවර්ගය යි.
එහි උද්දානය:
ආයු ජටිල පච්චවෙක්ඛණ යන සූත්ර ද, තීර්ත්ථක සූත්ර තුන ද, සුභූති ගණිකා හා නවවන උපාතිධාවන සූත්රය ද , තථාගතුප්පාද සූත්රය දැ යි ඒ සූත්රදශ දෙනෙකි.
චූල්ල වර්ගය
7. 1.
ප්රථම භද්දිය සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬු අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ ලකුණ්ටකභද්දිය තෙරුනට නොයෙක් කරුණින් දැහැමි කතායෙන් අනිත්ය ලක්ෂණාදිය දක්වති. තිලකුණු අරමුණු කොටැති විවසුන් ගන්වති. එහි ඔවුන් සිත තියුණු කරති. එහි ඔවුන් සිත තුටුපහටු කරවති. ඉක්බිත්තෙන් සැරියුත් තෙරුන් විසින් නොයෙක් කරුණින් දැහැමි කතාවෙන් ත්රිලක්ෂණාදිය දක්වනු ලබන, විවසුන් ගන්වනු ලබන, එහි සිත තියුණු කරනු ලබන, එහි සිත තුටුපහටු කරනු ලබන ලකුණ්ටකභද්දිය තෙරුන්ගේ සිත ආස්රවයන් කෙරෙන් මිදුණේ ය. භාග්යවතුන් වහන්සේ, සැරියුත් තෙරුන් විසින් නොයෙක් කරුණින් දැහැමි කතායෙන් අනිත්යලක්ෂණාදිය දක්වනු ලබන, විවසුන් ගන්වනු ලබන, එහි සිත තියුණු කරනු ලබන, එහි සිත තුටු කරවනු ලබන, උපාදාන රහිත ව ආස්රව කෙරෙන් සිත මුදාලන ලකුණ්ටකභද්දිය තෙරුන් දුටු සේක.
2. ඉක්බිත්තෙන් භාග්යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූහ:
“උඩ රූපාරූප ලෝකයෙහි ද, යටැ කාම ලෝකයෙහි ද සියලු සංස්කාරයෙහි හැම අයුරෙන් ම (කෙලෙසුන්ගෙන්) මිදුණු (රූපාදියෙහි) “මේ මම් වෙමි”යි නො දක්නා, මෙසේ මිදුණු රහත් තෙමේ පෙර තරණය නො කළ කාමාදි චතුර්විධ ඕඝය නැවත සසරැ නො වනු පිණිස (හෙවත් නිවන් පිණිස) තරණය කොට එ ගොඩැ සිටියේ ය.”
7. 2.
ද්විතීය භද්දිය සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් නම් වූ අනේපිඬුහු අරමැ වැඩ වසන සේක. එසමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ ලකුණ්ටකභද්දිය තෙරුන් ශෛක්ෂකයකු කොට හඟිනුවෝ පමණ ඉක්මැ නොයෙක් කරුණින් දැහැමි කතායෙන් අනිත්යාදිය දක්වයි, ගන්වයි, එහි තියුණු කෙරෙයි, තුටු පහටු කෙරෙයි. භාග්යවතුන් වහන්සේ ලකුණ්ටකභද්දිය තෙරුන් ශෛක්ෂකයකු කොට හඟිමින් පමණ ඉක්මැ නොයෙක් කරුණින් දැහැමි කතාවෙන් අනිත්යාදිය දක්වන, ගන්වන, එහි තියුණු කෙරෙන, තුටු පහටු කරන සැරියුත් තෙරුන් දුටු සේක.
2. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි ම් උදන් ඇනූහ:
“කෙලෙස්වට මුල් සින්දේ ය. නිරාශය (නිවන) අවබෝධ කෙළේ ය. තෘෂ්ණානදිය වියැලිණ. මෙයින් පසු එය නො ගලයි. (එහෙයින්) කම්වට නො පවතී. මෙය ම දුකේ කෙළවර යි.”