5. 6.
සෝණ සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි මහකසයින් තෙරණුවෝ අවන්තිරට කුරරඝර නුවර සමීපයෙහි පවත්ත නම් පව්වෙහි වැඩ වසන සේක. එ කල්හි සෝණ කුටිකණ්ණ උපාසක තෙම මහකසයින් තෙරුන්ගේ උපස්ථායක වෙයි. එකලැ වනාහි එකලා වූ චිත්තවිවේකයෙන් යුක්ත වූ සෝණකුටිකණ්ණ උපාසකයාට, “ආර්ය්ය වූ මහකසයින් තෙරණුවෝ යම් යම් සේ දහම් දෙසත් ද, එසේ එසේ නුවණින් සලකා බලන මට ගිහි ගෙයි වසන මා විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට ඒකාන්තයෙන් පිරිසිදු කොට ශංඛලිඛිතයක් සේ කොට මේ බඹසර රක්නට නො හැකි වේ, මම් කෙහෙරවුළු බා කසාවත් හැඳ ගිහි ගෙන් නික්මැ සසුන් වදින්නෙම් නම් ඉතා යෙහෙකැ”යි මේ සිත විය.
2. ඉක්බිත්තෙන් සෝණ කුටිකණ්ණ උපාසක තෙම මහකසයින් තෙරුන් කරා එළැඹියේ ය. එළැඹ මහකසයින් තෙරුන් ආදරයෙන් වැඳ එකත්පසෙක හුන්නේ ය. එක් පසෙක හුන් සෝණකුටිකණණ උපාසක තෙම මහකසයින් තෙරුන්ට “වහන්ස, මෙහි හුදෙකලා ව චිත්තවිවේකයෙන් යුක්ත වූ මට මේ සිත විය: “යම් යම් සේ ආර්ය්ය මහකසයින් තෙරණුවෝ දහම් දෙසත් ද, එසේ එසේ නුවණින් සලකන මට ‘මේ සසුන බඹසර ගිහිගෙයි වසන්නාහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශඞ්ඛලිඛිතය සේ කොට පුරන්නට පහසු නො වේ. මම් කෙහෙ රවුළු බා කසාවත් හැඳ ගිහි ගෙන් නික්මැ සසුන් වදින්නෙම් වීම් නම් යෙහෙකැ’යි මේ සිත විය. වහන්ස, ආර්ය්ය වූ කසයින් තෙරණුවෝ මා පැවිදි කෙරෙත්වා”යි මෙ බස් කී ය.
3. මෙසේ කී කල්හි මහකසයින් තෙරණුවෝ සෝණකුටිකණ්ණ උපාසකයාට, “සෝණයෙනි, දිවි ඇතිතාක් එක්බත, එකලා ශයනය, බඹසර යන මෙය දුෂ්කර ය. එ බැවින් සෝණයෙනි, තෙපි එහි ගිහිව ම චාතුද්දසී පඤ්චදසී ආදි සුදුසු කාලය හා යෙදුණු එක්බත එකලා ශයනය බඹසර යන බුදුවරුන්ගේ ශාසනයෙහි යෙදෙවු”යි වදාළහ. එකල්හි සෝණ කුටිකණ්ණ උපාසකයාට, පැවිද්දට යම් උත්සාහයෙක් වී නම් එය සංසිඳිණ.
4. දෙවෙනි වරැ ද, හුදකලා වූ චිත්තවිවේකයෙහි යෙදුණු සෝණ කුටිකණ්ණ උපාසකයාට, “යම් යම් සේ ම ආර්ය්ය වූ මහකසයින් තෙරණුවෝ දහම් දෙසත් ද, ඒ ඒ අයුරින් නුවණින් සලකා බලන මට “ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශඞ්ඛලිඛිතය සේ කොට මේ බඹසර පුරන්නට පහසු නො වේ, මම් කෙස්රවුළු බා කසාවත් හැඳ ගිහිගෙන් නික්මැ සසුන් වන්නෙම් වීම් නම් ඉතා යෙහෙකැ”යි මේ සිත විය. දෙවෙනි වරැ ද, සෝණ කුටිකණ්ණ උපාසක තෙම මහකසයින් තෙරුන් කරා එළැඹියේ ය. එළැඹ ඔබට, “වහන්ස, යම් යම් සේ ආර්ය්ය මහකසයින් තෙරණුවෝ දහම් දෙසත් ද, එසේ එසේ නුවණින් සලකන මට මේ සසුන් බඹසර ගිහි ගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශඞ්ඛලිඛිතය සේ කොට පුරන්නට පහසු නො වේ. මම් කෙහෙ රවුළු බා දමා කසාවත් හැඳ පෙරෙව ගිහි ගෙන් නික්මැ සසුන් වදින්නෙම් නම් ඉතා යෙහෙකැ’යි මෙහි හුදෙකලා ව චිත්තවිවේකයෙන් යුක්ත වූ මට මේ සිත විය. ආර්ය්ය වූ මහකසයින් තෙරණුවෝ මා පැවිදි කෙරෙත්වා”යී කී ය.