5. 7.
රේවත සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් නම් වූ අනේපිඬු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි කඞ්ඛාරේවත තෙරණුවෝ පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා තමන්ගේ කාඞ්ක්‍ෂාවිතරණවිශුද්ධිය නුවණින් බලනුවෝ භාග්‍යවතුන්ට නොදුරෙහි හුන්නාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේ පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා තමන්ගේ කාඞ්ක්‍ෂාවිතරණවිශුද්ධිය නුවණින් බලමින් නොදුරෙහි හුන් කඞ්ඛාරේවත තෙරුන් දුටු සේක.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“මේ අත්බව්හි හෝ අතීතානාගත අත්බව්හි, සිය අත්බව් අරමුණු කොට පවත්නා හෝ මෙරමා අත්බව් අරමුණු කොට පවත්නා හෝ යම් සැකයෙක් වේ ද, ඒ සියල්ල කෙලෙස් තවන වැර ඇති, බඹසර සරන්නා වූ ධ්‍යානයෙහි ඇලුණාහු දුරැ ලති.”
5. 8.
නන්‍ද සූත්‍රය (සඞ්ඝභේද)
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරැ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි අනඳ තෙරණුවෝ පොහොලත් එදින පෙරවරු වේලෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පිවිසියහ. දෙව්දත් තෙර රජගහ නුවරැ පිඬු පිණිස හැසිරෙන අනඳ තෙරුන් දිටී. දැක, අනඳ තෙරුන් වෙත එළැඹියේ ය. එළැඹැ අනඳ තෙරුනට ‘ඇවැත් අනඳය, අදින් ඉදිරියට මම් භාග්‍යවතුන් වහන්සේගෙන් වෙන් ව ම, භික්‍ෂූසඞ්ඝයාගෙන් වෙන් ව ම පොහෝ ද සඞ්ඝකර්‍ම ද කරන්නෙමි’යි කී ය. එකල්හි අනඳ තෙරණුවෝ රජගහ නුවරැ පිඬු පිණිස හැසිරැ බතින් පසු, පිණ්ඩපාතයෙන් පෙරළා ආයේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නෝ ය. එක් පසෙක හුන්නා වූ ම අනඳ තෙරණුවෝ ‘වහන්ස, මම් පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන මෙහි රජගහ නුවරට පිඬු පිණිස පිවිසියෙමි. වහන්ස, රජගහ නුවර පිඬු පිණිස හැසිරෙන මා දෙව්දත් තෙර දිටී ය. දැක මා වෙත ආයේ ය. අවුත් මට “ඇවැත් අනඳ ය, අදින් ඉදිරියට මම් භාග්‍යවතුන් වහන්සේගෙන් වෙන් ව ම, භික්‍ෂූසඞ්ඝයාගෙන් වෙන් ව ම, පොහෝ කරන්නෙමි, සඞ්ඝකර්‍ම ද කරන්නෙමි’යි මට මෙය කී ය. වහන්ස, අද දෙව්දත් තෙම සඞ්ඝයා දෙකඩකට බිඳින්නේ ය, වෙන් ව ම පොහෝ ද සඞ්ඝකර්‍ම ද කරන්නේ යැ”යි සැළ කළහ.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන, එ වේලෙහි මේ උදන් ඇනූහ:
“සත්පුරුෂයා විසින් හොඳ දැය සුව සේ කට හැකි ය. පවිටහු විසින් හොඳ දැය කරනු නො හැක්ක. පවිටා විසින් පව සුව සේ කට හැකි ය. ආර්‍ය්‍යයන් විසින් පව කරනු නො හැක්ක.”
5. 9.
සද්ධායමාන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂුසමූහයක් හා කොසොල් රටැ සැරි සරන සේක. එ සමයෙහි වනාහි බොහෝ (බමුණු) තරුණයෝ මෙරමාට හෙලා තළා බස් දොඩන්නාහු භාග්‍යවතුන් වහන්සේට නොදුරු තැන්හි ඉක්මැ යෙත්. භාග්‍යවතුන් වහන්සේ එසේ අනුනට හෙලා තළා බස් දොඩමින් යන ඒ බමුණු තරුණයන් දුටු සේක.
2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන එ වේලෙහි මේ උදන් ඇනූහ:
“මුළා සිහි ඇති, පණ්ඩිතප්‍රතිරූපක වූ, මුඛාරූඪ වූවක් ම කියන සුලු, යම් පමණට මුව ඇරීම කැමැති ද, එ පමණ ම කියන්නා වූ, මුළාසිහි ඇති බව් ආදි යමෙකින් මෙහෙයන ලද්දාහු ‘අපි මෙසේ නො සුදුසු බසක් ම කියමු’යි නො දනිත්.”
5. 10.
පන්‍ථක සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි චුල්ලපන්‍ථක තෙරණුවෝ පලක් බැඳ, කය ඍජු කොට පිහිටුවා, සිහිය අරමුණට යොමු කොට එළවා, භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි හුන්නාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේ පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා සිහි අරමුණට යොමු කොට තබා නොදුරෙහි හුන් චුල්ලපන්‍ථක තෙරුන් දුටු සේක.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන, එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“මනාව සිටි කයින්, සමාධිගත වැ සිටි සිතින්, සිටින්නේ හෝ හිඳින්නේ හෝ වැද හෝනේ මේ සිහිය ඉටන (මේ එළැඹ සිටි සිහියෙහි පිහිටා සිටුනා) මහණ තෙමේ (ශමථ විදර්‍ශනා වශයෙන්) පෙර පසු පවත්නා භාවනා විශේෂය ලබන්නේ ය. පෙර පසු විසින් පැවැති භාවනා මඟින් ලත් විශේෂ ධර්‍මය (රහත් බව) ලැබ මෘත්‍යුරාජයාගේ (මරණයාගේ) අදර්‍ශනයට (මරහුට ගොදුරු නොවන තැනට) යන්නේ ය.”
පස්වන සෝණවර්‍ගය යි.
එහි උද්දානය:
රාජ, අප්පායුක, කුට්ඨි, කුමාරක, උපෝසථ, සෝණ, රේවත, නන්‍ද, සද්ධ, පන්‍ථක යනු මෙහි සූත්‍රයෝ ය.