5. 5.
උපෝසථ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ සමීපයෙහි වූ මෘගාරිමාතෘප්‍රාසාද නම් වූ පූර්‍වාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ පොහොලත් එදින බික්සඟන විසින් පිරිවරුණාහු වැඩහුන් සේක් වෙති. එකල්හි අනඳ තෙරණුවෝ රෑ බොහෝ වේලා ඉක්මැ ගිය කල්හි, පළමු යම ගෙවුණු කල්හි හුනස්නෙන් නැඟි සිට සිවුර එකස් කොට භාග්‍යවතුන් දසට ඇඳිලි නමා “වහන්ස, රෑ බොහෝ ඉක්මියේ ය. පෙර යම ගෙවිණ. බික්සඟ හිඳගත් බොහෝ වේලා ඇත්තේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට පාමොක් දෙසන සේක්වා”යි කීහ. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භූත වු සේක. දෙවෙනි වර ද අනඳ තෙරණුවෝ රැය බොහෝ ඉක්මුණු කල්හි, මැදුම්යම ගෙවුණු කල්හි හුනස්නෙන් නැගිට, සිවුර එකස් කොට භාග්‍යවතුන් වහන්සේ දසට ඇඳිලි නමා, “වහන්ස, රෑ බොහෝ ඉක්මැ ගියේ ය. මැදුම් යම ගෙවිණ … පාමොක් උදෙසන සේක්වා”යි කීහ. දෙවෙනි වරද භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භූත වු සේක. තෙවෙනි වර ද අනඳ තෙරණුවෝ රෑ බොහෝ ඉක්මි කල්හි, පැසිම් යම ගෙවුණු කල්හි අරුණු නැඟි කල්හි රෑ පාන වන වේලෙහි හුනස්නෙන් නැගී සිට සිවුර එකස් කොට, භාග්‍යවතුන් වහන්සේ දසට ඇඳිලි නමා “වහන්ස, රෑ බොහෝ ඉක්ම ගියේ ය. පැසිම් යම ගෙවුණේ ය. අරුණු නැංගේ ය. රෑ පාන් වීමට ළං වැ ඇත. බික්සඟහු හිඳගත් බොහෝ වේලා ඇත්තාහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පාමොක් උදෙසන සේක්වා”යි කීහ. ‘අනඳයෙනි, පිරිස අපිරිසිදු යැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
2. එකල්හි ‘අනඳයෙනි, පිරිස අපිරිසිදු යැ’යි භාග්‍යවතුන් වහන්සේ කවර පුගුලකු සඳහා මෙසේ වදාළ සේක් දැ?’යි මහමුගලන් තෙරණුවන්ට මේ සිත විය. ඉක්බිති මහමුගලන් තෙරණුවෝ එක් කෙනෙකුනුදු නොහැර සියලු ම භික්‍ෂුසඞ්ඝයා සිය සිතින් ඔවුන් සිත පිරිසිඳැ බැලූ සේක. පාපස්වභාවය ඇති, සැකයෙන් සිහි කටයුතු පැවතුම් ඇති, වැසුණු කර්‍ම ඇති, අශ්‍රමණ වූ, ශ්‍රමණයෙමි යි ප්‍රතිඥා ඇති, බඹසර නැති, බඹසැරිමි යි පිළින ඇති, ඇතුළත කුණු වූ, රාගාදි කෙලෙස් වැස්සෙන් තෙත් වූ, හටගත් කෙලෙස් කසළ ඇති, බික්සඟන මැද හුන් ඒ දුසිල් පුඟුලා ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ දුටහ. දැක හුනස්නෙන් නැගිට ඒ පුගුලා වෙත වැඩියහ. වැඩ ඇවැත, නැඟීසිටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි. තොපට භික්‍ෂූන් හා සහවාසයෙක් නැතැ යි වදාළහ. එකලැ එ පුගුල් නිහඬ වැ හුන්නේ ය. දෙවෙනි වර ද මහමුගලන් තෙරණුවෝ එ පුගුලාට ‘ඇවැත, නැඟීසිටුව. භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි. තොපට භික්‍ෂූන් හා එක් වැ විසීමෙක් නැතැ’යි වදාළහ. දෙවෙනි වර ද එ පුගුලා නිහඬ වැ හුන්නේ ය. තෙවෙනි වරද, මහමුගලන් තෙරණුවෝ ‘ඇවැත, නැඟීසිටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි. තොපට භික්‍ෂූන් හා එක් වැ විසීමෙක් නැතැ”යි වදාළහ. තෙවෙනි වරද, එ පුගුලා නිහඬ වැ හුන්නේ ය.
3. එකල්හි මහමුගලන් තෙරණුවෝ ඒ පුගුලා අතැ ගෙන දොරොටුවෙන් පිටතට නික්මවා අගුල්හිද්ද ද මත්තෙහි ඝටිකාව ද ලා (මොනොවට දොර වසා) භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට, “වහන්ස, ඒ පුගුලා මා විසින් නික්මවන ලද්දේ ය. පිරිස පිරිසිදු ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට පාමොක් උදෙසන සේක් වා”යි සැළ කළහ. “ආශ්චර්‍ය්‍යය, මුගලනෙනි, අද්භූත ය, මුගලනෙනි, අතින් ගන්නා තුරු ම ඒ හිස් පුරිස් තෙම ලැසි වූයේ යැ!”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක: “මහණෙනි, දැන් මෙයින් මතු පොහෝ නො කරන්නෙමි. පාමොක් නො උදෙසන්නෙමි. මහණෙනි, දැන් මෙයින් මතු තෙපි ම පොහෝ කරවු. පාමොක් උදෙසවු. මහණෙනි, ‘තථාගත තෙම අපිරිසිදු පිරිසෙහි පොහේ කරන්නේ ය, පාමොක් උදෙසන්නේ ය’ යන යමෙක් ඇද් ද. මෙය නොකරුණෙකි, නොවිය හැක්කෙකි.
5. මහණෙනි, යම් දෑ දැක දැක අසුරයෝ මහමුදෙහි ඇලෙත් නම් මහමුදෙහි වූ මේ අසිරිමත් පුදුම අටෙකි. කවර අටෙක් ද? යත්:
(1) මහණෙනි, මහමුහුද පිළිවෙළින් නිම්න ය. පිළිවෙළින් නැඹුරු ය. පිළිවෙළින් නිම්නයට බර වූයේ ය. එක එල්ලේ ම බෑවුම නො වේ. මහණෙනි, මහමුහුද පිළිවෙළින් නිම්න ය, පිළිවෙළින් නැඹුරු ය. පිළිවෙළින් නිම්නයට බර වූයේ ය. එක එල්ලේ ම බෑවුම නො වේ යන යමෙක් ඇද්ද, මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම් ඒ පළමුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ වේ.
(2) තව ද මහණෙනි, මහමුහුද ස්ථිත ස්වභාව ඇත්තේ වෙරළ ඉක්ම නො යෙයි. මහණෙනි, මහමුහුද ස්ථිත ස්වභාව ඇත්තේ වෙරළ ඉක්ම නොයේ යන යමෙක් ඇද්ද, මහණෙනි, මේ තෙම යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම් ඒ දෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.