4. 9.
උපසේන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරැ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ කල්හි එකලා වූ, චිත්තවිවේකයෙන් යුක්ත වූ වඞ්ගාන්තපුත්‍ර උපසේන තෙරුනට “අහෝ! මේ මනුෂ්‍යත්‍වාදීහු ඒකාන්තයෙන් මා ලත් ලාභයෝ ය. මා ලත් සහනැ, පැවිදි උපසපු ආදිය අහෝ! ඒකාන්තයෙන් මොනොවට ම ලද්දේ ය! භාග්‍යවත් වූ මාගේ ශාස්තෘ ද ඒකාන්තයෙන් සම්‍යක්සම්බුද්ධ ය. මොනොවට වදාරන ලද දහම් විනය ඇති කල්හි ගිහිගෙන් නික්ම සසුන් වනිමි. මාගේ සබ්රම්සරුහු ද සිල්වත්හ, කලණ දහම් ඇත්තෝ ය. මම් ද ශීලයන්හි පරිපූරකාරී වෙමි. එකඟ වූ සිතැතියෙම් සමාහිත ද වෙමි. ආස්‍රව ක්‍ෂීණ කළ රහතෙකිම් ද වෙමි. මහත් ඍද්ධි ඇතියෙම්, මහත් අනුභාව ඇතියෙම් ද වෙමි. මාගේ ජීවත් වීම ද මැනැවි. මාගේ මරණය (ස්කන්‍ධපරිනිර්‍වාණය) ද මැනැවි”යී මෙසේ චිත්තසංකල්පයෙක් පහළ විය.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සිය සිතින් වඞ්ගාන්තපුත්‍ර වූ උපසේන තෙරුන්ගේ චිත්තපරිවිතර්‍කය දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“ජීවිතය තෙම (හෙවත් නැවැත ස්කන්‍ධයන්ගේ පැවැත්ම) යම් පුඟුලකු නො පෙළා ද, මරණ සඞ්ඛ්‍යාත අවසානයෙහි හෝ නො සොවී ද, දක්නා දුඃඛාදි සත්‍යපද ඇති ධීර තෙම ශෝකහෙතූන් මැද නො සොවී.
මුල් සුන් කළ භවතෘෂ්ණා ඇති, සංහුන් සිතැති මහණහුගේ ජාත්‍යාදි වූ සංසාරය වෙසෙසින් ක්‍ෂීණ වූයේ වේ. ඔහුට පුනර්‍භවයෙක් නැත.“
4. 10.
ශාරීපුත්‍ර සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ ජේතවන නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ පලක් බැඳ, කය ඍජු කොට පිහිටුවා තමන්ගේ ක්ලේශව්‍යුපශමය නුවණින් සලකා බලනුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි වැඩ හුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා තමන්ගේ ක්ලේශව්‍යුපශමය නුවණින් සලකා බලමින් වැඩ හුන් සැරියුත් තෙරුන් දුටු සේක් ම ය.
2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“උපශාන්ත වූ සංහුන් සිතැති, සුන් කරන ලද භවතෘෂ්ණා ඇති, මහණහුගේ ජාත්‍යාදි සංසාරය වෙසෙසින් ක්‍ෂීණ ය. හේ මරු බැම්මෙන් මිදුණේ ය.
සිවුවන මෙඝියවර්‍ගය යි.
එහි උද්දානය:
මේඝිය, උද්ධත, ගෝපාල, ජුණ්හ, නාග සූත්‍රයන් පස්වැන්න ද, පිණ්ඩෝල, සාරිපුත්ත, අටවන සුන්‍දරී, උපසේනවංගන්තපුත්ත, සාරිපුත්ත දැ යි ඒ සූත්‍ර දශයෙකි.
සෝණ වර්‍ගය
5. 1.
රාජ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි පසේනදී කෝසල රජ මල්ලිකාදේවිය හා පහයෙහි උඩුමහල්තලයට පැමිණියේ වේ. එ කල්හි පසේනදී කෝසල රජ තෙම මල්ලිකා දේවිය බණවා, “මල්ලිකාවෙනි, තමනට වඩා ප්‍රිය වූ කිසි අන් කෙනෙක් තොපට ඇද් දැ?යි”යි ඇසී ය.
“මහරජාණනි, මට තමාට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් නැත් ම ය.
මහරජාණනි, මුබට වනාහි තමනට වඩා ප්‍රිය වූ කිසි අන් කිසිවෙක් ඇත් දැ?යි” මල්ලිකා දේවී ඇසුවා ය.
“මටත් මල්ලිකාවෙනි, තමාට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් නැතැ”යි පසේනදී කොසොල් රජ කීය.
2. ඉක්බිත්තෙන් පසේනදී කොසොල් රජ පහයෙන් බැස, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ, එකත්පසෙකැ හිඳ ගත. එකත්පසෙක හුන්නාවූ ම පසේනදී කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය.
“වහන්ස, මෙහි මම් මල්ලිකා දේවිය හා පහයෙහි උඩුමහල්තලයට පැමිණියෙම්, මල්ලිකා දේවිය බණවා, “මල්ලිකාවෙනි, තමනට වඩා ප්‍රිය වූ කිසි අන් කෙනෙක් තොපට ඇද්දැ?යි”යි ඇසීමි. එසේ ඇසූ කල්හි මල්ලිකා දේවි මට “මහරජාණනි, මට තමාට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් නැත් ම යැ”යි සැළ කළා. “මහරජාණනි, මුබට වනාහි තමනට වඩා ප්‍රිය වූ කිසි අන් කිසි කෙනෙක් ඇත් දැ?”යි ඔ ද පුළුවුත්. වහන්ස, එසේ පුළුවුත් කල්හි “මල්ලිකාවෙනි, මටත් තමාට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් නැතැ’යි මම් කීමි” යනු යි.
3. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය සලකා, ඒ වෙලායෙහි මේ උදන් ඇනූ සේක: