4. 8.
සුන්‍දරී සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර, ජේතවන නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ ලෝවැස්සා විසින් සත්කාර කරන ලද ගරු කරන ලද බුහුමන් කරන ලද පුදන ලද යටත්පැවතුම් දක්වන ලද සේක් වෙති. සිවුරු බොජුන් සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සේක් වෙති. අන්තොටු පිරිවැජ්ජෝ වනාහි සත්කාර නොලදුවෝ, ගුරුකාර නො ලදුවෝ, බුහුමන් නොලදුවෝ, පූජා නො ලදුවෝ, යටත්පැවතුම් නො ලදුවෝ වෙති. සිවුරු බොජුන් සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබන සුල්ලෝ වෙති.
2. ඉක්බිත්තෙන් ඒ අන්තොටු පිරිවැජ්ජෝ භාග්‍යවතුන් වහන්සේට ද භික්‍ෂුසඞ්ඝයාට ද ලැබෙන සත්කාර නො ඉවසන්නෝ, සුන්‍දරී පිරිවැජිය කරා එළැඹුණහ. එළැඹ, “බිහිනිය, නෑයනට වැඩක් කරන්නට හැක්කහු දැ”යි කීහ. “ආර්‍ය්‍යයෙනි, කුමක් කෙරෙම් ද? මා විසින් කට නොහැකි කිමෙක් ද? නෑයන්ගේ යහපත පිණිස දිවි පවා මා විසින් පරිත්‍යක්ත යැ”ඕ කිවු ය.
3. “එසේ නම් බිහිනිය, එක්වන් දෙව්රමට යව”යි ඔහු කීහ. “එසේ ය, ආර්‍ය්‍යයෙනි”යි කියා ම සුන්‍දරී පිරිවැජිය ඒ අන්තොටු පිරිවැජ්ජනට පිළිවදන් දී එක්වන් දෙව්රමට ගියා ය. ‘බොහෝ දෙනා විසින් දක්නා ලදු ව සුන්‍දරී පිරිවැජිය එක්වන් දෙව්රම් යේ’ යැ යි යම් විටෙක ඒ අන්තොටු පිරිවැජ්ජෝ දැන ගත්තාහු ද, එකල්හි ඇය දිවියෙන් තොර කොට, එහි ම ජේතවනයේ දිය අගලෙහි වළැ ලා පසේනදී කොසොල්රජු වෙත එළැඹියහ. එළැඹ, “මහරජ, යම් සුන්‍දරී නම් පිරිවැජියක් වූ ද, ඕ අප විසින් නො දක්නා ලබායැ”යි සැළ කළහ. “තෙපි කොහි සැක කරවු දැ?”යි රජ පිළිවිත. “මහරජ, ජේතවනයෙහි යැ”යි ඔහු කීහ. “එසේ නම් ජේතවනය සොයා බලව”යි රජ කීය.
4. ඉක්බිති ඒ අන්තොටු පිරිවැජ්ජෝ ජේතවනය පුරා සොයා හැවිද, තමන් වළැ ලූ පරිදි ම දිය අගලැ වළෙන් ගොඩට ගෙන ඇඳෙක නංවා, සැවැත්නුවරට පිවිස්වා (ඇතුළු කොට) වීථියෙන් වීථියට, තුන්මංහන්දියෙන් තුන්මංහන්දියට එළැඹ, මිනිසුන්හට මෙසේ කීහ:
“ආර්‍ය්‍යයෙනි, ශාක්‍යපුත්‍රීය මහණුන්ගේ කමක් බලව. මේ ශාක්‍යපුත්‍රීය මහණහු අලජ්ජීහු ය. දුශ්ශීලය හ. නිහීන පැවැතුම් ඇතියම්හ. මුසවා කියන්නෝය. බඹසර නැත්තෝ ය. මොවුහු වූ කලී ‘කුසල්දහම් සරනුවම්හ. සම හැසුරුම් ඇතියම්හ, බඹසැරියම්හ, සබවස් ඇතියම්හ, සිල්වතුම්හ, කලණසැහැවි ඇතියම්හ’යි පිළින දුන්හුය. මුන්ගේ මහණදමෙක් නැත. මුන්ගේ පව් බැහැරැ කළ බවෙක් නැත. මොවුන්ගේ මහණබව් නටුයේ ය. මොවුන්ගේ පව් බැහැරැ ලූ බව් නටුයේ ය. මොවුනට මහණබවෙක් කොයින් ද? මොවුන්ගේ පව් බැහැරැ ලූ බවෙක් කොයින් ද? මොහු මහණ බැවින් පහ වූහ. මොහු පව් බැහැරැ ලූ බව කෙරෙන් පහ වූහ. කෙසේ නම් පිරිමියෙක් මෙවුන්දම් සෙවැ ස්ත්‍රියක් දිවි ගළවා ද?” යනු යි.
5. එ කලැ සැවැත්හි මිනිස්සු භික්‍ෂූන් දැක, “මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ අලජ්ජීහු ය, දුශ්ශීලයෝ ය, පාපස්වභාව ඇැත්තෝ ය, මුසාවාදීහු ය. අබ්‍රහ්මචාරීහු ය. අපි ධර්‍මචාරීම්හ, සමචාරීම්හ, බ්‍රහ්මචාරීම්හ, සත්‍යවාදීම්හ, සිල්වතුම්හ, කලණදහම් ඇතියම්හ”යි මොහුදු පිළින දුන්හු. මොවුන්ගේ මහණකමෙක් නැත, මොවුන්ගේ බ්‍රාහහ්මණ බවෙක් නැත. මොවුන්ගේ මහණ බව නටුයේය, මොවුන්ගේ බ්‍රාහ්මණ බව නටුයේ ය. මොවුනට මහණ බවෙක් කොයින් ද? මොවුනට බ්‍රාහ්මණ බවෙක් කොයින් ද? මොහු මහණ බැවින් බැහැරැ වූවෝ ය. බ්‍රාහ්මණ බැවින් බැහැරැ වූවෝ ය. කෙසේ නම් පිරිමියෙක් මෙවුන්දම් සෙවැ ස්ත්‍රිය දිවියෙන් තොර කෙරේ දැ?”යි නොසැබි පරොස් බසින් අක්‍රොශ කෙරෙත්, පරිභව කෙරෙත්, රොස් උපදවත්, වෙහෙසත්.