4. 3.
ගෝපාල සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ මහත් භික්ෂුසඞ්ඝයා හා කොසොල් රටැ සැරි සරන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ මාර්ගයෙන් ඉවත් වැ එක්තරා රුක්මුලක් කරා එළැඹි සේක. එළැඹ පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක. එකල්හි එක්තරා ගොපල්ලෙක් භාග්යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ ගොපල්ලාට භාග්යවතුන් වහන්සේ දැහැමි කථාවෙන් (කුශලාදී ධර්මයන්) මොනොවට දැක්වූ සේක. (ශීලාදි ධර්ම) මොනොවට ගැන්වූ සේක. එහි මොනොවට උත්සාහවත් කළ සේක. එහි සතුටු කැරැවූ සේක.
2. ඉක්බිත්තෙන් ඒ ගොපලු තෙම භාග්යවතුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් කරුණු දක්වන ලද, (ශීලාදිය) මොනොවට ගන්වන ලද, එහි උත්සාහවත් කරන ලද, එහි තුටු පහටු කරවන ලද ඒ ගොපලු තෙම භාග්යවතුන් වහන්සේට ‘වහන්ස, භාග්යවතුන් වහන්සේ මාගේ බත බික්සඟන සමග සෙට දවසට ඉවසන සේක්වා’යි මෙ බස් කී ය. භාග්යවතුන් වහන්සේ තූෂ්ණීම්භාවයෙන් ඉවැසූ සේක. එකල්හි ගොපලු තෙම භාග්යවතුන් වහන්සේගේ ඉවසීම දැන, හුන්ස්නෙන් නැගී සිට, භාග්යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ, පැදකුණු කොට නික්මැ ගියේ ය. ඉක්බිති ඒ ගොපලු තෙම ඒ රෑ ඇවෑමෙන් සිය ගෙහි බොහෝ දිය නොමුසු කිරිබත් ද අලුත් ගිතෙල් ද පිළියෙල කරවා, ‘වහන්ස, කල් වෙයි. බත් (පිළියෙල කොට) නිමියේ යැ’යි භාග්යවතුන් වහන්සේට කල් දැන්වීය.
3. එකල්හි භාග්යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙනැ, බික්සඟන සමග ඒ ගොපල්ලාගේ ගෙට එළැඹි සේක. එළැඹ පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක. ඉක්බිත්තෙන් ඒ ගොපලු තෙම බුදුපාමෙක් සඟන දිය නොමුසු කිරිබතින් (හුදුකිරිබතින්) ද අලුත් ගිතෙලින් ද සැතැපවී ය, පැවැරවී ය. එ කල්හි ඒ ගොපලු තෙම දන් වැළැඳූ පාත්රයෙන් ඉවතට ගත් අතැති භාග්යවතුන් වහන්සේට එකත්පසැ එක්තරා මිටි අස්නක් ගෙනැ හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ ගොපලුහට භාග්යවතුන් වහන්සේ දැහැමි කථාවෙන් කරුණු දක්වා, සිල් ඈ ගන්වා, එහි උත්සාහවත් කොට, සතුටු කොට හුනස්නෙන් නැගී සිට නික්මැ ගියේය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ නික්මැ වැඩි නොබෝ කල්හි ගම් මායිම් අතරෙහි දී එක්තරා මිනිසෙක් ඒ ගොපල්ලා දිවියෙන් තොර කෙළේ ය.
4. එ කල්හි බොහෝ මහණහු භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ, එකත්පසෙකැ හුන්හ. එකත්පසෙකැ හුන්නා වූ ඒ මහණහු ‘වහන්ස, අද යම් ගොපල්ලකු විසින් බුදුපාමොක් සඟන දිය නොමුසු කිරිබතිනුත් අලුත් ගිතෙලිනුත් සියතින් සතපන ලද ද, පවරන ලද ද, වහන්ස, ඒ ගොපලු තෙම එක් මිනිසකු විසින් ගම්මායිම් අතරැදී දිවියෙන් තොර කරන ලදැ’යි භාග්යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
5. එ කල්හි භාග්යවතුන් වහන්සේ මෙ කරුණ දැන, එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“සතුරෙක් සතුරකුට හෝ වෛරියෙක් වෛරියකුට යම් අනය ව්යසනයක් කරන්නේ නම්, වරදවා පිහිටුවන ලද සිත ඔහු එයටත් වඩා පාපතරයකු කරන්නේ ය.”
4. 4.
යක්ඛපහාර සූත්රය (ජුන්හ සූත්රය)
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවරැ කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි සැරියුත් තෙරණුවෝ ද මහමුගලන් තෙරණුවෝ ද කොබෝකඳුරෙහි වෙසෙති. එ සමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ පුරපසැ රැයෙක අලුත බෑ හිසකෙසින් යුතු වැ, එක්තරා සමවතකට සමවැදැ එළිමහන්හි හුන්නාහු වෙති. එ කල්හි යහළු වූ යක්කු දෙදෙනෙක් කිසි කටයුත්තෙකින් උතුරු දෙසින් දකුණු දෙසට යෙති. ඒ යක්කු පුරපසැ රැයෙහි අලුත බෑ හිසකෙසින් යුතු වැ එළිමහනැ හුන් සැරියුත් තෙරුන් දුටහ. දැක එක් යකෙක් දෙවෙනි යකු බණවා, ‘යහළු, මේ මහණහු හිසෙහි පහරක් දෙන්නට මට සිතේ’යැ යි කීය. මෙසේ කි කලැ ඒ යක්තෙම අනෙකාට ‘යහළු, කම් නැත, මහණහට පහර නො දෙව. ඒ මහණ උතුම් ගුණැත්තෙක. මහත් ඍද්ධි ඇත්තෙක. මහානුභාව ඇත්තෙකැ’යි කී ය. දෙවෙනි වරැ ද ඒ යක් තෙම අනෙකාට යහළු, මේ මහණහු හිසැ පහර දෙන්නට මට සිතේ’යැ යි කීය. දෙවෙනි වරැ ද ඒ යක් තෙම අනෙකාට, ‘යහළු’, කම් නැත. මහණහට පහර නො දෙව. ඒ මහණ උතුම් ගුණැත්තෙක. මහත් ඍද්ධි ඇත්තෙක. මහානුභාව ඇත්තෙකැ’යි කී ය. තෙවැනි වරැ ද ඒ යක් තෙම අනෙකා බණවා, ‘යහළු’, මේ මහණහු හිසැ පහරක් දෙන්නට මට සිතේ’යැ යි කීය. තෙවැනි වරැ ද ඒ යක් තෙම අනෙකාට, යහළු, කම් නැත. මහණහට පහර නො දෙව. ඒ මහණ උතුම් ගුණැත්තෙක, මහත් තෙද බලැත්තෙකැ’යි කී ය.