4. 4.
යක්ඛපහාර සූත්රය (ජුන්හ සූත්රය)
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවරැ කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි සැරියුත් තෙරණුවෝ ද මහමුගලන් තෙරණුවෝ ද කොබෝකඳුරෙහි වෙසෙති. එ සමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ පුරපසැ රැයෙක අලුත බෑ හිසකෙසින් යුතු වැ, එක්තරා සමවතකට සමවැදැ එළිමහන්හි හුන්නාහු වෙති. එ කල්හි යහළු වූ යක්කු දෙදෙනෙක් කිසි කටයුත්තෙකින් උතුරු දෙසින් දකුණු දෙසට යෙති. ඒ යක්කු පුරපසැ රැයෙහි අලුත බෑ හිසකෙසින් යුතු වැ එළිමහනැ හුන් සැරියුත් තෙරුන් දුටහ. දැක එක් යකෙක් දෙවෙනි යකු බණවා, ‘යහළු, මේ මහණහු හිසෙහි පහරක් දෙන්නට මට සිතේ’යැ යි කීය. මෙසේ කි කලැ ඒ යක්තෙම අනෙකාට ‘යහළු, කම් නැත, මහණහට පහර නො දෙව. ඒ මහණ උතුම් ගුණැත්තෙක. මහත් ඍද්ධි ඇත්තෙක. මහානුභාව ඇත්තෙකැ’යි කී ය. දෙවෙනි වරැ ද ඒ යක් තෙම අනෙකාට යහළු, මේ මහණහු හිසැ පහර දෙන්නට මට සිතේ’යැ යි කීය. දෙවෙනි වරැ ද ඒ යක් තෙම අනෙකාට, ‘යහළු’, කම් නැත. මහණහට පහර නො දෙව. ඒ මහණ උතුම් ගුණැත්තෙක. මහත් ඍද්ධි ඇත්තෙක. මහානුභාව ඇත්තෙකැ’යි කී ය. තෙවැනි වරැ ද ඒ යක් තෙම අනෙකා බණවා, ‘යහළු’, මේ මහණහු හිසැ පහරක් දෙන්නට මට සිතේ’යැ යි කීය. තෙවැනි වරැ ද ඒ යක් තෙම අනෙකාට, යහළු, කම් නැත. මහණහට පහර නො දෙව. ඒ මහණ උතුම් ගුණැත්තෙක, මහත් තෙද බලැත්තෙකැ’යි කී ය.
2. ඉක්බිති ඒ යක් තෙමේ අනෙකාගේ බස නො තකා, සැරියුත් තෙරුන්ගේ හිසැ පහරක් දුන්නේ ය. එ පහරින් සත්රියන් හෝ සත්රියන් වියත් පමණ වු ඇතකු හෝ බිමැ ගැළහිය හෙන්නේ නම්, මහගිරිකුළක් හෝ පළා දැමියැ හෙන්නේ නම් ඒසා මහපහරෙක් විය. එතෙකුදු වුවත් ඒ යක් තෙම ‘දැවෙමි, දැවෙමි’යි කියමින් එහි ම (පොළොවෙහි ගැළ) මැරී මහා නිරයට වැටුණේ ය. (අවීචි නිරයෙහි උපන්නේ ය.)
3. මහමුගලන් තෙරණුවෝ මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මැ සිටි පිරිසුදු වූ දිවැසින් ඒ යකු විසින් සැරියුත් තෙරුන්ගේ හිසැ දුන් පහර දුටහ. දැක සැරියුත් තෙරුන් කරා එළැඹියහ. එළැඹ සැරියුත් තෙරුන් අමතා, ‘ඇවැත්නි, කිම? මුබට සැහිය හැකි ද? කිම? යැපිය හැකි ද? කිම කිසි දුකෙක් නැද්ද?’යි අසා වදාළහ. ‘ඇවැත්නි, මුගලන් තෙරණුවනි, මට සැහිය හැක්ක: මට යැපිය හැක්ක. එහෙත් මා හිස මඳ රිදුමෙක් වේ’යි සැරියුත් තෙරණුවෝ වදාළහ.
4. “ඇවැත් සැරියුත්නි, සැරියුත් තෙරණුවෝ කොතරම් මහර්ද්ධිමත් ද, කොතරම් මහානුභාව ඇත්තෝ ද! යනු ආශ්චර්ය්ය ය, අද්භූත ය. ඇවැත් සැරියුත්නි, එක්තරා යකෙක් මෙහි මුබ හිසැ පහරක් දුන්නේ ය. ඒ පහරින් සත්රියන් හෝ සත්රියන් හමාරක් පමණ වූ ඇතකු නමුදු බිමැ ගැළහිය හෙන්නේ නම් මහත් වූ පව්කුළක් නමුදු පළා ලියැ හෙන්නේ නම් ඒසා මහපහරෙක් විය. එතෙකුදු වුවත් සැරියුත් තෙරණුවෝ “ඇවැත් මොගල්ලානයෙනි, මට සැහිය හැක්ක. ඇවැත් මොගල්ලානය, මට යැපියැ හැක්ක, එහෙත් මා හිසැ මඳ රිදුමෙක් වේ යැයි මෙසේ කියති”යි මහමුගලන් තෙරණුවෝ වදාළහ. එවිට සැරියුත් තෙරණුවෝ, “අපි නම් දැන් මෙහි පාංශුපිහාචයකුදු නො දකුම්හ. එසේ වූ මෙ තන්හි යකකුදු දක්නා තරම් මහමුගලන් තෙරණුවෝ මහර්ද්ධිමත්ය මහානුභාව ඇත්තෝ ය. ආශ්චර්ය්ය ය, ඇවැත් මහමුගලන් තෙරුනි, අද්භූත ය, මහමුගලන් තෙරුනි”යි වදාළහ. භාග්යවතුන් වහන්සේ මිනිස්විසය ඉක්මැ පැවැති පිරිසිදු දිවකන්නුවණින් ඒ අගසවු දෙ නමගේ මේ මෙ බඳු කථාසංලාපය අසා වදාළ සේක.
5. ඉක්බිත්තෙන් භාග්යවතුන් වහන්සේ මෙ කරුණ දැන ඒ වේලෙහි මේ උදන් ඇනු සේක:
“යමකුගේ සිත ගල්පව්වක් මෙන් සිටියේ අටලෝදහමින් නො සැලේ ද, රාගය ඉපැත්මට හේතු වූ සියලු ත්රෛභූමක ධර්මයන්හි නො ඇලේ ද, කෝපය ඉපැත්මට හේතු වූ සියලු ආඝාතවස්තුයෙහි නො කිපේ ද, යමක්හුගේ සිත මෙසේ වඩනා ලද ද, ඔහු කරා දුකෙක් කොයින් එන්නේ ද? නො එන්නේ ම ය.”