3. 9.
ශිල්ප සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ දෙව්රම් නම් වූ අනේපිඬුසිටුහු අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි පසුබත් සෙමෙහි පිණ්ඩපාතයෙන් පෙරළා ආ මණ්ඩලමාළයෙහි එක්වැ හුන් එක්රැස් වූ මහණුන් අතුරෙහි “ඇවැත්නි, කවරෙක් නම් ශිල්ප දනී ද? කවරෙක් කවර ශිල්පයක් උගත්තේ ද? කවර ශිල්පයෙක් ශිල්ප අතුරෙහි අග්ර දැ?”යි මේ කථාව උපන.
2. එහි ඇතැම් කෙනෙක් ‘හස්තිශිල්පය ශිල්ප අතුරෙහි අග්ර යැ’යි කීහ. සමහරු අශ්වශිල්පය ශිල්ප අතුරෙහි අග්ර යැ’යි කීහ. රථශිල්පය ශිල්ප අතුරෙහි අග්රයැ’යි කෙනෙක් කීහ. ‘ධනුශිල්පය ශිල්ප අතුරෙහි අග්ර යැ’යි ඇතැම්හු කීහ. ආයුධශිල්පය සිප් අතුරෙහි අග්ර යැ’යි සමහරු කීහ. ‘මුද්රාශිල්පය ශිල්ප අතුරෙන් අග්ර යැ’යි සමහරු කීහ. ‘ගණනාශිල්පය ශිල්ප අතුරෙහි අග්ර යැ’යි සමහරු කීහ. සඞ්ඛ්යානශිල්පය ශිල්ප අතුරෙන් අග්ර යැ’යි සමහරු කීහ. ‘ලෙඛනශිල්පය ශිල්ප අතුරෙහි අග්ර යැ’යි සමහරු කීහ. ‘කාව්යශිල්පය ශිල්ප අතුරෙන් අග්ර යැ’යි කෙනෙක් කීහ. ලෝකායත (විතණ්ඩ) ශිල්පය ශිල්ප අතුරෙන් අග්රය’යි කෙනෙක් කීහ. ‘ක්ෂත්රවිද්යා ශිල්පය (නීතිශාස්ත්රය) ශිල්ප අතුරෙන් අග්ර යැ’යි කෙනෙක් කීහ. ඒ භික්ෂූන් අතරැ මේ කථාව අඩාළ වූයේ වෙයි.
3. එ කල්හි භාග්යවතුන් වහන්සේ සවස් වේලෙහි සමවත් සුවෙන් නැගී සිටි සේක් මණ්ඩලමාළය කරා එළැඹි සේක. එළැඹ පණවන ලද අස්නෙහි වැඩ හුන් සේක. වැඩහිඳ ම භාග්යවතුන් වහන්සේ “මහණෙනි, දැන් කවර නම් කථාවෙකින් එක් වැ හුන්නහු ද? තොපගේ කවර නම් කථාවෙක් අඩාළ වි දැ?”යි භික්ෂූන් අමතා වදාළ සේක.
4. “වහන්ස, මෙහි පසුබත් සමයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා ආ මණ්ඩලමාළයෙහි එක් වැ හුන් එක්රැස් වූ අප අතරැ “ඇවැත්නි, කවරෙක් නම් ශිල්ප දනී ද? කවරෙක් කවර ශිල්පයක් උගත්තේ ද? කවර ශිල්පයෙක් ශිල්ප අතුරෙහි අග්ර වේ ද?”යි මෙසේ කථාවෙක් පහළ විය. එහි ඇතැම් කෙනෙක් ‘හස්තිශිල්පය ශිල්ප අතුරෙහි අග්ර යැ’යි කෙනෙක් කීහ ... ක්ෂත්රවිද්යා ශිල්පය (නීතිශාස්ත්රය) ශිල්ප අතුරෙන් අග්ර යැ’යි කෙනෙක් කීහ. වහන්ස, අප අතරැ මේ කථාව අඩාළ වූයේ වේ. එකල්හි භාග්යවතුන් වහන්සේ වැඩි සේකැ”යි ඒ භික්ෂූහු සැළ කළහ.
5. “මහණෙනි, තෙපි මෙබඳු කථාවක් කරන්නහුය යන යමෙක් ඇද්ද, සැදැහැයෙන් ගිහිගෙන් නික්මැ සසුන් වන් කුලදරු වූ තොපට මෙය නොසුදුසු ය. මහණෙනි, එක් රැස් වූ තොප විසින් දැහැමි කථාව හෝ ආර්ය තුෂ්ණිම්භාවය යන කටයුතු දැ දෙකෙකැ”යි භාග්යවතුන් වහන්සේ වදාළ සේක.
6. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“ශිල්පයෙකින් දිවි නොරක්නා සැහැල්ලු පැවැතුම් ඇති, දෙවියන් සහිත ලෝවැස්සාට වැඩ කැමැති සංයත වූ ඉඳුරන් ඇති හැමතන්හි මිදුණු ෂඩායතනයන්හි නොහැසිරෙන මමායන රහිත වූ ආශාරහිත වූ මානය දුරු කොට (ගණ්සඞ්ගණිකාව හැර) එකලා වැ හැසිරෙන යම් ඒ මහණෙක් වේද, හේ (බුන් කෙලෙස් ඇත්තේ පරමාර්ත්ථ වශයෙන්) භික්ෂු නමි.”
3. 10.
ලෝකව්යවලෝකන සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ උරුවෙල්දනව්වෙහි නිල්දලාගංතෙරැ බෝරුක්මුලැ බුදු වැ පළමු කොට ම වාසය කරන සේක. එ සමයෙහි වනාහි භාග්යවතුන් වහන්සේ රහත්පල සමවත් සුව විඳුනාසේක් සත් දවසක් එක්පලගෙකින් හුන්සේක් වෙති.
2. ඉක්බිත්තෙන් භාග්යවතුන් වහන්සේ ඒ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැඟි සිට බුදුඇසින් ලොව බැලූ සේක. භාග්යවතුන් වහන්සේ බුදුඇසින් ලොව බලන සේක් රාගයෙන් උපන් ද, ද්වේෂයෙන් උපන් ද, මෝහයෙන් උපන් දැ යි නොයෙක් සතැව්ලියෙන් තැවෙන නොයෙක් දැවිල්ලෙන් දැවෙන සත්ත්වයන් දුටුසේක් ම ය.
3. එකල්හි භාග්යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලෙහි මේ උදන් ඇනු සේක.
“මේ ලොව හටගත් සතැව්ලි ඇත්තේ වෙයි. (එහෙයින් ම) දුක් පහසින් මඩනා ලද්දේ ය. පහසින් උපදනා වේදනා නැමැති රෝගය (මම සුවපත් වෙමි, මම සුවපත් වෙමි ආදීන්) තමා වශයෙන් කියයි. යම් යම් අයුරෙකින් සිතන්නේ ද, එයින් අන් සැටියෙකින් ම එය වේ.
තමන්ගේ හිතසුවෙහි ම ඇලුණු සත් ලොව තමා සිතන සැටියෙන් අන් පරිද්දෙකින් ම වන සුලු ය. (එසේ ඇති කල්හි දු) ලෝවැසි තෙම (මඤ්ඤනා වශයෙන් කල්පනා කොට ගන්නා ලද (අභිවෘද්ධියෙහි ආශායෙන් මඩනා ලද්දේ අවිද්යමාන වූ වෘද්ධියක් ම කැමැති වෙයි. යම් කාමාදිභවයක් (හෝ යසඉසුරු ආදි වෘද්ධියක්) කැමති වේ ද (සිතින් පිළිගනී ද) එය (අනිත්යාදි විපරිණාම ස්වභාව හේතුයෙන්) බියෙකි. (බිය උපදවන්නෙකි). යම් අනිත්යතාදියෙකින් බිය ගනී ද, එය දුකෙකි. කාමභවාදි භවයාගේ දුරැලීම පිණිස ම මේ මගබඹසර පුරනු ලැබේ.