3. 8.
පිණ්ඩපාතික සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහුගේ අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි පසුබත්සමයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා පැමිණි, කරෙරිමණ්ඩලමාලකයෙහි එක් වැ හුන්, එක් රැස් වූ, මහණුන් අතරැ මේ කථාව පහළ විය:
“ඇවැත්නි, පිණ්ඩපාතිකාඞ්ගය රක්නා මහණ තෙම පිඬු පිණිස හැසිරෙන්නේ කලින් කලැ ඇසින් මන වඩන රූප දක්නට ලබයි. කලින් කලැ කනින් මන වඩන හඬ අසන්නට ලබයි. කලින් කලැ මන වඩන ගඳ ආඝ්රාණ කරන්නට ලබයි. කලින් කලැ මන වඩන රස ආස්වාද කරන්නට ලබයි. කලින් කලැ මන වඩන ස්ප්රෂ්ටව්යයන් ස්පර්ශ කරන්නට ලබයි. ඇවැත්නි, පිණ්ඩපාතික මහණ තෙම සත්කාර ලදුයේ ගෞරව ලදුයේ බුහුමන් ලදුයේ පුදන ලදුයේ යටත් පැවතුම් ලදුයේ පිඬු පිණිස හැසිරෙයි. එබැවින් ඇවැත්නි, අපි දු පිණ්ඩපාතිකාඞ්ගය රක්නමෝ වම්: අපි දු කලින් කලැ ඇසින් මන වඩන රූප දකින්නට ලබන්නමු, අපි දු කලින් කලැ කනින් මන වඩන හඬ අසන්නට ලබන්නමු. අපි දු කලින් කලැ ඝ්රාණයෙන් මන වඩන ගඳ ආඝ්රාණ කරන්නට ලබන්නමු. අපි දු කලින් කලැ දිවින් මන වඩන රස ආස්වාද කරන්නට ලබන්නමු. අපි දු කලින් කලැ කයින් මන වඩන ස්ප්රෂ්ටව්ය ස්පර්ශ කරන්නට ලබන්නමු. අපි දු සත්කාර ලදූමෝ ගුරුකාර ලදූමෝ බුහුමන් ලදූමෝ පුදන ලදූමෝ යටත් පැවතුම් ලදුමෝ පිඬු පිණිස හැසිරෙන්නමු” යනු යි. ඒ භික්ෂූන් අතරැ මේ කථාව අඩාළ වී ය.
2. එකල්හි භාග්යවතුන් වහන්සේ සවස් වේලෙහි චිත්තවිවේකයෙන් නැඟී සිටි සේක්, කරෙරිමණ්ඩලමාලය කරා එළැඹි සේක. එළැඹ පණවන ලද අස්නෙහි වැඩ හුන් සේක. භාග්යවතුන් වහන්සේ වැඩ හිඳ ම භික්ෂූන් අමතා “මහණෙනි, දැන් තෙපි කවර නම් කථාවෙකින් හුන්නහු ද? තොපගේ කවර නම් කථාවෙක් අඩාළ වී දැ?” යි අසා වදාළ සේක.
3. “වහන්ස, පසුබත් සෙමෙහි පිණ්ඩපාතයෙන් පෙරළා ආ කරෙරිමණ්ඩලමාලකයෙහි එක් වැ හුන් එක් රැස් වූ අප අතරැ මේ කථාව පහළ විය. ඇවැත්නි, පිණ්ඩපාතිකාඞ්ගය රකිනා මහණ තෙම පිඬුපිණිස හැසිරෙන්නේ කලින් කලැ ඇසින් මන වඩන රූප දක්නට ලබයි ... අපිදු සත්කාර ලදුමෝ ගුරුකාර ලදුමෝ බුහුමන් ලදුමෝ පුදන ලදුමෝ යටත් පැවතුම් ලදුමෝ පිඬු පිණිස හැසිරෙන්නෙමු” යනු යි. වහන්ස, අප අතරැ මේ කථාව අඩාළ වූයේ වෙයි. එකල්හි භාග්යවතුන් වහන්සේ වැඩි සේකැ”යි ඒ මහණහු කීහ.
4. “මහණෙනි, තෙපි මෙබඳු කථාවක් කියන්නහුය යන යමෙක් ඇද්ද, මෙය සැදැහෙන් ගිහිගෙන් නික්ම සසුන් වන් කුලදරු වූ තොපට නොනිසිය. මහණෙනි, එක්රැස් වූ තොප විසින් දැහැමි කතාව හෝ ආර්ය්ය තුෂ්ණීම්භාවය යන මේ කටයුතු දෑ දෙකෙකැ”යි භාග්යවතුන් වහන්සේ වදාළ සේක.
5. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මෙ කරුණ දැන, එවේලෙහි මේ උදන් ඇනූ සේක:
“යම් මහණෙක් තමා පිළිබඳ යසගීහඬ ඇසුරු නො කෙළේ නම් (නො පතා නම්) පිණ්ඩපාතිකාඞ්ගය රක්නා තමා ම පුස්නා අනෙකකු නො පුස්නා අටලෝදහමින් නො සැලෙන ඒ මහණහට දෙවියෝ (ද) ආදර කෙරෙත්.”
3. 9.
ශිල්ප සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ දෙව්රම් නම් වූ අනේපිඬුසිටුහු අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි පසුබත් සෙමෙහි පිණ්ඩපාතයෙන් පෙරළා ආ මණ්ඩලමාළයෙහි එක්වැ හුන් එක්රැස් වූ මහණුන් අතුරෙහි “ඇවැත්නි, කවරෙක් නම් ශිල්ප දනී ද? කවරෙක් කවර ශිල්පයක් උගත්තේ ද? කවර ශිල්පයෙක් ශිල්ප අතුරෙහි අග්ර දැ?”යි මේ කථාව උපන.
2. එහි ඇතැම් කෙනෙක් ‘හස්තිශිල්පය ශිල්ප අතුරෙහි අග්ර යැ’යි කීහ. සමහරු අශ්වශිල්පය ශිල්ප අතුරෙහි අග්ර යැ’යි කීහ. රථශිල්පය ශිල්ප අතුරෙහි අග්රයැ’යි කෙනෙක් කීහ. ‘ධනුශිල්පය ශිල්ප අතුරෙහි අග්ර යැ’යි ඇතැම්හු කීහ. ආයුධශිල්පය සිප් අතුරෙහි අග්ර යැ’යි සමහරු කීහ. ‘මුද්රාශිල්පය ශිල්ප අතුරෙන් අග්ර යැ’යි සමහරු කීහ. ‘ගණනාශිල්පය ශිල්ප අතුරෙහි අග්ර යැ’යි සමහරු කීහ. සඞ්ඛ්යානශිල්පය ශිල්ප අතුරෙන් අග්ර යැ’යි සමහරු කීහ. ‘ලෙඛනශිල්පය ශිල්ප අතුරෙහි අග්ර යැ’යි සමහරු කීහ. ‘කාව්යශිල්පය ශිල්ප අතුරෙන් අග්ර යැ’යි කෙනෙක් කීහ. ලෝකායත (විතණ්ඩ) ශිල්පය ශිල්ප අතුරෙන් අග්රය’යි කෙනෙක් කීහ. ‘ක්ෂත්රවිද්යා ශිල්පය (නීතිශාස්ත්රය) ශිල්ප අතුරෙන් අග්ර යැ’යි කෙනෙක් කීහ. ඒ භික්ෂූන් අතරැ මේ කථාව අඩාළ වූයේ වෙයි.
3. එ කල්හි භාග්යවතුන් වහන්සේ සවස් වේලෙහි සමවත් සුවෙන් නැගී සිටි සේක් මණ්ඩලමාළය කරා එළැඹි සේක. එළැඹ පණවන ලද අස්නෙහි වැඩ හුන් සේක. වැඩහිඳ ම භාග්යවතුන් වහන්සේ “මහණෙනි, දැන් කවර නම් කථාවෙකින් එක් වැ හුන්නහු ද? තොපගේ කවර නම් කථාවෙක් අඩාළ වි දැ?”යි භික්ෂූන් අමතා වදාළ සේක.
4. “වහන්ස, මෙහි පසුබත් සමයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා ආ මණ්ඩලමාළයෙහි එක් වැ හුන් එක්රැස් වූ අප අතරැ “ඇවැත්නි, කවරෙක් නම් ශිල්ප දනී ද? කවරෙක් කවර ශිල්පයක් උගත්තේ ද? කවර ශිල්පයෙක් ශිල්ප අතුරෙහි අග්ර වේ ද?”යි මෙසේ කථාවෙක් පහළ විය. එහි ඇතැම් කෙනෙක් ‘හස්තිශිල්පය ශිල්ප අතුරෙහි අග්ර යැ’යි කෙනෙක් කීහ ... ක්ෂත්රවිද්යා ශිල්පය (නීතිශාස්ත්රය) ශිල්ප අතුරෙන් අග්ර යැ’යි කෙනෙක් කීහ. වහන්ස, අප අතරැ මේ කථාව අඩාළ වූයේ වේ. එකල්හි භාග්යවතුන් වහන්සේ වැඩි සේකැ”යි ඒ භික්ෂූහු සැළ කළහ.