3. 3.
යශොජ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුසිටිහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි යසොජ තෙරුන් ප්‍රමුඛ පන්සියක් පමණ මහණහු භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත්නුවරට පැමිණියාහු වෙති. ඒ ආගන්තුක මහණහු ද නේවාසික භික්‍ෂූන් හා පිළිසඳරින් සතුටු වෙමින් සෙනසුන් පණවන්නාහු, පාසිවුරු සුරැකි කොට තබන්නාහු, උස්හඬ මහහඬ ඇත්තෝ වූහ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා, “ආනන්‍දයෙනි, තෙල කවුරු නම් මස්වොලෝහි කෙවුළන් සේ උස් හඬ මහහඬ ඇත්තෝ දැ”යි අසා වදාළ සේක.
“වහන්ස, මේ යසොජ තෙරුන් ප්‍රමුඛ තෙල පන්සියක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස සැවැතට පැමිණියාහු ය. ඒ ආගන්තුක භික්‍ෂූහු නේවාසික භික්‍ෂූන් හා පිළිසඳර විසින් සතුටු වෙමින් සෙනසුන් පණවන්නාහු, පාසිවුරු සුරැකි කොට තබන්නාහු, උස් හඬ මහහඬ ඇත්තාහු”යී අනඳ තෙරණුවෝ වදාළහ.
“ආනන්‍දයෙනි, එසේ වී නම් මගේ වචනයෙන් ශාස්තෘ තෙම අයුෂ්මතුන් අමතා ය යි ඔවුන් කැඳව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “එසේය, වහන්සැයි” ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ භික්‍ෂූන් ඒ භික්‍ෂූන් වෙත එළැඹ “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවනසේකැ”යි ඒ භික්‍ෂූන්ට කීය.
‘එසේ ය, ඇවැත්නි’යි ඒ මහණහු අනඳ තෙරුනට පිළිවදන්දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූන් අමතා භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, කවර හෙයින් තෙපි මස්වොලෝව්හි කෙවුළන් සේ උස් හඬ මහහඬ ඇතියවු දැ?”යි අසා වදාළ සේක.
2. මෙසේ වදාළ කල්හි යසොජ තෙරණුවෝ “වහන්ස, මේ පන්සියක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස සැවැතට පැමිණියාහු ය. ඒ මේ ආගන්තුක භික්‍ෂූහු නේවාසික භික්‍ෂූන් හා පිළිසඳරින් සතුටු වෙමින් සෙනසුන් පණවන්නාහු පාසිවුරු සුරැකි කොට තබන්නාහු උස්හඬ මහහඬ ඇතියව් හ”යි සැළ කළහ.
“යව මහණෙනි, තොප නෙරපමි. තොප මා වෙත නො විසිය යුතු” ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
‘එසේය වහන්සැ’යි කියා ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ පැදකුණු කොට සෙනසුන් සුරැකි කොට තබා පාසිවුරු ගෙන වැදෑරට බලා සැරි සරා වැඩියහ. වැදෑරට පිළිවෙළින් සැරි සරන්නාහු වග්ගුමුදා නදිය කරා එළැඹියහ. එළැඹ වග්ගුමුදා නදිය තෙරැ පන්සල් කොට වස් එළඹියහ.
3. ඉක්බිති යසොජ තෙරණුවෝ වස් එළැඹියෝ භික්‍ෂූන් බණවා “ඇවැත්නි, අපට වැඩ කැමති හිත පතන අනුකම්පා කරන භාග්‍යවතුන් වහන්සේ විසින් අනුකම්පාව සඳහා අපි නෙරපන ලද්දමු. එ බැවින් අපි යම්සේ වසන අපට භාග්‍යවතුන් වහන්සේ සතුටු වන සේක් ද, එසේ විසීම කරමු”යි වදාළහ.
‘එසේය, ඇවැත්නි’යි කියා ඒ මහණහු යසොජ තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ඉක්බිත්තෙන් ඒ මහණහු විවික්ත වූවාහු නොපමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් කරා මෙහෙයූ සිතැති ව වසන්නාහු ඒ වස් සමය ඇතුළත ම සියල්ලෝම ත්‍රිවිද්‍යා පසක් කළහ.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත්හි රිසි තාක් කල් වැස විසල්පුර බලා සැරි සරා වැඩි සේක. පිළිවෙළින් සැරි සරන සේක් විසල්පුරට පැමිණ වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ එහි විසල්පුරැ මහවෙනෙහි කුළාරහල් වෙහෙරෙහි වැඩ වසන සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ වග්ගුමුදාතීර වැසි මහණුන්ගේ සිත් සිය සිතින් පිරිසිඳ මෙනෙහි කොට අනඳ තෙරුන් බණවා, “ආනන්‍දයෙනි, යම් දෙසක වග්ගුමුදාතීරවාසී මහණහු වෙසෙත් ද, එ දෙස මට පහළ වු එළිය ඇත්තක් මෙනි. පහළ වූ ආලොකය ඇත්තක් මෙනි. යන්නට මෙනෙහි කරන්නට මට නොපිළිකුල්ය (මනාපය). ආනන්‍දයෙනි, තොප ‘ශාස්තෘ තෙම ආයුෂ්මතුන් කැඳවයි. ශාස්තෘ තෙම ආයුෂ්මතුන් දකිනු කැමැතිය’යි වග්ගුමුදාතීර වැසි මහණුන් වෙතට දූතයකු යවන්නේ”යි වදාළ සේක.
‘එසේය, වහන්සැ’යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, එක්තරා මහණකු කරා එළැඹියහ. එළැඹ ඒ මහණහු බණවා “ඇවැත්නි, තෙපි මෙහි එව. වග්ගුමුදාතීරවාසී මහණුන් වෙතට යව. එළැඹ වග්ගුමුදාතීරවාසී මහණුනට “ඇවැත්නි, ශාස්තෘ තෙම ආයුෂ්මතුන් කැඳවයි. ශාස්තෘ තෙම ආයුෂ්මතුන්ගේ දැක්ම කැමැත්තේ ය”යි මෙසේ කියන්නැ.